Thursday, June 5, 2014

ඩොලර් කාක්කෙක් ඔබ අමතයි....!!

මේ ලියන්නේ පොඩි හදිස්සියකට. මගේ යාළුවෙක් ලැජ්ජාව හින්දා දිවි නහගන්න යනවා. මිනිහගේ අන්තිම කැමැත්ත මිනිහා ලියන මේ අවසන් පාපොච්චරණය මිනිස්සු අතරට ගෙනියන එකලු. මැරෙන්නෙ මිනිහගේ කැමැත්තෙන් හින්දා මට ඒකට කරන්න දෙයක් නෑ. ඒත් යාළු ෆිට් එක හින්දා මිනිහගේ ඉල්ලීම ඉෂ්ඨ කරලා දානවා.  ඇත්තටම මිනිහා උනත් ඒ දවස්වලනං මේ වගේ බ්ලොග් පඩංගු සතේකට ගණන් ගත්තෙ නෑ. ඒ දවස්වල මෑන්ස්ට ජාතික පත්තරවල ෆුල් පේජ් ලැබුනා. යා ටීවී එකේ පැයේ හමාරේ පෝග්‍රෑම්. දිනපතා සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශණ, සත්‍යග්‍රහ අරවා මේවා. දැන් ඒවා නෑ. දැන් කාටහරි කෝල් එකක් ගත්තත් ‘පොඩි වැඩක මචං... ටිකකින් ගන්නං’ කියලා කට් කරලා ෆෝන් ඕෆ් කරගන්නවලු.  එක අතකට ඉතින් ලෝක ස්වභාවේ තමා නේද?

කියන්න බැරිවුනානේ. මිනිහා මේ රටේ තිබ්බ හෙන ලොකූ එන්.ජී.ඕ. වක ලොක්කෙක්. දැන්නං ඒක ඇති නැති ගානයි. මොනව උනත් හිත හොඳ එකා. ඒ දවස්වල මේ බ්ලොගේ ලියනවටත් එහෙං මෙහෙං ඩොලර් ටිකක් නොදුන්නම නෙමේ.  විපුලයට හෙම ගෙව්වේ ෆේස්බුක් කමෙන්ටු ගානට. හප්පා එහෙම කාලයක්.

ඒ අනවශ්‍ය කතා ඇති. මෙතන ඉඳන් තියෙන්නේ සිය දිවි නසාගන්න කලින් මිනිහා කරන පාපොච්චාරණය. මේ ලිපිය කියවලා මෙයාට නිවන් සැප ලැබේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න.

“සියළු ලංකාවාසීන් වෙත ලියමි. ඉමහත් ලැජ්ජාවෙන් පෙළෙමින් මේ ලියන්නේ කිසිදා ලියන්නට වෙතැයි නොසිතූ ලියුමකි.
මම එන්.ජී.ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධානයක ලොක්කෙක්මි.  හුඟ දෙනෙක් මට කියන්නෙ ඩොලර් කාක්කා කියලා. මගේ සංවිධානය මේ රටේ තිබුණු ලොකුම එන්.ජී.ඕ. සංවිධාන වලින් එකකි. අපේ සංවිධානයට ඒ දවස්වල අධිරාජ්‍යවාදී රටවලින් ඩොලර් ලක්ෂ ගණන් කුට්ටි පිටින් ලැබුනු බව පිළිගනිමි. ඒවා දුන්නේ නිකම් නොවේ. ආධාර දුන් ඒජන්තයන්ගේ කූට අරමුණු අප ලවා ඉටුකරවා ගැනීම පිණිසය. අපිද ඒ සඳහා සැදී පැහැදී සිටියෙමු. විවිධ ඒජන්තයන් මුදල් එව්වේ විවිධ අරමුණු වෙනුවෙනි. තවදුරටත් ජීවත්වීමේ අදහසක් නැති නිසා ඒවා පහත හෙළිදරව් කරමි.

1 මේ රටේ පමණක් සුරක්ෂිතව තිබෙන උතුම් ථේරවාදී බුද්ධාගම විනාශ කොට දැමීම
2 ලංකාවේ පවතින අති උතුම් අවිහිංසාවාදී සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන සුද්දන්ට හෙන ජෙලස්ය. ඒක කම්බස් කර දමන්නට
3 ලංකාවට ආවේනික සත්ව සහ ශාක වල ජාන සම්පත් සොරකම් කර ගැනීමට සහ සිංහරාජය වැනි උරුමයන් විනාශ කර දැමීමට.
4 ලංකාවේ ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලෝක මට්ටමින් වසං කිරීම සඳහා ඉතිරිව ඇති පෞරාණික නටඹුන් ස්මාරක හීන්සීරුවේ වනසා දැමීමට.
5 ලංකාවේ සිංහලයන්ගේ ඇති මිත්‍රශීලී සහ ත්‍යාගවන්තභාවය ගැන ලෝක මට්ටමින් ඇති කීර්තිනාමය විනාශ කර දැමීමට.
6 සිංහලයන් උපතින්ම ඉහළ බුද්ධි මට්ටමකින් යුක්ත නිසා ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබා ලෝක මට්ටමේ බලවත් වීම වැලැක්වීමට.
7 ලංකාවේ භෞමික අඛණ්ඩතාව විනාශ කොට මේ රට දෙකට හෝ තුන හතරකට කඩා අස්ථාවර කිරීමට.
8 ලංකාවේ ශක්තිය රැඳී ඇති රහස වන රජරට ගොවි ජනයා අඩපණ කොට දැමීම.
9 ලංකාවේ ස්වභාවික සම්පත් හීන් සීරුවේ අධිරාජ්‍යවාදීන් යටතට ගැනීම.

