Tuesday, October 1, 2013

නිකිණි වන්දනාව ගියා.... හැමෝටම ස්තුතියි.

නිකිණි දන්සැල හෙවත් අපේ වැඩිහිටි වන්දනා ගමන ඉතා සාර්ථකව අවසන් කරගන්න හැකිවුනා.
නිකිණි මාසේ 28 විතර මේ ගමන යන්න කලින් සැලසුම් කලත්, කතරගම දේවාලේ මංගල්‍ය සමය ආසන්න නිසා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙදි කරදර වේවි කියලා දන්න කියන මිතුරන් කීප දෙනෙක් කිව්ව නිසා දිනය ටිකක් පස්සට ගත්තා. ඊට පස්සේ පොදු තීරණයකට ආවා අපේ අති උතුම් වයඹ චන්දෙ අහවර වෙලාම මේක යමු කියලා. ඒක නිසයි නිකිණි සවාරිය බිනර සවාරිය වුනේ.


අපි ගියේ 26 වෙනිදා. පිටත්වුනේ උදේ 4.30 ට විතර. සාමාන්‍යයෙන් මෙහෙ ඈයො කතරගම වන්දනාවෙ යන ගමන් මාර්ගය කනපිට ගහලා තමයි අපි ගියේ. සාමාන්‍යයෙන් යන්නේ කැළණිය/කළුතර/ගාල්ල/මාතර/හම්බන්තොට/කතරගම/මහියංගනය.........
හැබැයි ඒ දවස් පහකට. අපි දවස් තුනකට යන නිසා තීරණය කලේ රත්නපුර හරහා කතරගම ගොහින් මාතර/කොළඹ හරහා එන්න.

අපේ ගමනට වැඩිහිටි අම්මලා 48 දෙනෙකුත්, තාත්තලා 3 දෙනෙකුත් ගියා. තව අතිරේක බලඇණිය හැටියට පොඩිහිටියො තුන් දෙනෙකුත් දාගෙන ගියා. (ආ... අපෙ මායියත් ගියා. දරු දෙන්නත් එක්ක. ඥාති සංග්‍රහ තමා ඉතින්) පළවෙනි වතාවට දකුණේ වන්දනාවක ගිය කෝඩුකාරියො 7 කුත්, කෝඩුකරයො එක්කෙනෙකුත්, කෙල්ල කාලෙ ගියාට පස්සේ කතරගං ගිය අය 14 කුත් කොල්ලා කාලෙ කතරගං ගියාට පස්සෙ ගියපු අය එක්කෙනෙකුත් අපේ නඩේ හිටියා.


පළවෙනි දවසේම නාල කාල රෑ පූජාවට කතරගම දේවාලෙට ගියා. පහුවදා උදේ මම නැගිටිද්දි කස්ටිය කිරි ආහාර උයාගෙන කිරිවෙහෙරට ගිහින්. පස්සෙ උදේට කාලා සෙල්ල කත‍රගම පැත්තේ යන්න සෙට්වුනා.

ඔන්න ඉතිං අපේ ඩ්‍රයිවර් මචං උගේ සංසාර පුරුද්දට ඉස්සෙල්ලාම ගිහින් නැවැත්තුවේ ලක්ෂ්මී දේවාල ප්‍රයිවෙට් ලිමිටඩ් එකේ. මට නං සංසාරෙ එපාවුනා. ඔන්න අපේ කට්ටිය සෙරෙප්පු ගලෝලා මල් එහෙම (සල්ලිවලට) අරන් ලක්ෂ්මී දෙයියො වඳින්න ඇතුල් වෙනකොටම එකෙක් පැත්තක ඉඳං කෑ ගහනවා දෙවියන් වඳින්න කලින් බුදුන් වඳින්න ඕනෙය... ඒක නිසා හැමෝම බුද්ධ මන්දිරයට අනිවාර්යෙං එන්ඩය කියලා. ඉතිං අපේ උන්දැලත් ගොහිං වාඩිවුනා. 

සීවලී යන්ත්‍ර විකුණන බුදුගෙය
මෑන්ස් කට්ටියට පන්සිල් දීලා හෙම පටං ගත්තා සීවලී බිස්නස් එක. ලංකාවේ තියෙන අනික් සීවලී යන්ත්‍ර රාජයෝ බොරු එව්වලු. මෑන්ස් ගාව තියෙන්නෙ ඔරිමජිනල් එව්වලු. කෝමහරි තෙල බෙදලා ඌ අපේ උන්දැලා 25 කින් විතර 300/- ගානෙ කඩාගත්තනේ. එතනින් එහාට මුළු දේවාලෙම එකම පින් කැටයක් තමා. ගරනවා කියලත් එහෙම ගැරිල්ලක්........ මගේ තක්සේරුව අනුව අපේ නඩෙන් විතරක් රුපියල් 12000/- කට වඩා ගරාගත්තා.

