Friday, March 28, 2014

ඔන්නොහේ වර්ණසිංහටත් මනාපයක් දෙන්ට.....



ඊයෙ රාත්තිරියේ... සිරසේ......... මං හිටියේ නිවුස් බල බලා.....
මට හිතුනා මොකක් නමුත් සිද්දවෙන්න යනවා කියල... එකපාරටම තිරේට ආවේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමා... එතුමා බොහොම ආවේගයෙන් හිටියේ.... තුන් මුණින් දාඩිය දාලා... බෙල්ලේ නහර වැල් ඉලිප්පිලා..... මූණේ මහා තරහවක් වගේ එකක්..... එයා යටි ගිරියෙන් මෙහෙම කිව්වා...

"ඕකුං ආයේ ඊලාම් රාජ්‍යයක් මෙහේ හදන්න ආවෝත්... වෝත්... වෝත්...ත්....ත්..... හැට දාහක් නෙමෙයි...... යි... ලක්ෂයක් වුනත් ජීවිත පූජාකරන්න.. අපි සූදානම්... දානම්....නම්...නම්...ම්......"

එතකොටම ඒ කතාව අහගෙන හිටියය කියලා හිතෙන මහා ජනකායක් එතන දෙකක් වෙන්න ඔල්වරසන් දෙන්න තියාගත්තා.
මට හීන්දාඩිය දැම්මා..... සිද්දිය ඔච්චරයි.
_____________________

1. මෙතන අපිට පේන වැදගත්ම දේ නිශාන්ත වර්ණසිංහ මහත්තයගේ තියෙන අල්පේච්ඡ කම. ඕන්නං එතුමට ඔතන කියන්න තිබ්බා ලක්ෂ තුනක් ජීවිත පූජාකරන්න සූදානම් කියලා. නමුත් අනුන්ගේ ජීවිත වුනත් නිකරුණේ පරිත්‍යාග කරන්න එතුමා සූදානම් නැහැ. මෙහෙම වෙන්නෙ උතුම් සිංහල-බෞද්ධ සංස්කෘතික හර පද්ධතියෙන් එතුමා ලබාගත් පෝෂණය නිසා.

2. කොහොමත් ඔතන ජීවිත ලක්ෂ තුනක් නෙමෙයි පහක් කිව්වත් ඒ ලක්ෂ පහට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්තයා අයත් නැති බව කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. මොකද ඔය මැරෙන්න යන ලක්ෂ පහ නාවලා කරලා, දත කට මැදලා,  වාසගමට ඉස්සරහින් රණවිරු කෑල්ල එල්ලලා, පිරිත් නූල් යාර තිහ හතලිහකින් වෙලලා,  සූදානම් කොරලා දෙන්න වෙන්නේ එතුමටම තමයි. ඉතින් ඔය ටික කොරලා උන්ගෙ මොරාල් අප් කොරලා හෙම අහවර වෙනකොට යුද්දෙත් ඉවරයි. පහුගිය යුද්දෙත් උනේ ඒකනේ. ඉතින් හැමදාම අන්තිමට වෙන්නේ නිශාන්ත මහත්තයගේ වටිනා කියන ජීවිතේ උතුම් මව්බිම වෙනුවෙන් පූජා කරන්න චාන්ස් එකක් නැතිවෙන එක.
නිශාන්ත මහතතයා ඔය කතාව ඇහෙන් කඳුළු පනින තරමට බොහොම ආවේගයෙන් කියන්නෙ ඒක මතක්වෙන නිසා.

මේක මානසිකව ගොඩක් බලපානවා.  පහුගිය යුද්දෙදි වුනත් මෙහෙම අනුන්ගේ ජීවිත පූජා කරවන්න දිවි හිමියෙන් කැපවුනු සමහරු අද ගුලි කන්න ඇබ්බැහි වෙලා. රතන හාමුදුරුවෝ එහෙම දැන් හීනෙන් දොඩෝනවලු.  කේලිය මහත්තයා  නින්දෙන් ඇවිදිනවාලු. බැලකනියකිනුත් දෙරි ගැහුවනේ. ගම්මන්පිල මහත්තයා නං ස්වේච්ඡාවෙන්ම හිඟන්නෙක් වෙලයි කියලත් ආරංචියි. ඇයි යකෝ... හුලා මහත්තයා තුන්පාරක් මැරෙන්ඩත් ගියානේ.... පශ්චාත් යුද ක්ලෙමථතාවයද මොකද්ද කියන්නේ ඕකට වෙන්නැති.