ඇත්තම කියනවානං ඔය අරමුණු  ඉෂ්ටකරදීම වෙනුවෙන් මම ඇතුළු අපේ කණ්ඩායම මුළු ආත්මයෙන්ම කැපවෙලා ඒ දවස්වල වැඩ කලා. සුද්දොත් අපිට මදි නොකියන්න ගෙව්වා. සල්ලි තියෙන නිසා මිනිස්සුන්ගෙන් අඩුවක් තිබ්බෙත් නෑ. මාධ්‍ය වල හෙම හොඳට ඉඩකඩ ලැබුනා. අපි යම් සාර්ථකත්වයක්  ලැබුව බවත් කියන්න ඕනේ.

අපිට ලොකුම අබග්ගය උනේ විමල් වීරවංස මහත්තයා අපේ හොර වැඩ අල්ලාගැනීම. ඒ එක්කම උදය ගම්මන්පිල, චම්පික රණවක මහත්තේලා, ගුණදාස අමරසේකර... නලින්ද සිල්වා යුවල... රතන හාමුදුරුවෝ හෙම අපේ වැඩ ගැන දැනගෙන අපේ පළු අරින්න ගත්තා. අපි ලොකු අමාරුවක වැටුනත් සල්ලි තිබ්බ නිසා ඒවා ඔක්කොම යට කරගෙන අපේ වැඩ හීන් සීරුවේ කරගෙන යන්න අපිට ඇහැක් වුනා.

ඇත්තම කියනවානං අපේ පාත්තරේට හෙණහුරා වැටුනේ මහින්ද රාජපක්ෂ මහත්තයා තනියම යුද්දේ ඉවරකලාට පස්සේ. ඊට පස්සේ අපිට වැඩ නැතුව යන්න ගත්තා. එච්චර කාලයක් අරුන් ඩොලර්,යුරෝ දසලක්ෂ ගානක් එවලත්, අපි දවල් රෑ නැතුව ඒ සල්ලිවලින් දුවලත් කරගන්න බැරිවුනු දේවල් රාජපක්ෂ මහත්තුරු එක රැයෙන් දෙකෙන් කරන්ඩ ගත්තා. මේවා ලියද්දිත් ඇ‍ඬෙනවා.

අපි අවුරුදු ගානක් තිස්සේ බුද්ධාගමට අනින්න හදලත් කරගන්න බැරිවෙච්චි දේවල් අහවලාගේ බොදු බල සේනාවෙන් එක රැයින් කලා ඕයි. අපි කරන්න හැදුවේ හීන් සීරුවේ හාමුදුරු නමක් දෙන්නෙක් අල්ලගෙන බොන්න පුරුදු කරලා.... ඔහොම එකක්. ඒ වුනාට අරුං එක සතියෙං හාමුදුරුවරු කියන්නේ අංක එකේ කුණුහරුප කියන මැරයො ටිකක් බවට පත්කොලා. ඊට පස්සේ ඒකට ආපු සල්ලි නැවතුනා.

අර සිංහරාජෙට කෙලින්න කියල ආපු සල්ලි ටිකට නාමලයා කෙළියා. නිකං කොරගන්න පුළුවන් දේට අපිට සල්ලි එවන්ඩ සුද්දන්ට පිස්සුයැ? අර ස්වභාවික සම්පත් ටිකට කෙලින්න ආපු සල්ලි අහවලා හින්දා නැතුව ගියා. පොඩි ඩීල් එකකින් ඕන මගුලක් සින්නක්කරේට ලියාගන්න පුලුවන්කම තියෙද්දි මොකට කුමන්ත්‍රණ කරනවද?

ඉතිහාසේ/නටඹුන් සබ්ජෙක්ට් එකටත් දැන් සල්ලි එන්නේ නෑ. සල්ලි ඉල්ලුවාම සුද්දෝ අහනවා පහුගිය අවුරුදු හත අටේ හමුදා පොලිස් ගාඩ් දාගෙන කඩපුවාට අමතරව තවත් කොහෙද ඕයි නටඹුන් තියෙන්නෙ කියලා.  උන්ට බොරු කරන්න අමාරුයි.  ඒ ගමන ඉතිහාස පෙළපොත් වල පොඩි පොඩි ජිල්මාට් ටිකක් දාලා ඉතිහාසේ ටිකක් අවුල් කරලා දාමුද ඇහුවාම උන් කිව්වනෙ ‘තමුසෙලා පැහෙන්නැතුව ඉන්නවලා... සනත් අබේසේකරලා... ජයන්තලා ජැක්සන්ලා ඒ ටික කරලා දායි’ කියලා. අපේම කරුමේ.

