Sunday, May 24, 2015

මහින්ද නොකියන බණ.....

මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කුමක්දෝ පින්කමකට  සහභාගි වූ අවස්ථාවේදී, එතුමාව වටකොට වදාල ගරුතර සංඝ රත්නය හමුවේ එතුමන් කුමන දේශනාවක් කලාදැයි වාර්තා නොවේ. එහෙත් එතුමා පහත ආකාරයේ දේශනාවක් කලේ නම් හොඳ යයි සිතමි.
(අපිට හොඳයි කියලා හිතෙන එව්වා උන්දෑ කොලානං ඕම වෙයිද නෙහ්?)

(දැන් ඉතින් මට බැනපල්ලා..........)

Saturday, May 23, 2015

දෙකෙන් එකකට වැඩිපුර ගෙවන්න...


ඉහත පින්තූරය උපුටා ගත්තේ බුකියෙනි.
මේ සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒම වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිසකි.
මහින්දගේ නෑදෑයන් සහ හෙංචයියන් කොපමණ මහජන මුදල් ප්‍රමාණයක් ගසා කෑවද, ඔවුනගේ ජාවාරම් උදෙසා රට කුමන අගාධයකට ඇද දැම්මද මොවුන්ට ගැටළුවක් නැත.
ඔවුනට අවශ්‍ය ගමේ රැස්පොට් එකට පාරෙ බැහැලා යන්න ප්‍රතාපවත් රජෙකුගේ ඌෂ්ණය පමණි.
---------------------------
 මේ පින්තූරය උපුටා ගත්තේ ඊ නිවුසියේ වීඩියෝවකිනි. මේ සිටින්නේ වත්මන් රජය යටතේ මහින්ද ආණ්ඩුවේ හොරෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම නිමිත්තෙන් රතිඥ්ඥා දල්වා ප්‍රීතිවන පිරිසකි.
හිටපු උන් කෙච්චර ගසා කෑවාද, එන්නට හදන උන් කොච්චර ගසා කනවාද වැනි සංකීර්ණ මළඋලව් මේ මිනිස්සුනට වැඩක් නැත.
අවශ්‍ය වන්නේ කසිප්පු වඩියක් ගසා හන්දියට බැස බයක් නැතුව ආතල් එකක් ගන්න හැකි යූ.ඇන්.පී. ආණ්ඩුවක් පමණි.
------------------------------------

මේ රටේ ඡන්දදායක අගමැතිලාගෙන් සහ අගමැතිණියලාගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ......
මේ මිනිසුන්ගේ අහිංසක ආසාවන් ගැන සානුකම්පිතව සලකා බලා....
දෙකම එක උනාට දෙකෙන් එකකට වැඩිපුර ගෙවා....
රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉෂ්ඨ කරන ලෙසයි.
ඉස්තූතියි.

Sunday, May 17, 2015

වීරෝදාර රණවිරුවා හෙවත් අසංකයා.....



මට මතකයි හමුදා මළ ගෙයක්. උගේ නම අසංක. මගේ යාළුවෙක්. බැඳලා. දුවෙක් හිටියා. පුදුමාතලන් වලදි මෝටාර් එකක් වැදුනා. ඌ එතනම ඉවරයි.

උගේ බොඩිය ගෙනාවා. අහළ ගම් හතක උන් එකතුවුනා. මහා බැනර් තොගයක් වැටුනා. හැමෝම අවංකවම දුක්උනා. සමහරු ඇඬුවා. බොරුවට නෙමේ. ඇත්තටම.

