Saturday, June 27, 2015

Sahampathi thoughts - අකුරැස්සේ ගමන



පහත දැක්වෙන්නේ සහම්පති මහා බ්‍රහ්මයා විසින් අකනිටාවේ තම Sahampathi thoughts නම් බ්ලොගයේ තම අකුරැස්ස සංචාරය ගැන තබන ලද සටහනකින් උපුටා ගත් කොටසක් සහ පින්තූර කිහිපයකි.
මෙම සියළු පින්තූර සහම්පති බ්‍රහ්ම රාජයා සතුය. උපුටා ගැනීම තහනම්.
__________________________________

 

“.......ඔන්න ඔහොම ගිහින් තමයි ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය තියෙන හරියට යන්න ඕනේ.... ඇන්ඩ්‍රොමීඩාව කිට්ටුවට එදදි මම ආලෝක වර්ෂ බිලියන 432.3514 ක් විතර ඇවිත් තිබුනා. ඒ හරියෙත් අමුතු ලස්සනක් නං තිබ්බේ නෑ. කෝකටත් කියලා මිලි තප්පර කීපයක් නැවතිලා පින්තූරෙකුත් ගත්තා‍. අවුරුදු දෙදාස් ගානකට පස්සේ ආපු ගමනනේ. ඔය තියෙන්නේ ඒ පින්තූරේ.


එතන ඉඳන් නම් මනුලෝකෙට තිබ්බේ ආලෝක වර්ෂ මිලියන 2.5 ක් වගේ බොහොම සුළු දුරක්. හරියටම පාර දන්නවනම් මිලි තත්පර 0.032 කින් වගේ ගියෑකි.
නර ලෝකේ ඉන්නේ නරයෝ කියලා බොහොම පහත් ජීවින් කොට්ඨාසයක් කියලා කවුරුත් දන්නවනේ. උන් ස්වරූපයෙන් එක උනාට අපිට වඩා ගොඩක් වෙනස්. මට දැනුනු විදිහට නර ලෝක වාසීන්ගෙන් තුනෙන් දෙකකට වඩා විශ්වාස කරන්නේ තමුන් ඇතුළු ලෝකය අපි වගේ කවුරුහරි කෙනෙක් මැව්වා කියලා.

ඔය පේන්නේ ඇන්ඩොමීඩාව පහුකරගෙන නරලෝකය පිහිටලා තියෙන ක්ෂීරපථය කිට්ටුවට එද්දි ගත්තු පින්තූරයක්. ඒකේ නරලෝකය තියෙන තැන හොයාගන්න අමාරු නිසා මං එතන ලකුණු කලා. ඔය මිලියන ගානක් පේන්නේ සූර්යයන්. ඒවා වටෙත් ග්‍රහලෝක බිලියන ගානක් කැරකෙනවා ඇති. අන්න ඒවයින් දෙවි ඇහැටවත් නොපෙනෙන තරම් කුඩා එකක ඉන්න නර ජීවීන් තමයි උන්ව දෙයියෝ මැව්වා කියන්නේ. 

ඒ දෙවියෝ ඉන්නෙත් ඔය වගේ චක්‍රාවාට ලක්ෂ ගානකට එහාලු. උන් විශ්වාස කරනවා උන්ට ලැබෙන පොඩි පොඩි වාසි අරව මෙව්වා දෙන්නෙත් අපි වගේ කවුරුහරි දෙවියෙක් දෙන්නෙක් කියලා. උන්ට අනතුරු වෙන එක, මැරෙන එක පවා කාගෙ හරි කැමැත්තකට වෙනවා කියලා. උන් ඒ දෙවියන්ට වඳිනවා විතරක් නං මදෑ. දෙවියෝ වෙනුවෙන් උන් උන් මරාගන්නවා. 