මොනව උනත් අපි සැලුනේ නෑ. ඔය මොක නැතත් සිංහලයාගේ අර සුහදශීලී සාමකාමී මෙව්ව එක තියෙනවනේ. ඒකටවත් සල්ලි ටිකක් ගන්න ඇහැක්නේ. ඔන්න ඔය අතරේ තමයි අර ගොං තංගල්ලේ සබාපතියා ගේම දුන්නේ. අපිට ඩොලර් ලක්ෂ ගානක් වියදම් කරලා වත් කරන්ඩ බැරි දෙයක් මූ විනාඩි පහෙන් කෙරුවනේ ඕයි? අපි මෙහෙන් සල්ලි ඉල්ලද්දී එහෙ සුද්දෝ ලංකාවට යන්න එපා කියලා බැනරුත් දාලා. හද්ද කුජීතයි. ඒ මදිවට ලෝකේ පුරා දාලා ඉන්න තානාපති නෑදෑයෝ ටික ඉතුරු හරිය ගානට දෙනවා. අපිට ඇඩ්‍රසුත් නෑ.

ඕම එකින් එක කෙළවෙන්න ගත්තා. අපිට අධ්‍යාපනය කියාගන්නවත් නොදී එස්.බී යයි බන්දුලයයි වැඩේ දුන්නා. ගොවි ජනතාව කියලා එවුන් ජාතියක් දැන් ඇත්තෙත් නෑ. ඉන්නෙ වකුගඩු ලෙඩ්ඩු. ගොයිතැන් නොකරන උන්ටත් එහෙමට ඇති ශක්තියක් නෑ. තුන්වේල හරියකට කන්ඩවත් නැති උංගේ අහවල් රෙද්දද අඩපණ කොරන්ඩ තියෙන්නේ? කාලයක් වතුර විකුණන්ඩ කියලා අපි ගාන කපාගත්තා.  දැන් සුද්දෝ ඒවට අහුවෙන්නෙ නෑ. උන් අහනවා කොහොමත් විකුණන එහෙකට අපි මොකටද ඕයි පෙට්‍රල් පුච්චන්නේ කියලා.

ඒ දවස්වල සුද්දන්ගේ ඒකායන අරමුණ වුනේ ලංකාව කිසිම චාරයක් නීතියක් නැති, ලෝකෙටම පරාධීන, රුපියල් දාහ හමාරටත් මිනි මරාගන්න අන්ත කුජීත රටක් කරන්න. උන් කියනවා දැන් ඒක වෙලාලු. ඒක හින්දා සියළු ප්‍රොජෙක්ට් කැන්සල්ලු.

අම්මපා කියන්නේ.... දැන් කැඳ වතුර උගුරක් බොන්න සල්ලි නෑ. ඒත් කමක් නෑ කිව්වෑකි. අපි ටැප් වතුර බිබී හරි මෙච්චරකල් හිටියා. මේ ගිය සුමානේ වෙනකං.  ඒත් තවත්නං ඉවසන්න බෑ. මෙච්චර හරියක් වෙලා තියෙද්දිත්, විමල් මාත්තයලා, චම්පික, වාසු,ඩලස් මහත්තේලා කට ඇරපු ගමන් කියන්නේ අධිරාජ්‍යවාදී විදේශ බලවේග මේ රට විනාස කොරන්ඩ කුරුමානම් අල්ලනවලු. ඔය කතා තේරුම්ගන්න බැරුව පිස්සු හැදිලා අපේ දෙන්නෙක් ගිය සුමානේ එල්ලිලා මලා. මටනං උහුලගන්ඩ බැරි මේ ලැජ්ජාව. එහෙං සුද්දන්ට මූණ දෙන්ඩ බෑ. මෙහෙන් මුං කියනවා අපිට තාම සුද්දො ඩොලර් දෙනවලු. රෙදිත් ඇඳගෙන මෙව්වා තවත් අහං ඉන්න බැරිනිසා මමත් තව පැයකින් එල්ලිලා මැරෙනවා. 

රාජපක්ෂ ආන්ඩුව බංගවේවා....!!
මීට ඩොලර් කාක්කා.”

Monday, May 5, 2014

තිත්ත කරවිල කතාවේ ඇත්ත කතාව


මගේ හොඳ දුවේ. අද තාත්ත හාල් ටිකක් හොයාගෙන එනවා කිව්වානේ... එතකොට මං මගේ පුතාට බත් උයලා දෙන්නම්කෝ... දැන් මේ කරවිල ටික කන්න...." අපේ අම්මලා හඳේ හාවා පෙන්නා ඩිංග ඩිංග බණ්ඩියට දාන්න නොවිඳිනා දුක් විඳින කරවිල පිඟානක්ම පුංචි දුවගේ අත්ල මත. ඒ ළපටි දෙතොල් අතරින් තිත්තම තිත්ත කරවිල කටක් ඇතුළු කරන්නේ කොහොමද....? දරිද්‍රතාවත්, මවුපියන්ගේ අසරණකමත්, නොතේරෙන පුංචි දියණියගේ මොළකැටි කම්මුල් දිගේ කඳුළු කඩන් වැටෙද්දී බෝලයක් වගේ ගුළිවුණු කරවිල කටක් උගුරේ පහළට ගියා. නංගියගේ කෑමත් නවතියි කියලා හිතුණ දහතුන් වියැති පුංචි අක්කා කිසි වෙනසක් නොපෙන්නාම කරවිල පිඟානම ගිල දැම්මා....”

