Monday, January 27, 2014

බුකියේ සිට ලියමි....!!



ෆේස් බුක් එකේ වල්මත්වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක්  යනුවෙන් ‘කතන්දරකාරයා’ විසින් අප තිදෙනෙකුට එරෙහිව නගා ඇති චෝදනා වලට ලුණු ඇඹුල් සහිත විධිමත් පිළිතුරක් දිය යුතුය.

මා තෝරාගෙන ඇති ආකාරයට නම්, නිර්මාණකරණය සඳහා ඇති හොඳම අවකාශය බ්ලොගයයි. පෞද්ගලික තොරතුරු, ප්‍රවෘත්ති හෝ කාලීන සිදුවීම් හා ඒ ආශ්‍රිත අදහස් හුවමාරු කර ගැනීමට සුදුසුම අවකාශය බුකියයි. ඉතින් අපි බුකියේ ඉන්නේ දැන් ඉස්සර තරම් බ්ලොගේ දාන්න නිර්මාණ නැති නිසා බව වගකීමෙන් කියමි.

මේවා ආවාට ගියාට කියන කතා නොවේ. පැහැදිලි සාක්ෂි සහිතව කියන ඒවාය. මගේ නිර්මාණ යනු යම් උත්ප්‍රාසයක්ද සහිතව ගොතනු ලබන කතාන්දරය. ඒ කාලේ මේවා ඕසෙට ලිව්වෙමි. නමුත් පසුකාලීනව මට පෙනීගියේ එකල ලියූ කතන්දර සැබෑවටම සිදුවන්නට පටන් ගෙන ඇති බවය. එයින් දැඩි කලකිරීමකට පත්වීමි.

උදාහරණයකට මෙහෙම ගන්න. මම බ්ලොග් ලියන්න ගත්තු 2010 දී විතර මම මෙහෙම කතාවක් ගොතනවා.
“ඔන්න දවසක් කොළඹ ජාතික කෞතුකාගාරෙට බීඩි මිටියක් ඉණේ ගහගත්තු හොරෙක් රිංගනවා. මූ කෞතුකාගාරේ සීසීටිවී කැමරා ඕෆ් කරලා කඩු  වගයකුයි තව වටින බඩුයි අරගෙන පනිනවා. පස්සේ මූ කඩු වල තිබ්බ මැණික් ගල් ගලෝගෙන කඩු මිටි කුණූ ගොඩකට දානවා. ඊට මාසෙකට පස්සේ කුණූ ගොඩ අයින් කරන කෘෂිකාර්මික සනීපාරක්ෂක කම්කරුවො දෙන්නෙක් ඒ කඩු මිටි නගුල් තල හදන්න ගෙදර ගෙනියනවා........”
ඇත්තටම මම මෙහෙම කතාවක් ලිව්වේ නැහැ. ලිව්වනං 2010 දී හොඳටම හිට් වෙන නිර්මාණයක් වෙන්න තිබුණා. ඒත් 2012 දී ඔය සිද්දිය ඇත්තටම වුනාම මට වහකන්න නෙමෙයිද වෙන්නේ?

තමුන් ගොතන නිර්මාණයක් පස්සෙ කාලෙක නිවුස් එකක් වෙන එක සෙල්ලමක්ද? අද නිර්මාණකරුවා හෙට නිකම්ම නිකම් රිපෝටර් කෙනෙක් වෙලා. ඊටත් වඩා විනාසයක් මිනිහෙකුට වෙන්ඩ පුලුවන්ද?

ඔන්න මම 2011 දී විතර මෙහෙම ලිව්වනං?
“ඔන්න කුඩු කන්ටේනරයක් ලංකාවට හොරෙන් ගෙන්නනවා. ඒක රේගුවට මාට්ටු වෙලා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙනියනවා. එතනදි කුඩු කිලෝ එකසිය ගානක් අතුරුදහන් වුනාට පස්සේ රේගුවට ලියුමක් දුන්නය කියලා අගමැති කාර්යාලේ ගේට්ටුව ගාවදි හාමුදුරුවරු වගයක් පොලිසියෙන් ගුටිකනවා....”
ඇත්තටම මේක ඒ කාලේ නම් බොහෙම සාර්ථක අධියතාර්ථවාදී නිර්මාණයක් වෙන්න තිබුණා. (ඒකට එන කමෙන්ට්ස් මට මැවිලා පේනවා. -
Maxxxxa මචං../එළ...!/සුපිරි/තේරුණේ නෑ.../Superb/....)
ඒත් අද ඔහොම එකක් ලිව්වනං මොකද වෙන්නේ?