අසංකයා හොඳ එකෙක්. ඌ යුද්දෙට ගියා. මළගෙදර හර බර දේශනාවල මොන කතන්දර කියවුනත් ඒ ඇයි කියලා මං දන්නවා.  යුද්දෙ දරුණුවටම යද්දි ඌ මැරෙයි කියලා ඌට හිතිලා තිබුනා. ඒත් ඌ හමුදාවෙන් පැනලා ආවෙ නැත්තෙ ඇයි කියලා මම දන්නවා. ඌ කිව්වෙ මැරෙනවනං මැරෙයි කියලා. උගේ ඉරණම යුද්ධය කියලා ඌ පිළිඅරන් තිබුනේ. ඒකෙන් ලැබෙන ඕනෙ දෙයක් පිළිගන්න ඌ සූදානමින් හිටියා. 

ඌට තිබුනේ ඉලක්කයක්. ඌට එදිරිව එන ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කරලා තමුන්ගේ ජීවිතය රැකගන්න එක. ඌව හමුදාවේ ඉහළින් කළමණාකරණය කලා. ‘ත්‍රස්තවාදයෙන් රට ගලවාගැනීම’ වගේ ලොකු දේශපාලන ඉලක්කයක් වෙනුවෙන්. ඌ යන්න ඕනෙ තැන්, කරන්න ඕනෙ දේවල් ඌට නියම කලා. ඒ හැමදේම ඌ ගත්තේ ඉරණම විදිහට.  
 නමුත් උගේ ඉලක්කය වෙනස් උනේ නෑ. ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කොට තමුන්ගේ සහ තම හමුදා ඛණ්ඩයේ සහෝදර ජීවිත බේරාගැනීම.
නමුත් නොදන්නා එකෙකුගේ මෝටාර් ප්‍රහාරයකින් ඌ පැරදුනා.

අසංකට මෝටාර් එක ගහපු එකා අද ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ. බොහෝ විට නැතුව ඇති. ඌත් අසංකට වෙනස් වෙන්න විදිහක් නෑ. එක්කෝ ඊලාම් දේශයක ලොකු සිහින ගොඩක් එක්ක ඌත් එල්.ටී.ටී.ඊ යට බැ‍ඳෙන්න ඇති. එහෙමත් නැතිනම් ඌට ඒකට බල කෙරෙන්නැති. කොහොමහරි ඌත් ආපහු හැරෙන්න බැරි යුද්දෙකට ආවා. ඊලාම් දේශයක් වෙනුවෙන් ඌවත් ඉහළින් කළමණාකරණය කලා. ඌටත් යා යුතු තැන්, කල නොකල යුතු දේවල් ඉහළින් නියම කලා. ඒක උගේ යුද ඉරණම. ඒවගේම උගේ ඉලක්කයත් අසංකගේ ඉලක්කයට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ. 

ඒ අනුව ඌ අසංකගේ ඉසව්වට මෝටාර් එකක් ගැහුවා.  ඌ නොදන්නා එකෙක් මැරුණා. හමුදා කාරයෙක්.
ඌ ඒ මොහොතට දිනුවා.

අපි අසංකව රණවිරුවෙක් කලා. අරුන් මෝටාර් කාරයව මහ විරුවෙක් කලා.

රණ විරුවා වගේම මහ විරුවා කියන්නෙත් තක්කඩි වචන. 

මම යුද්දෙට ගියේ නෑ. මැරෙන්න බය නිසා. (හරි හරි... ඔය වෙන වෙන හේතු නිසා යුද්දෙට නොගිය අය මට වඩා පොරවල් කියලා මං පිලිගන්නවා)
මම අසංකයව යැව්වා. ඌ උගේ කැමැත්තෙන් ගියත් ඌ ඉන්නවට හරි මැරෙනවට හරි මම පඩි ගෙව්වා. ඌව වීරයෙක් කලා. ඒ උගේ ඉලක්කය වෙනුවෙන් නෙමේ. ‘රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ’ මගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. අසංක බෝයගනේ ඉඳන් පුදුමාතලන් ගියේ උගේ හිතුවක්කාරකමට නෙමෙයි. මගේ උවමනාවට මමයි යැව්වේ. ඌ මැරුණේ මං නිසා.
මගේ ගොදුරක්....!