ඉහත උපුටනය, පෙබරවාරි දෙවෙනිදා මව්බිම පත්තරේට වාසනා සුරංගිකා විතානගේ / පුබුදුපුර - රුචිර සේනාරත්න කියලා ‘මාධ්‍යවේදී’ ඩබලක් ලියාපු “දවස් පහක් කරවිල කාලා රෝහල්ගතවන්නට සිද්දවෙච්චි අම්මා” කියන හොටු කඳුළු නිවුස් කතාවෙන්. මේක පළවෙලා පැය කීපයක් ඇතුලත මේ ප්‍රවෘත්තිය රටම කැළඹුවා.  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් බොදු බල සේනාව දක්වා කලබල වෙලා ක්ෂණික පියවර ගන්න පටන් ගත්තා.  ඡන්දයක් අතළඟ තිබ්බ නිසා මේකේ ප්‍රවෘත්ති වටිනාකම හිතාගන්න බැරි තරම් ඉහළ ගියා. විපක්ෂ වේදිකාවල මේ තිත්ත කරවිල කතාව රසමසවුලක් වුනා. ආණ්ඩුව කරවිල ගිලපු ගොළුවො වුනා.

මේ නිවුස් එක අහපු ගමන් ගමක ජීවත්වෙන හාදයෙක් හැටියට මට මේක එච්චර ඇල්ලුවේ නෑ. සාමාන්‍යයෙන් මෙහෙම සිදුවීම් ගම්වල වෙන්න ඉඩක් නෑ. එනිසා මම හිතුවේ මේක ඇත්තක් නම්, මේ මිනිස්සු එක්කෝ ගම්මානයකින් දුරස්ව තනියම ජීවත්වෙන්න ඕනේ. එහෙම නැතිනම් ගමකට එපාම කරපු පිරිසක් වෙන්න ඕනේ. එනිසා මට ඕනෙ වුනා මේකෙ ඇත්ත නැත්ත හොයන්න.

මා විසින් සහ වෙනත් ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර කිහිපයකින් ලබාගත් තොරතුරු මත කතාව කෙටියෙන් මෙහෙමයි.
මේ කරවිල කතාවේ කතානායිකාව වන සීවලාපිටිය පදිංචි විනීතා මොකක්හරි හේතුවකට ගමනක් යනකොට බස් එකේදි දන්න කියන කාන්තාවක් හමුවෙනවා. ඒ කෙටි කාලය තුල දෙන්නා ජීවත්වීමේ අගහිගකම් සහ අළුත උපන් නිවුන් දරුවන් දෙදෙනා ගැන කතාවෙනවා. ඒ කතාවෙදි විනීතා ඇයට කියනවා ඇය සම්පූර්ණ දවසක් කරවිල කාපු එක ගැන. (ඒ කරවිල කාලා තියෙන්නේ ඇගේ ඥාති වැඩිහිටි කාන්තාවකගේ උපදෙස් මත කිරි එරෙන්න. ඒ හේතුව අර කාන්තාවට කිව්වද කියන එක පැහැදිලි නෑ. බොහෝවිට අදහස් සන්නිවේදනයේ පොඩි වයර් පැටලීමක් වෙන්න ඇති)
ඒ කාන්තාව කියනවා එයා දන්න පත්තර වාර්තාකාරයෙක් ඉන්නවා. එයාට මේ විස්තරේ කියන්න කියලා. ඒකට විනීතා එකඟ වෙනවා. ඒ අනුව පසු දවසක අර අදීන මාධ්‍යවේදීතුමා(ලා) විනීතාගේ ගෙදරට එනවා. ඇවිත් විස්තර අහගෙන යනවා.

දවස් කීපයක් යනවා. ඔන්න එකදවසක් උදේ 10 ට විතර (නිවුස් එක පළවුනු දා) අනුරාධපුර අතිරේක දිස්ත්‍රීක් ලේකම්තුමියක් කඩිමුඩියේ සීවලාපිටියට එනවා. ඇවිත් ගම්මුන්ගෙන් මෙහෙම අහනවා.
“අර දවස් පහක් කරවිල කාලා ඉස්පිරිතාලේ හිටපු ගෑනු කෙනාගේ ගේ කොහෙද?”
ගම්මු මූණෙන් මූණ බලනවා.
“විනීතා කියන්නේ? එයාගෙ මහත්තයා ලසන්ත..... එයාලට නිවුන් දරුවො දෙන්නෙක් ඉන්නවා....? ......”
ගම්මු විනීතාගේ ගේ පෙන්නනවා.
එදා තමයි විනීතා හා පුරා දැනගත්තේ තමුන් දවස් පහක් කරවිල තම්බලා කාලා දවස් දොලහක් ඉස්පිරිතාලේ හිටපු බව.
----------------------