3. ඔතන සෝචනීයම සංසිද්දිය වෙන්නේ නිශාන්ත මහත්තයගේ කතාවට ඔල්වරසන් දෙන දේශප්‍රේමී සන්ධාන පාක්ෂික පින්වතුන්ට. ඇත්තටම ඒ අය ඔහොම කෑ ගැහුවට ඒ අයගේ හදවත බුර බුරා අඬනවා. මොකද ඔය ජීවිත පූජාකරන ලක්ෂෙට ඇතුලත්වෙලා මව්බිම වෙනුවෙන් උතුම් ආත්ම පූජාව කොරන්න ඔය කෑ ගහන කාටවත් අවස්තාවක් ලැබෙන්නෙ නැති නිසා. ලක්ෂ එක නෙමේ.. දහයක් කිව්වත් ඒගොල්ලන්ට ඒ ගොඩට ඇතුලත්වෙන්න ලැබෙන්නෙ නෑ කියලා ටක්කෙටම දන්න හින්දා තමයි ඕම සංවේගෙන් ඔල්වරසන් දෙන්නේ.

ඒ අයගේ තත්වය බොහොම සෝචනීයයි. ඔය කෑ ගහපු අය බොහොම වගකීම් දරණ ඈයෝ. සමහරු සුළුවට බිස්නස් එකක් පටන් අරන් කරගෙන යන ගමන්. සමහරු දරු පවුල් කාරයෝ. සමහරුන්ට ආණ්ඩුවේ කත්තෝරු වල බොහොම බැරෑරුම් රාජකාරි තියෙනවා. සමහරුන්ගේ ගෙවල් බාගෙට හදාගෙන යන නිසා එව්වා ඉවරවෙනකං යන්ට චාන්ස් එකක් නෑ. තව සමහරුන්ට වාහන ෆිනෑන්ස්. ඔය අතරේ හැමෝටම වගේ ගෙවන්න ණය තියෙනවා. සමහරු සිංහල නාමය එතෙර බබලවන්න රට යන්න බලං ඉන්න අය. මොන පූජාව කොරන්නත් ඕවා එකලාසයක් කරගන්න එපැයි නේද? ඔය මොනවා නැතත් වැඩි දෙනෙක් සිංහල ජාතියේ  ආරම්භය සහ පරිනාමය ගැන ප්‍රාමාණික විද්වතුන්. ඉතින් ඔච්චර දැනුමක් අපතේ දාලා මැරෙන්න යන එක ජාතියට කරන අපරාධයක්.  හා නැද්ද?  (ඔය විද්වතුන්ගේ නාම ලේඛනයක් අවශ්‍යනම්, ගම්මන්පිලගේ සීයේ එකවුන්ට් එක පරීක්ෂා කරන්න)

දන් මෙහෙම කිව්වාම කාටහරි හිතෙන්න පුළුවන්, මැරෙන්ඩ හිතලවත් නැති එකෙක් මව්බිම වෙනුවෙන් ලක්ෂයක් ජීවිත පූජාකරන්න සූදානම් කිව්වාම... මැරෙන්ඩ හීනෙන්වත් නොහිතන උන් දාහක් හමාරක් අත්පොඩි ගහන එක නිකං විකාරයක් වගේ නේද කියලා. 

ඒම වෙන්නෑ. ජීවිත පූජාවට සුදුසු උතුම් සිංහල වීර පුතුන් ඕනෙතරම් මේ පින්බිමේ ඩොටේ කැලෑවල ඉන්නවා. ඕට්ටේලියාවට බෝට්ටුවෙන් පයින්ඩ එපා කියල ඇඩ් දන්ඩ ගත්තු දා ඉඳලා උං ඉන්නේ දේශප්‍රේමෙන් පුපුර පුපුරා.  ඕලෙවල් වලින් එහාට බටහිර අධ්‍යාපන උගුලේ පවා නොවැටුනු නියම දේශීය විද්‍යාර්ථීන්. ඔය අප්පොඩි ගහන්නේ ඒ වීර පුතුන්ගේ ශ්‍රී නාමයට. මේක හරියටම තේරුන කෙනෙකුට ජාති වාත්සල්‍යය ඔද්දල් වෙලා ඇ‍ඬෙන්න ඕනේ..........

ඉතිං ඕමයි විස්තරේ. හෙට ඔයාලට පුලුවන්නං වර්ණසිංහ මහත්තයගේ නොම්බරේටත් මනාපයක් දෙන්ට. අපි වෙනුවෙන්නෙ දෙයියනේ මේ සේරම...!! 


Saturday, March 1, 2014

සිරිවර්ධන මහතාට පිහිටවෙමු....

පින්තූරය - ලහිරු ශානක මහතා සතුය

මේ ලියන්නේ සයිබර් අවකාශයේ සිටින දනට පිනට ලැදි, සමාජ සේවයට හිතැති අයගෙන් උපකාරයක් ලබා ගැනීමටය.  සමාජයේ ජීවත්වන අසරණ පුද්ගලයින්ට අපට කලහැකි යම් උපකාරයක් තිබේනම් එය කිරීම අපගේ යුතුකමකි. මෙලොව පරලොව ආනිශංස ගෙනදෙන මහත් පින්කමකි.  බුදුරජාණන් වහන්සේද දානමය කුසලය මහත් ඉහළින් අනුදැන වදාළ සේක.