එහෙම හිතන එක හරි අමාරුයි. ඊට වඩා පහසුයි ඌ රට වෙනුවෙන් පුදුමාතලන් ගියා කිව්වම.
මම වගේද රට? එතකොට ඌ වීරයෙක්. රණවිරුවෙක්. ....!!

යුද ඉරණම ජයගන්න බැරිඋන අසංකලාත්, මෝටාර් කාරයොත් විශාල ගානක් මළා. තවත් විශාල ගානක් යුද ඉරණමත් එක්ක සටන් කරලා දිනුවා. අපිට ඕනෙ විදිහටම යුද්දෙ දින්නා. අරුන් හිතපු නැති විදිහට යුද්දෙ පැරදුනා.

අසංක කියන්නේ මම බාරගන්න බයවුනු ඉරණමක් කිසිම පැකිළීමකින් තොරව අරගත්තු එකෙක්. බය නැති එකෙක්. ඌ පැරදුනා.  
එතකොට ඌව පුදුමාතලන් යවපු, ඌට වඩා මරණෙට බය මම දිනුම්ද?
(ආ.. හරි හරි.... රට දිනුම්නේ නේද?)

ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම කියන ලොකු ජය සමරන හැම මොහොතකම අර යුද ඉරණමත් එක්ක ජීවත්වුනු පොඩි මිනිස්සු යට යනවා. මම වෙනුවෙන් මැරුණු අසංකලා වගේම බඩගින්න, වෙහෙස, නිදිමත, එක්ක අප්‍රමාණ ගැහැටක් විඳගෙන යුද ඉරණම ජයගත් මිනිස්සු එක ගොඩේ ‘රණ විරුවන්’ වෙනවා. අසංකයව පුදුමාතලන් යවපු මමත් ජයග්‍රාහකයෙක් වෙනවා. ඔක්කොම දිනුම්.

කකුලේ තුවාලයක් හැදිලා ඒක සුව වීම සමරන්න දෙයක් නෙමෙයි.  එහෙම තුවාලයක් හැදීම ගැන නැවත හිතන්න ඕනෙ මොහොතක්. ඒ තුවාලය සුව කරන්න දුක් විඳපු මිනිස්සු ගැන කෘතඥ වෙන්න ඕනෙ මොහොතක්. මගේ තුවාලයක් වෙනුවෙන් මිනිසුන් කොටසක් අපා දුක් විඳවීම ගැන අඬන්න ඕනෙ මොහොතක්.

සිංහල දෙමළ ඔක්කොම.

දැන් මේක කියෙව්වාම වැඩිපුරම වැටෙන කමෙන්ටුව තමයි  "රට පුරා බෝම්බ පිපිරෙන එක නැවතුනේ නැත්තං ඕක ලියන්න හරි උඹ ජීවතුන් අතර ඉඳියිද?" කියන එක.
දැම්ම උත්තරේ දීලා තියන්නං.
“ඒකට තමා ඕයි මම අසංකයව පුදුමාතලන් යැව්වේ...!!”

Thursday, May 14, 2015

විල්පත්තු හටන....




පින්තූරය විල්පත්තුවේ උනාට මේ ලියන්නේ විල්පත්තුව ගැන නොවේ.

මේ අලි ගහන කැලෑවකි. විෂඝෝර සර්පයින් ඇතුළු වනසත්ව උවදුරු වැඩිම කලාපයකි. සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, සන්නිවේදන පහසුකම් සහ වාණිජ පහසුකම් අවම කලාපයකි. කාෂ්ඨක මහපොළොව හෝ මුහුදත් සමග ඔට්ටු වීම හැර වෙනත් සැලකියයුතු ජීවිකා මාර්ගයක් නොමැති තැනකි.
වර්ෂයේ වැඩිම කාලයක් තණකොළ පවා දැවී පිළිස්සෙන දැඩි හිරු එළියෙන්ද, සුළඟින් ගසා එන දූවිල්ලෙන්ද දිය පොදක් නොමැති නියඟයෙන්ද සපිරි ලංකාවේ ශුශ්ක කලාපයේ බිම් කඩකි. 
එහි ඉදිවූ තනි ටකරං මඩුවකි.