විනීතලට රුපියල් එක්දාස් පන්සීයක සමෘද්ධි මුද්දරයක් තියෙනවා. ගොඩ ඉඩම් අක්කර දෙකකුයි කුඹුරු අක්කර තුනකුයි තියෙනවා. ඒ කියන්නෙ සීවලාපිටියෙ අනික් ගම්මුන්ට වඩා අඩු දේපලක් නෙමේ. හැමෝටම ඔය වගේ තියෙනවා. ඒ වගේම හැමෝටම ජීවත්වෙන්න එක වගේ අමාරුයි. විශේෂයෙන් ඔය කියන වකවා‍නුවේ පැවති නියඟය මුළු ගමටම තදින් බලපෑවා. ගොවිතැන් කටයුතු නැති නිසා මිනිස්සුන්ට කුලි වැඩ හොයං යන්න වුනා. කුලි වැඩත් හිඟ වුනා. දරුවො හතර දෙනෙක් නිසා විනීතලට අනික් අයට වඩා සෑහෙන්න අමාරු වෙන්න ඇති. විනීතගේ මහත්තයා මීඩියා වලට ඇඬුවට  ඇත්ත සතා නම් පවුලේ බර එච්චර ඇඟට නොගත්ත අමුතු පහේ හාදයෙක් කියලයි ආරංචි. මිනිහා උන්හිටි ගමන් සති දෙක තුන කොහෙහරි ගිහින් හම්බකරගත්තු දේකුත් නැතුව නිකම්ම ආපහු කඩාපාත්වෙන ජාතියේ චරිතයක්. කොටින්ම මිනිහා ගැන ගම්මුන්ගේ චරිත සහතිකේ එච්චර හොඳ එකක් නෙමේ. හැබැයි විනීතා හොඳ ධෛර්යවන්ත ගෑණි කියලා පළාතේ කවුරුත් කට ඇරල කියනවා.

දරුවන් හතර දෙනෙක් එක්ක සැමියගේත් නිසි සහයෝගයක් නැතිව විනීතා මහ දුකක් විඳින්න ඇති.  (යකෝ හාල් කිලෝවක් හොයාගන්න බැරි එකා පිරිමියෙක්ද නැත්තං ****ක්ද? ) හැබැයි ඉතින් මොන අහේනිය තිබ්බත් දවස් ගණන් කරවිල ගිලින්න තරම් තත්වයක් සීවලාපිටියේ කාටවත්ම තිබ්බෙ නැති බව කියන්න ඕනේ. ලංකාවේ වැඩියෙන්ම වට්ටක්කා සහ පුහුල් වගා කරන ප්‍රදේශයක් මහ විලච්චිය.  කතාවක් තියෙනවා වට්ටක්කා වාරයට මහවිලච්චියේ ගොවියෝ විකුණගන්න බැරුව විසිකරන වට්ටක්කා තොගය විතරක් ගත්තොත් උතුරු මැද පලාතටම උනත් වේල් දෙකතුනක් දෙන්න හැකියි කියලා. දඹුල්ලේ වට්ටක්කා මිල තීරණය වෙන්නේ මහවිලච්චිය මත. ඒ වගේමයි බඩඉරිඟු. මහවිලච්චියේ වැව නිසා කුඹුරු ගොවිතැන් වුනත් තද නියගයකදී හැර පාළු වෙන්නෙ නෑ.

ඔය කරවිල කෑවයි කියන වකවානුවේ සීවලාපිටියේ ඕනෙතරම් වට්ටක්කා බඩඉරිඟු තිබුණයි කියන එක කියන්නේ සීවලාපිටියේ මිනිස්සු.  ගම්වල මිනිස්සු ගමේ එකාට වට්ටක්කා ගෙඩිය විකුණන් කන්නෑ. කවුරුහරි ඉල්ලුවොත් සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් නොදී ඉන්නෙත් නෑ.  විනීතාගේ ගේ වටේ ඉන්න වැඩිදෙනෙක් ඇගේම ඥාතින්. මේ මනුස්සයා දරුපැටව් ටිකත් එක්ක දවස් පහක් කරවිල කනකං ඒ කවුරුවත් බැලුවෙ නෑ කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද?

විනීතා රෝහල්ගත වෙලා හිටියේ නෑ කියන එක කියන්නේ විනීතාමයි. ඇය රෝහලකට ගිහින් තියෙන්නෙ ඊට මාසෙකට විතර කලින්. ඒ ළදරුවො දෙන්නගේ ක්ලිනික් එකට. ඒ කියන්නෙ රෝහල් කතාවත් පට්ටපල් බොරුවක්. විනීතාගේ වචන වලින් ම මෙහෙමයි.
“මං එයාලට (මාධ්‍යවේදීන්ට) ඉස්පිරිතාල කතා මොකුත් කිව්වෙ නෑ.... ඒවා ලියලා තියෙන්නෙ එයාලමයි... ඒත් ඉතිං එයාල හින්දනේ මේ සේරම ලැබුනේ....”

නිවුස් එක ගියත් එක්කම හිත උණුවුනු සංවේදී මිනිස්සු දුර බැහැර ඉඳන් විනීතා හොයාගෙන එන්න ගත්තා. මේක ගමේ මිනිස්සුන්ට ලොකු අවුලක් වුනා. සමහරු ආධාර අරන් ආපු මිනිස්සු වෙන පාරවල්වල පවා යවලා තිබ්බා. ඇතැම්විට ඉරිසියාව වෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන් කියන කතාවේ ගත යුත්තක් තියෙනවා.
“අපේ ගම්මැද්දේ ගෑනියෙක් කන්න නැතුව දවස් ගනං කරවිල තම්බලා කෑවයි කිව්වම අපි ගම්මු නිකං තිරිසන්නු ගානට වැටෙනවනේ...?  මේ ගංගොඩේ ඕන එකෙක් කන්න නැති එකෙක් දැක්කොත් කන්න ගත්තු පතෙන් කොටහක් හරි දෙනවා. ඒක සිංහල සිරිත..... මේ **න පත්තරකාරයෝ සීවලාපිටිය ගම කෑවා......”