RMB සෙල්ල කතරගම කාර්යාලය හෙවත් ලක්ෂ්මී දේවාලේ නුග ගහ
ඒ ගමන මං තනිමතේට තීරණේ කලා දේවාල වැඳිල්ල එතනින්ම නවත්තන්න. කට්ටිය ටිකක් කරුකුරු ගෑවා. හැබැයි තව දවල් වුනොත් සිතුල්පව්වෙ යන්න වෙන්නෑ කිව්වට පස්සෙ ෂේප් වුනා. එතනින්ම සිතුල්පව්වෙ ගිහින් කිරින්දට ආවා. කිරින්දෙන් හම්බන්තොට වරාය බලන්න ආවා.
ප්‍රියත් බන්දු සහෘදයා එවා තිබූ නැව
අපි එනවා කියලා කලින්ම බුකියෙ පබ්ලික් කල නිසාමද මන්දා අපේ හිතමිත්‍ර ප්‍රියත් බන්දු සහෝදරයා වරායට නැවකුත් ගෙන්නලා තිබ්බා. අපිට ඉතිං හරි සන්තෝසයි. කොච්චර සන්තෝසද කියනවනං අපේ උන්දැලා ටික වරාය බැලුවට පස්සේ මත්තල යන්න ඕනෙත් නෑ කිව්වා. ඒ ගමන දෙවෙනි දවසේ නවතින්න මාතර එන්න පිටන් වුනා.

මාතර වෙහෙරහේනෙ ඉඩ නෑ. ඒ තරමට වන්දනා නඩ. ඒ ගමන කොටුවේගොඩ ජයසුමනාරාමෙට ගියා. එතනත් වන්දනා නඩ හයක් විතර හිටියත් එතන ඉඩ තිබ්බා. ඔන්න රෑ 10 ට විතර නිවුස් එකක් ආවා කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ අපවත් වුනා කියලා. මේක ආරංචි වුනා විතරයි මෙන්න අර හිටපු නඩ කීපයක්  හොඳටම කුලප්පු වෙලා බඩුමුට්ටු ආපහු වාහන වලට පටෝනවා. හාමුදුරුවන්ගේ දේහය ගෙනාවොත් දේවාලෙ වහන හින්දා ඊට කලින් බාර හාර ඔප්පු කරගන්න කතරගම යන්න තමයි ලෑස්තිය. සමහර ඩ්‍රයිවර්ලා ඒ වෙනකොටත් කෙලින් ඉන්න බැරි ගානට බීලා. උනුත් වෙරිමරගාතෙම වාහන ස්ටාර්ට් කරන් කතරගම යන්න පිටත් වුනා. මොනව කරගත්තද මන්දා.
උදේට උයමින්
පහුවදා උදේ වෙහෙරහේනට ගියා. මම ඊට කලින් ගිහින් තිබ්බේ නෑ. මම මෙතෙක් ගිය කුජීතම පන්සල. හිඟා කනව කිව්වට එහෙම හිඟාකෑමක්. පිරිත් නූල් විකුණනවා... සල්ලි ඉල්ලනවා... එක කෙළියයි. මුන්ට විළිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ. 
වෙහෙරහේනේ සංකේතය - සල්ලි ගිලින නයා
ඔන්න කට්ටිය ගියා උමං විහාරෙ බලන්න.  ඔහොම බලාගෙන යනකොට පඩිපෙලක් තියෙනවා. ඕක නැගලා ඉවරවෙන තැන මෙන්න හාමුදුරුකෙ‍නෙක්. එයා ඉස්සෙල්ලාම සංඝාඥාවක් නිකුත් කරලා පෝලිමේ ආපු උන් බලෙන්ම ඉන්දුවා. පස්සෙ ඔක්කොම වන්දගෙන ගාථා කීපයක් කියෙව්වා. පස්සෙ පටන්ගත්තා හිඟාකෑම. හිඟාකෑමක්ම නෙමේ. ඒක මංකොල්ල කෑමක්. වෙහෙරහේන ලෝකේ ලොකුම මෙව්ව එක කොරන්ඩලු එයාල යන්නේ. ඒකට ෂල්ලි තමාලු ඕනෙ. අපි ෂල්ලි නොදුන්නොත් චීනෙද කොහෙද එකක් ලොකුම එක වෙලා අපි සෙකන්ඩ් වෙනවලු. ඔන්න ඔහොම හෙන මරිසියක්  දාන්ඩ ගත්තා. හතර වටින්ම කොටුවෙලා හින්දා වෙන යන්ඩ තැනකුත් නෑ. ඒගමන අපේ උන්දැලත් ඔන්න සීයෙ පනහේ ආධාර දෙන්ඩ ගත්තා. හැමෝම ඉස්සරහට යන්න ඕනෙ එයා ගාවින්. ඉතිං කාටවත් සල්ලි නොදී යන්න බෑ. අපි කීප දෙනෙක් දුන්නේ නෑ. ඒ ගමන මෙයා අපි දිහා බලලා කියනවා බුද්ධාගමේ දියුණුව වෙනුවෙන් කැපකිරීමක් කරන්ඩ සිංහලයො හැටියට සමහරුන්ගෙ කොන්ද පණ නෑලු. ඔය ගුබ්බෑයමට අපිම විහින් රිංගපු හින්දා කට වහන් උන්නා. බැරිවෙලා හරි හලාවතින් අහුවෙයල්ලකො.....
ඔන්න ඔය පඩිපෙලේ උඩ තමා මංකොල්ලකාරයා ඉන්නේ
ඊට පස්සෙ ආපහු එන්ඩ හැරුනා. එන ගමන් අපේ නඩේ ගුරා ලව්වා පොඩි ධර්ම සාකච්ඡාවකුත් තිබ්බා. (නඩේ ගුරා මටම සෙට්වෙන සිරාම පොරක්) ගමේ පන්සලේ දායක සබාවෙන් රුපියල් විස්සක් එකතුකරන්න යෝජනා උනාම සිල් රෙදි කරට ගන්න උන්දැලා කොහෙවත් තියෙන කොන්ක්‍රීට් ගොඩවල් හදන්න සිය ගණන්වලින් ලෝස්නැතුව දෙන්නෙ ඇයි කියන ධර්ම කාරණේ අටුවා ටීකා ඇතුවම සාකච්ඡා කලා. අපරාදෙ කියන්න බෑ හැමෝම ඒක පිළිගත්තා. J