මේ දූපතේ වසර පුරා නිල්ල දිලෙන කුරුණෑගලින් පහලට ඇති විසල් බිමෙන් පර්චස් 15 ක් මිලදී ගෙන නිදහසේ පදිංචිවන්නට හැකියාව තිබුණානම් මැය මෙම දරුවාද සමග කිසිදු දිනෙක මෙහි පස් පාගන්නේ නැත.

මේ දූපතේ මිනිස් වාසයට ඉතා සුදුසු හිස් ඉඩකඩම් ඕනෑ තරම් ඇත. එකම ප්‍රශ්නය ඒවාට අයිතිකරුවන් සිටීමයි. එනිසා මැය වැන්නියන්ට ඒවායේ පදිංචිවෙනවා තබා ඒ ගැන සිතීමටවත් අයිතියක් නැත. ඒවා හතර හන්දි කුඩු කරගෙන මහඋළුගෙදරත් ලගින්නට වෙන කේස්ය. ඇයට හැක්කේ කවර හෝ ඊනියා අයිතිකරුවෙක් ඉඳා ගනින් යයි දෙන කවර බඩකඩිත්තුවක හෝ පදිංචි වී පණ ගැට ගසා ගැනීමයි. එය අපගේද පූර්ණ එකඟතාව මත ක්‍රියාත්මක පොදු සම්මුතියයි. 

මේ පාවෙන මිනිස් පරඬලාපත්වලට ජීවත් වීම සඳහා කුමන හෝ අහිනක ලැගීමට සිදුවීම අනිවාර්යය. එය දේශපාලන, වාර්ගික, ආගමික හෝ වෙනත් කුමන ගෝත්‍රික ස්වභාවයක් ගත්තද ඔවුනට වෙනසක් නැත. එය මගින් තෝරාදෙන ජීවිතය පිළිගැනීම හැර වෙනත් විකල්ප නැත. මැයට නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රිෂාඩ් බදූර්දීන් දෙන තැන පදිංචි වන්නට සිදුවන්නේය.

ඉදින් 'විල්පත්තුව වැනසෙන්නේය'. 

වැඩිදෙනෙක් අසන්නේ මොවුන් විල්පත්තුවේ පදිංචි නොකර, මෙයටම සමාන වැලිඔය ශුෂ්ක බිමේ පදිංචි නොකරන්නේ ඇයි කියාය. 

අපිට විල්පත්තුව ඉතිරි කර ගන්න ඕනෑය. එහි වරදක් නැත. මිහිකත පවතිනා තුරාවට මේ බිමේ වනාන්තර ලෙස ඉතිරිකරගන්නට තියෙන්නේ ඔය සොච්චං කැලෑ ටික විතරක් නිසාය. නමුත් මේ මිනිසුන් මේ කාන්තාරයේ සිට වැලිඔය කාන්තාරයට දක්කනවා විනා ගම්පහට හෝ කළුතරට දක්කන්නට කාටවත්ම නිකමටවත් නොසිතෙන්නේ ඇයි? 
මෙතෙක් කිසිවෙකුත් පදිංචි නැති පුද්ගලික දේපල ගණයට වැටෙන නිල්ල නගන සරු බිම්පෙත් වල උරුමයක් අපේ සම්මුතීන් අනුව ඔවුනට අහිමි බව අපම පිලිගන්නා නිසාය.

සැබෑම ප්‍රස්නය මේ මිනිසුන් කැලෑවක් වනසා පදිංචි වීම නොවේ. මෙවන් නිර්ධනයින් හට පදිංචිවීම සඳහා කැලෑවක් හෝ කාන්තාරයක් හැර වෙනත් වාසයට සුදුසු තැනක් ලබා නොදෙන අපේ පොදු සම්මුතියේය.