සිද්දිය පත්තරේ ගිහින් සතියකට පස්සේ විනීතගේ ලොකු කෙලී ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. ඔයාලා කන්නේ කරවිල තම්බලද කියලා ඉස්කෝලෙ ලමයි ඔච්චම් කරන්න අරන් තිබුණා. පස්සෙ විදුහල්පතිතුමා ගෙදරට ඇවිත් ඒ දරුවා නැවත ඉස්කෝලෙට එක්ක ගිහින් තියෙන්නේ. ඔය වගේ ප්‍රස්න ගොඩක් වුනා.

ගම්මු කියන කතාවල අපූරු කෑල්ලක් අහුවුනා.

“ඔය පවුල හරි අමාරුවෙන් තමා ජීවත්වෙන්නේ.... ඒක ඇත්ත. ඒ වුනත් එයාල වගේ කීප ගුණයක් අන්ත අමාරුවෙන් ජීවත්වෙන පවුල් මේ ගමේ අනන්ත ඉන්නවා. මිනිස්සු නැති.... දරු කැලතක් එක්ක තනිවුනු... ලෙඩවුනු... ගෑනු.....මේ ආසනෙත් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙත් ඉන්නවා..... ඉතින් රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව් කලා කියලා ඒවා විස‍ඳෙනවද? එතකොට ඒ හැමෝටම තියෙන විසඳුම  ඔය වේස පත්තරකාරයෝ ගෙන්නලා අපි කව්පි කොල තම්බලා කෑවා.... අපි බඩඉරිඟු නටු කෑවා කිය කියා පත්තරේ දාන එකද.....?”

ඉතින් මූලික සිද්ධිය ඕකයි. විනීතා දරු පැටවුනුත් එක්ක  දැඩි අගහිඟකම් මැද අන්ත අසරණ ජීවිතයක් ගතකල බව අමූලික ඇත්ත. නමුත් නිවුස් එකේ ලොකුම කතාව වන දවස් පහක් කරවිල තම්බලා කාලා අසනීප වෙලා රෝහල්ගත කරලා දවස් දොලහක් හිටියයි කියන එකයි, දරුවන්ට බ‍ලෙන් කරවිල ගිල්ලුවයි කියන එකයි  හෙනගහන පට්ටපල් බොරු.
----------------------------

ආහ්... පොඩි රස කතාවක් තියෙනවා. ඒකත් කියලම අහවර කරන්නම්.
අපේ බොදු බල සේනාව ඉන්නවනේ. ඒ අයත් විනීතලට පිහිට වෙන්න වහාම ක්‍රියාකාරී වුනා. ඒ අතින් ඇත්තෙන්ම හොඳයි. ඒ ගොල්ලො ඇවිත් දවසක් හමාරක් ඇතුලත මුළු නිවසම වයරින් කලා. ඒ කරලා සප්ලයි ගන්න අනුරාධපුර විදුලි අධිකාරිට කතා කලා. එයා කිව්වා සල්ලි බැන්දොත් සප්ලයි දෙන්නං කියලා. (කතාව හරිනේ?)
ඔන්න පහුවදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට මෙන්න මේ වගේ දුරකථන ඇමතුමක් එනවලු.
“මේ කතාකරන්නේ බොදුබල සේනාවෙන්.... අහවල් හාමුදුරුවෝ... අර කරවිල තම්බලා කාපු පවුලට විදුලිය දෙන්න ඕනේ... අපිට ඉක්මනට සමෘද්ධියෙන් ණයක් අවශ්‍යයි....”
මොනව උනත් මොලේ තියෙන නිලධාරියෙක් ඉඳලා කියලා තියෙනවා විනීතා මීට කලින් පනස්දාහක ස්වයං රැකියා ණයක් සමෘද්ධියෙන් අරන් තවම ගෙවලා ඉවර නැති නිසා, ඒක ඉවරවෙනකං කොහොමවත්ම  නැවත ණය දෙන්න බැහැයි කියලා.
තව පොඩ්ඩෙන් කොරේ පිටට මරේ තමයි. බොදු බල සේනාවෙන් ලොකුවට විදුලිය විවෘත කරලා සෙත් පිරිත් කියලා හෙම යයි. අර කරවිල කෑවයි කියන මනුස්සයට තව රුපියල් තිස් හතලිස්දහක ණයකුත් පටවලා.
කෝමද ටිකිරි මොලේ?
:)
 -----------------------------------

කතාව ඉවරයි. දැන් උඩ සේරම හොඳට මතක තියාගෙන මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒකෙ තියෙන සම්පූර්ණ ලිපිය හොඳින් කියවන්න.  (ඇති විමට නියමිත මාන්දමික හැඟීම් ගැන වග කියනු නොලැබේ)

----------------------------------
මේ අදාල සිද්ධිය ගැන ‘දිනමිණ’ කල හෙළිදරව්ව.