මට නං හිනාත් යනවා. ආලෝක වර්ෂ ට්‍රිලියන ගානක් එහා ඉන්න හාදයෙක් ඔය දූවිලි ගොඩේ තියෙන දූවිලි කැටයක ඉන්න වෛරස් වගේ කෝටි හටහත්සීයක ප්‍රාණීන්ගෙන් එකෙක් දෙන්නෙක් තෝරගෙන අනං මනං දෙනවා කිව්වම. 

මම නරලෝකේ දිහාට ටිකක් හිමින් ගියේ කියලත් කිව්වනේ. ටිකක් ළඟට යද්දි පේන්නේ මේ වගේ......


ටිකක් ළඟ ගියාමයි දැක්කේ උන් දැන් පොඩ්ඩක් විතර දියුණු වෙලා තමා. ලෝහ වලින් හදාපු අර සුකුරුත්තං බර ගානක් උන්ගේ ලෝකෙ වටේ අහසේ රඳවලා. අර අන්තිමට මනුලොවට ගිහින් ආපු සහජාති බ්‍රහ්ම පුත්‍රයා එනගමං නිකමට වගේ අරං ඇවිත් තිබුනේ සුප්‍රිම්සැට් 1 ද මොකද්ද ගහපු යකඩ ගොඩක්? අන්න ඒවා.

මේ තියෙන්නේ තවත් ලංවෙලා ගත්තු පින්තූරයක්.


ඔය නිල්පාට තියෙන්නේ මුහුද. ඒකත් දෙයියොම තමයිලු මවලා තියෙන්නේ. මම කෙලින්ම ගිය හරියට එවෙලේ දවාල. අකුරැස්ස කියන එක තිබ්බේ රෑ පැත්තේ. ඉතින් වටෙන් ගියා. දැන් රෑට ඉස්සර වගේ නෙමෙයි. තැන් තැන්වල හොඳ එලියයි. උන් ඉලෙක්ට්‍රිසිටිද මොකද්ද කියන එකෙන් හොඳට වැඩ ගන්නවා. ඔය රෑ පැත්තේ පින්තූරයක්.
 හැබැයි අකුරැස්ස පැත්තේ නරයෝ වෙනස්. උන්ව දෙයියෝ මැව්වා කියලා උන් කියන්නේ නෑ. එහෙම නෑ කියන්නෙත් නෑ. ඒක අමුතුම දර්ශනයක්. උන් කියන්නේ උන් මැරුනාම ඒ මලක‍ඳෙන් මොකද්ද එකක් පිටවෙලා ඒක වෙන තැනක ගිහින් උපදිනවලු. තේරුම් ගන්න පහසුවට මම මේ පහත පින්තූරේ දාන්නේ

 A කියන තැන මැරුනු කෙනා B කියන තැන උපදිනවා. නැත්තං C කියන තැන මාලුවෙක් වෙලා උපදිනවා. ඒ මාලුවා මැරිලා D කියන තැන බල්ලෙක් වෙලා උපදිනවා. හැබැයි E කියන තැන උපදින්නේ නෑලු. මොකද එතන ජීවීන්ට පවතින්න ජලය ඔක්සිජන් නැති නිසා. ඒකත් මාරයි. ඒ වගේම කිසිකෙනෙත් මැරිලා වයිරස් එකක්, බැක්ටීරියාවක්, ගහක් වෙලා උපදිනවා කියන්නෙත් නෑ. බැක්ටීරියාවක් මැරිලා නරයෙක් වෙන්නෙත් නෑලු. උන් ජීවයේ ප්‍රබේද බෙදන හැටි වෙනම ඉගෙනගන්න වෙනවා.
කොහොම උනත් උන් ලබන ආත්මේ උපදින තැන හදාගන්න මාරම ගේමක් තමයි දෙන්නේ.

ඔන්න ඔය වගේ ඔළුව අවුල් වෙන පොට් එකකට තමයි මම ගියේ. මේ තකහනියක් අකුරැස්සට ගිහින් ගිහිං මහ දෙයක් කලෙත් නෑ. තප්පර දෙකකට විතර ඔළුව දාලා ආපහු ආවා. ඒ විස්තර පස්සෙ ලියන්නම්.