මේ පින්තූරයේ දකුණු පස සිටින පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවෙකි. ඔහු නමින් සිරිවර්ධන වේ. සිංහල බෞද්ධයෙකි. ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින ඔහුට කිසිදු රැකියාවක නිරත වීමට නොහැකිය. ඔහුගේ බිරිඳ මියගොස් ඇති අතර පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු සිටී. වැඩිමහල් පිරිමි දරුවා අවිවාහක වන අතර ඔහුගේ වයස අවුරුදු 37 කි. අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී සිටින ඔහු මේ වන සිටින තැනක් කිසිවෙක් නොදනී. බාල දරුවා (අවු. 34 යි) මත්කුඩු වලට තදින් ඇබ්බැහිව සිටින අයෙකි.  මේ වන විට පොලිසිය විසින් ඔහුව විශෝධන මධ්‍යස්ථානයකට යොමුකොට ඇති අතර ඔහු නේවාසිකව එහි ප්‍රතිකාර ගනී.  ඔහුගේ එකම දියණිය මෙයට වසර හයකට පමණ පෙර රැකියාව සඳහා ලෙබනන් රටට ගිය අතර, එහිදී සේවය කල නිවසේ අයහපත් තත්වය නිසා ඇය එම නිවසින් පැන ඇත. ඉන් අනතුරුව මේ දක්වා ඇය ගැන කිසිදු තොරතුරක් දනගන්නට නැත.  

මේ හේතු නිසා ජීවත්වීමට කිසිදු ආදායමක් නැති සිරිවර්ධන මහතා මේ වන විට ජීවත්වන්නේ දිවයිනේ විවිධ පළාත්වල සිඟමන් යැදීමෙනි.  ගාළු මුවදොර, මොරටුව, කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල ආදී විවිධ ප්‍රදේශවලට යමින් දේශීය පින්වතුන්ට සහ විදේශීය පර සුද්දන්ට අතපා කීයක්හරි හොයාගෙන රාත්‍රීකාලය කොහේ හෝ බස් නැවතුමක ගෙවමින් ඔහු ගතකරන්නේ ඉතා දුක්බර දිවියකි.

මා මෙය විශේෂයෙන් ලියන්නේ සානුකම්පිත ඔබගේ උදව් උපකාර ලබාදී මේ අන්ත අසරණ වැඩිහිටියා මේ දුක්ඛිත තත්වයෙන් ගලවා ගැනීමේ අරමුණිනි. අප වීරෝධාර සිංහල ජාතියේ උපන් වයෝවෘධයෙකු මෙලෙස පර සුද්දන්ට අතපෑ යුතු නැත. ඔහුට එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ආහාරපාන ස්වල්පය, රෝගී තත්වයන්ට බෙහෙත් හේත් සමග මේ වයසේදී ලැබිය යුතු රැකවරණය ඔහුට ලබාදීමේ අරමුණිනි.

ඔබ මේ වනවිටත් ‘ගිණුම් අංකය එවන්නැයි’  යනුවෙන් මා වෙත පුද්ගලික මැසේජයක් කොටමින් සිටින්නේ නම් ඉතිරි ඩිංගත් කියවා සිටින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඇත්තෙන්ම සිරිවර්ධන මහතාගේ ජීවන තත්වය යහපත් කිරීම සඳහා වඩාත් තිරසාර වැඩපිළිවෙලක් අවශ්‍ය බව මගේ විශ්වාසයයි. ඔහු වෙත යම් මුදලක් ලබාදීමෙන් පමණක් අප ප්‍රාර්ථනා කරන අරමුණූ ඉටු නොවනු ඇත.   

ඔහු අත මුදල් ඇතැයි අන් අය දැනගත්තොත් එම මුදල් සොරකම් කිරීමට සිය ගාණක් සොරුන් සහ කුඩුකාරයන් මොහොතක්වත් පැකිළෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනික එවන් සොරකමක් සිදුවූ විටකදී  හොරුන්ව හඳුනාගත්තත්, විවිධ දේශපාලන බලපෑම් සහ හරිහමන් නීතියක් ක්‍රියාත්මක නොවන තත්වයක් තුල සිරිවර්ධන මහතාට නැවත එම මුදල් ලැබීමේ ඉඩකඩ ඉතා අවමය. අනික රුපියල් දෙතුන් සීයටත් මිනි රරණ රටක් මේක.