Saturday, April 26, 2014

ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද?




ඒ මානූශීය මෙහෙයුමේ අන්තිම සටනයි.
ඔබේ සුරතාන්ත සමය වන්නට ඇත. බිම්මල් මුලින් උදුරා පුළුස්සද්දී අවුලක් ඇතිබව අපිට නොදැනුනා නොවේ...
"ඇයි නිරායුධ උනුත් එක්කම නන්දිකඩාල් කරන්නේ..?"
අපි ඇසීමු...
"මිනිස්සු මැරෙන්නෙ නැතුව යුද්ධ කරන්නේ කොහොමද?" පෙරලා ඔබ අසන්නට ඇත...

ඒ නිදහස් රටක් පිසගෙන එන සුළඟත් සැපක් යැයි හිතුණු දිනයයි. තුවක්කු ඇත්තෝ අහසට වෙඩි තබද්දී තුවක්කු නැත්තෝ රතිඥ්ඥා පිපිරවූහ.. උදේ ඉතුරුවුන කිරිබත් ඔබ දවල්ටත් කන්නට ඇත...
"ඇයි සුදුකොඩි අරන් ආව උන්ට වෙඩි තියන්නේ..?"
අපි ඇසීමු... "කෝ කවුද කියන්නේ..? වෙඩි තියනවා ඔයා දැක්කද..?" පෙරලා ඔබ අසන්නට ඇත...

ඒ මොහොතකට පෙර බිස්කට් කමින් හිටි කොටි පැටියෙකු පපුව හිල්කරගෙන වැතිර සිටි දිනයයි.. ඔබත් සූම් කරමින් පිංතූර ඇනලයිස් කරන්නට ඇත..
"ඇයි හයක් හතරක් නොතේරෙන දරුවෙකුට වෙඩි තියන්නේ..?"
 අපි ඇසීමු... "වඳ කෙහෙල් මොටයි එක්කම ගලවන්නැතුව මොනවා කරන්නද...?" පෙරලා ඔබ අසන්නට ඇත...

ඒ වැලිකඩ කැරලිගැසූ හිරකරුවන් වහළයට නැංග දිනයයි... සිද්ධිය දිගඇරුන හැටි බ්‍රේකින් නිවුස් චැනල් කීපයකම ඔබත් බලන්නට ඇත...
"ඇයි එතනට එස්.ටී.එෆ්. එකෙන් යැව්වේ..?"
අපි ඇසීමු... "කුඩුකාරයෝ එක්ක මොන මොත්තෙද..?" පෙරලා ඔබ අසන්නට ඇත..

ඒ ගිහින් එන්නම් කියා උදේ ගෙදරින් පිටවුනු කටුණාක රොශේනුත් හලාවත ඇන්ටනීත් වැලිවේරියේ අකිලත් හවස ආපසු ගෙදර නොපැමිණි දිනයයි... ඔබ එදා ගුටි නොකා ගෙදර යන්නට ඇත...
"එහෙම වෙඩිතියන්න පුළුවන්ද මිනිස්සුන්ට..?"

අපි ඇසීමු... "කඩාකප්පල්කාරී කට්ටියක් උසිගන්වලා කියනවා නේද..?" පෙරලා ඔබ අසන්නට ඇත...

මේ ඊයේ පෙරේදා හවස්වරුවක දුම්රිය සේවා වෘත්තීය සමිතියක් ගැන අන්දෝ සංසාරයක නිච්චියක් නැතිව කෝච්චියේ ගෙදර යන්නට ගිය දුමින්ද හපුආරච්චි ඔළුව පුපුරන්නට වැදුනු බැටන් පොලු පහරින් එළඹි සිහියට පැමිණි දිනයයි...
"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"
පුදුම වුනු ඔහු කාගෙන්දෝ අසයි... ඒ වුනාට එය ඇසෙන්නේ කැමරාවකටයි. 

-------------------------------------------------------

"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"
පුදුම වුනු ඔහු කාගෙන්දෝ අසයි... ඒ වුනාට එය ඇසෙන්නේ කැමරාවකටයි. 

ඒ කැමරාව එදා රෑම ඕක හැම ගේකම සාලේ මැද්දේ වමාරලා තිබ්බා.

ඊට පස්සෙ වෙන්නේ තරමක් විකාරරූපී වැඩක්. හැමෝම හැමෝගෙන්ම තර‍ඟෙට වගේ එකපාර අහන්න ගන්නවා “එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද?” කියලා.  කවුරුහරි ප්‍රශ්නේ අහපුවාම උත්තරේ විදිහට එන්නෙත් ඒ ප්‍රශ්නෙමයි. පහුවදා දවසේ බස් කෝච්චි ඇතුලේ ඒක ගුමු ගුමුවක් තරම් සද්දෙට ඇහෙන්න ගත්තා. මිනිස්සු අල්ලපු සීට් එකේ ඉන්න එකා එක්ක කතාව පටන් අරං තියෙන්නෙ ‘මාර රස්නයක් නේද’ කියලා නෙමෙයි. ඔය කතාව කියලා. පිටකොටුවේ පේමන්ට් බිස්නස් කාරයෝ එදා බඩු විකුණලා තියෙන්නෙත් එහෙම කෑ ගහලා. මිනිස්සු බඩු ගනං වෙනුවට වෙලෙන්දන්ගෙන් අහලා තියෙන්නෙත් ඕක. එදා කොටස් වෙළඳපොලත් දර්ශක එකසිය ගානකිං කඩා වැටුනා. ලොතරැයි කූඩුවල කියවිලා තිබ්බේ “ආ.. ගන්න වාසනාව.....
එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?... පුංචි රුපියල් විස්සකට....” ඕකෙන් මේකෙන් එක ටිකට් එකක්වත් විකිණිලා නැති නිසා එදා ටිකට් දිනුම් ඇදලත් නෑ.