හරි... මෙහෙම කතාවක් ගන්න. එක්තරා රජකෙනෙක්ගෙ පුතෙක් ඉන්නවා. මේ පුතාගේ ආසාව හින්දා කෙල කෝටි ගානක් රටේ සල්ලි වියදම් කරලා සැටලයිට් එකක් අහසට යවනවා. අහසට ගියාට පස්සේ මේ සැටලයිට්ටෙකට වෙච්චි කෙරිච්චි දෙයක් කාටවත්ම හොයාගන්න බැරිවුනු හින්දා මේ පුතා එක්තරා විභාගයක් ලියනවා. මේකා ගොං අලයක් හින්දා විභාගේ පේල් වෙනවා. ඒ ගැන තදින් කෝප වුනු රජතුමා ප්‍රස්න පත්තරේ බලපු එකා දොට්ට දාලා විබාගේ ගෙදර ඉඳන් ලියන්න පුලුවන් එකක් බවට පත් කරනවා. ඊට පස්සේ අර ගොං පුතා ආපහු ගෙදර ඉඳන් විබාගේ ලියලා ලකුණූ සීයෙන් සීයම අරන් ලෝකෙන්ම පලවෙනියා වෙනවා.

දැන් මෙව්වා දිගට හරහට ලියලා බ්ලොගේ පුරවන්නෙ නැති හින්දා නේද කතන්දරකාරයා මේ මඩ ගහන්නේ? ඇයි මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැත්තේ? අද ගොතන කතන්දරේ හෙට ඇත්තක් වෙන්නෙ නෑ කියලා කතන්දරකාරයට සහතිකයක් දෙන්ඩ පුලුවන්ද?

වැඩි ඈතක ඕන්නෑ. නිකමට හිතමු ඔන්න මම ගිය අවුරුද්දේ ‘සිස්ටම් එකේ විහිළු කතා’ කියලා විහිළු පෝස්ට් එකක් ලියනවා. ඒකෙ එක විහිළුවක් තමයි ‘ජින්ජර් වයිට් චන්දෙ ඉල්ලයි’. කට්ටිය ‘හිනා වෙලා බඩ කොරවුනා’ කියලා හෙම කමෙන්ට් කරයි. ඉතිං යකෝ ඒක අද ඇත්තක් වෙලානේ? මාස කීයද ගියේ? ඇයි මේවා තේරුම් ගන්නැත්තේ?

වැඩියෙ ඕන්නෑ. මම අද මෙහෙම එකක් ලිව්වොත්....?
“ලංකාවේ ජීවත්වෙන සියළුම ජනතාව තමුන්ගේ ඇඟිළි සළකුණු 10 ම රජයට ලබාදිය යුතු බවට නියෝගයක් පණවා ඇත.”
ඉතිං ඕක ලස්සන කතන්දරයක් තමයි. ඒ වුනාට අන්න වෙළඳපොලේ රුපියල් පන්දාස් අටසිය ගානක් වෙන ඇඟිලි සළකුණූ ගන්න පාවිච්චි කරන තින්ත පෑඩ් විසිදාහක් විතර මේ මොහොතේ ඇමෙරිකාවෙන් ඇත්තටම ගෙන්නමින් පවතිනවා. ඉදිරි අවුරුදු පහ  තුල ලංකාවේ ඉන්න අවුරුදු පහලොවට වැඩි හැම එකාටම කැමති වුනත් නැතත් තමුන්ගේ ඇඟිලි සළකුණු 10 ම අනිවාර්යෙන් දෙන්න වෙනවා. එතකොට අර කතන්දරේට මොකද වෙන්නේ?

මෙව්වා අපි තේරුම් ගන්න ඕනේ. කතන්දර සහ නිවුස් කියන්නේ දෙකක්. මහ ලොකුවට කතන්දර හදලා ඒවා බ්ලොගේ දාලා නිකං පජාත වෙනවට වඩා හොඳ නැද්ද, නිවුසුයි, අනාගතේ නිවුස් වීමට නියමිත කතන්දරයි ඔය සේරම නිවුස් දාන්න තියෙන බුකියෙම දාලා දාන එක?

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ ‘නිර්මාණ නිවුස් වීමේ’ අභාග්‍යසම්පන්න තත්වය නිසා සයිබරයෙන් සදහටම සමුගත්තු ටැබූ, කොලූ, ඇටමැස්සා, පිස්සා, පුලා, බහිරාමු, මාලන්, ආනන්දවර්ධන, වගේ නිර්මාණකරුවන් අතර අපි තුන්දෙනා බුකියේ හරි මෙහෙමවත් ඉන්න එක ගැන ඔයාල සතුටුවෙන්නලා.
---------------------------
ප/ලි -
‘පෙරමුණේ රාලගේ අටුවාව’ නැති බ්ලොග් අවකාසේ පරිප්පු නැති හෝටලයක් වගේ බං. අන්න ඒකට බුකිය.... රංග මස්සිනා දෙන ආතල් දාලා කෝම ආපහු එන්නද?