අනික අතමිටේ යම් මුදලක් ගැවසෙන විට  සිරිවර්ධන මහතා මත්පැන් වලට ඇබ්බැහි වීමටද පුළුවන. එයින් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවත් නරක්වනු ඇත. එවන් අබග්ගයක් සිදු නොවුනත්, ඔබ එවන මුදලින් සිරිවර්ධන මහතාට ඔහු වෙනුවෙන් භාවිතා කල හැක්කේ එයින් කොතරම් සුළු ප්‍රමාණයක්දැයි සිතා බලන්න. ඔබ මසකට රුපියල් 1000 ක් එව්වොත්, එයින් රුපියල් හාරපන්සීයක්ම බදු වශයෙන් නැවත ආණ්ඩුව උදුරා ගනී.  ඉතිරි මුදලින්ද උලමලා හලාල් මගඩිය හරහා රුපියල් 200 ක් විතරම ගසා කයි. ඉතින් ඔබ එවන මුදලින් පලක් තියේද?

ඉහත කරුණු කියවා ඔබ සිතේ මේ වන විට දක්මුසු හැඟීමක් ජනිත වී ඇති බව සිතමි.  දුක්වන්න එපා. සිරිවර්ධන මහතාගේ ජීවිතය යහපත් කිරීමට ඔබට උදව් කල හැකි වඩාත් තිරසාර ක්‍රමයක් මා ඔබට පවසමි. එමගින් එක් සිරිවර්ධනයෙකු වෙනුවට සිරිවර්ධනලා ලක්ෂ ගණනකට පිහිට වීමට ඔබට අවස්ථාව සැලසේ.

මා පින්කැමති ඔබට ආයාචනය කර සිටින්නේ සිරිවර්ධන මහතා වෙනුවෙන් විශාල මුදලක් පරිත්‍යාග කරන ලෙස නොවේ. ඉතා පුංචි රුපියල් 100/= ක් හොඳටම ඇති. ඔබගේ රුපියල් සියය ලංකා බැංකුවේ අංක 75 66 74 82 දරණ උදය ගම්මන්පිල මහතාගේ ගිණූමට බැරකරන්න. උදය ගම්මන්පිල මහතා යනු මේ රටේ සිටින ඉතාමත් බුද්ධිමත්, උගත්, කාර්යශූර අවංක දේශපාලනඥයෙකි. ඔහු කිසිදා බොරු කියා නොමැති අතර අනාගතයේදීත් කිසිදු බොරුවක් නොකියන හෝ නොකරන ඉවට අති උතුම් දළදා වහන්සේ ඉදිරියේම දිවුරා ඇති එකම දේශපාලනඥයාය.  ඔහුව ඔබට සීයට සීයක්ම විශ්වාස කල හැකිය.

ඔබ පින් පිණිස එවන රුපියල් 100/= නිසා ලබන 29 වෙනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් චන්දයෙන් එතුමා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන එතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම අති විශිෂ්ට ජයක් ලබන බව සහතිකය. ඉන්පසු එතුමා  ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය, බස්නාහිර පළාතේ මත්කුඩු, නීති විරෝධී මත්පැන්, දූෂණය, භීෂණය, අධික ජීවන බර, කොමිස්, දේශපාලන පවුල් බර, හලාල් මගඩිය  ආදී සියළු ව්‍යාධීන් නවත්වා එහි නීතිය සාමය යළි ස්ථාපිත කොට බස්නාහිර පළාත සාමයෙන් සෞභාග්‍යයෙන් උතුරන සමෘද්ධිමත් කලාපයක් කරයි.  අන්න එවිට සිරිවර්ධන මහතාට නැවත තමාගේ නිවසට පැමිණ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පින් පඩියක් අයදුම් කොට එම මුදලින් හොඳින් කා බී සිතේ බයක් නැතුව පිනක් දහමක් කරගෙන අභිත සිංහලයෙක් ලෙස මිය යනතෙක් සතුටින් සිටිය හැකිය.



උදය ගම්මන්පිල මහතාට සහ එතුමා  නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමට පින්සිදුවන්නට, නැවත කිසිදා සිරිවර්ධන මහතාට හෝ බස්නාහිර පළාතේ වෙනත් කිසිදු සිංහලයෙකුට මෙලෙස පර සුද්දන්ට අතපා ජීවත්වීමට සිදු නොවනු ඇත.

ඔබ සිරිවර්ධන මහතා වෙනුවෙන් මෙලෙස පරිත්‍යාගකරන රුපියල් සියයේ ආනුභාවයෙන් ඔබටද දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් වේවා.....!!
-----------------------

(පසු සටහන - මෙම ලිපියට යොදා ඇති ඡායාරූපය ලහිරු ශානක මහතා සතුය. මෙම ලිපියේ ඒ මහතාගේ දේශපාලන අදහස් අඩංගු නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න)