කොටුවේ ඕ.අයි.සී ඔය ගහන වෙලාවේ ඉඳලා තියෙන්නේ මීටිමක. එයා සීට් එකට ආපු ගමන් වාඩි වෙලා තියෙන්නේ "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියාගෙන. පොලිසියේ හැමෝමත් හැමෝගෙන්ම අහලා තියෙන්නෙ ඒක. එදා ස්ටේයින් මැදිරියෙදි රෙකෝඩ් කරපු “ඔබද ලක්ෂපති-මමද ලක්ෂපති” එකත් ඔහොම අලකලංචියක් වෙලා නවත්තලා දාලා.

කොළඹ පළාත බාර ඩී.අයි.ජී, කෙහෙල්වත්ත ඕ.අයි.සී ට කතා කරලා ඕකම අහලා. ඕ.අයි.සී. මහත්තයත් හිටගන්න ගමන් ඒකම කිව්වලු. පොලිස්පති තුමා ඩී.අයි.ජීට කතා කරලා බනින්න කලින් ඉස්සෙල්ලාම අහලා තියෙන්නෙත්
"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියලලු. වැඩේ ආරංචි වුනු ගෝඨාභය මහත්තයා වහාම කතා කරලා පොලිස්පතිගෙන් අහලා තියෙන්නෙ "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියලලු. ඕක ආරංචි වුනු ප්‍රදීපා ගොඩක් කලබල වෙලා. එක පාරටම ඩලස්ට කෝල් එකක් අරන් අහලා "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියලා. ඩලස් ඒක ජනාධිපතිතුමාගෙන්  අහන්න කෝල් එකක් ගත්තත් වැරදිලා කෝල් එක ගිහින් තියෙන්නෙ විමල්ට. විමල් ෆෝන් එක ගත්තු ගමන් ඩලස්ගෙන් අහලා තියෙන්නෙත් ඒක. දෙන්න ඕක කීප සැරයක් කියාගත්තලු.

මිනිස්සු ඕක කොච්චර එකිනෙකාගෙන් අහගත්තද කියනවනං එදා රෑ සේරම සන්සුන් උනාට පස්සේ ඒ සද්දේ ඝෝෂාවක් වගේ අහසේ තිබිලා. ජනාධිපතිතුමාට ඇහිලා තියෙන්නේ එහෙම. ජනාධිපතිතුමා මහ රෑ 2ට විතර ඒක අහන්න ගෝඨාභය මහත්තයට කෝල් එකක් අරන්.  නිදිමතේ ඩයල් කරද්දි නොම්මරයක් එහේ මෙහේ වෙලා කෝල් එක ගිහින් තියෙන්නේ වෙන කෙනෙකුට.

ඒ සිද්දිය මෙහෙමයි.
කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක ඔළුවේ මැහුම් තුවාල වේදනාවෙන් නිදි නැතිව හිටපු දුමින්ද හපුආරච්චි කියලා හාදයෙකුගේ ෆෝන් එක එකපාරටම රින්ග් වෙන්න ගත්තලු. මිනිහා අතපත ගලා ෆෝන් එක අරං “හලෝ....?” කිව්වලු. (එදා දවසේ ‘හලෝ’ කියලා ෆෝන් එකකට ඉස්සෙල්ලාම ආන්සර් කරලා තියෙන්නේ එයා තමයි). ඒ ගමන එහා පැත්තෙන් බරසාර හඬකින් ඇහෙනවලු...
"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"
කියලා. මිනිහා ටිකක් වෙලා කල්පනා කලාලු මේ කතාව මීට කලින් කොහෙන් හරි අහලා පුරුදුයි නේද කියලා. කොහොමටත් ඒ වෙනකොට මිනිහගේ ඔළුව පෑදිලා පැය හතලිස් අටක් විතර ගිහින් තිබ්බේ. මිනිහා ගත් කටටම කිව්වලු....
“මං පහුගිය කාලේ ලංකාවෙ නෙමේ ඕයි උන්නේ....!!”
ඒ කතාවට වෙනස් පිළිතුරක් ලැබුනු පළමු වතාව තමයිලු ඒක.

-----------------------------------------
ප/ලි -
(මේ කතන්දරේ කලවම් මැල්ලුමකි. පළමු කොටස ‘නිර්නාමික පාඨකතුමෙක්’  විසින් එවන ලද්දකි. දෙවන කොටස සාමූහික අල කිරීමකි. :) )


Follow by Email