සීනිගම වැඳපුදාගෙන, කන්දෙ විහාරෙත් වැඳගෙන, රිච්මන්ඩ් මන්දිරෙත් බලාගෙන කළුතර බෝධියත් වැඳගෙන කැළණියටත් ඇවිත් ආපහු ආවා. එනකොට රෑ 12 ට විතර ඇති.
ඇඩ්වර්ටීස්මන්ට් සහිත බණකතා - වෙහෙරහේන
මුළු ගමන පුරාම කාටවත් බඩේ අමාරුවක තරම්වත් කදරයක් නොවුන එක ලොකු සතුටක්. අනික හැමෝම මුළු ගමන පුරාම සතුටෙන් හිටියා. පරණ පාරම්පරික තරහ මරහ තිබ්බ උන්දැලා කීප පොළකුත් ගමන අන්තිමේ යාළුවෙලත් හිටියා. පළවෙනි දවස ගමන් මහන්සිය හින්දත්, දෙවෙනි දවස ළඟ පාතම කරක් ගහපු නිසාත් වැඩියෙ සද්දෙ දාන්න බැරිවුනත් ආපහු එන ගමනෙ නං ගමන පුරාවටම කට්ටිය ෆුල් ෆන් එකක් ගත්තා. කවදාවත් සින්දුවක් වත් නොකියපු අය පවා බස් එකේ නැටුවා. J අපේ ඩ්‍රයිවර් මිත්‍රයා මිනිහගේ අත්දැකීම් වලින් කිව්වේ වෙන ට්‍රිප් වල ඔය නැටිල්ල නටන්න අඩුම ගානේ ගල් බෝතල් පහ හයක්වත් හිස් වෙන බව. හැමෝම කිව්වෙ තව දවසක් තිබ්බනං කියලා.
නඩේ ගුරා - තිලකෙ මාමා
මේ ගමන ගැන මං දාපු නිකිණි දන්සැල පෝස්ට් එක කියවලා විශාල පිරිසක්  උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒ නිසා තමයි බය නැතුව වැඩේට බැස්සේ. එහෙම නොවෙන්න මේ ගමන යැවෙන්නෙ නෑ. පස්සෙ නඩේ ගුරා එක්ක කතා කරලා ගමන ටිකක් අඩු වියදම් විදිහට සැලසුම් කරපු නිසා උදව් අවශ්‍ය උනොත් පස්සෙ දන්නන්නං කියපු ගොඩක් දෙනෙකුට නැවත මතක් කලේ නෑ. ඒක නිසා උදව් කරන්න ඉදිරිපත්වුන, සුබපතපු, ගමනේ විස්තර හොයාබලපු හැමෝම මේකට එකවගේ සම්මාදම් වුනා.   නඩේ අය කළුතරදි ඒ අය දන්න නොදන්න වචනයකින් හරි උදව්කල, උදව් කරන්න ඉදිරිපත් වුන  හැමෝටම පිරිසිදු සිතින්  පින් දුන්නා.


පින්තූර ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. කැමරාවක් තිබ්බේ මං ළඟ විතරයි. ඒකෙත් බලන් ඉද්දි බැටරි බහිනවා. මුළු ගමන පුරාම මම ටිකක් අවිවේකී වුන නිසා පිළිවෙලකට එක පින්තූරයක් වත් ගන්න වුනේ නෑ. (දන්නවනේ තියෙන වැඩ? බස් එකෙන් බස්සන්න... පඩිපේලි නග්ගන්න... හෙමින් යන අය එක්ක යන්න... කාලය අමතක වෙන අය ගැන අවධානයෙන් ඉඳලා ආපහු එක්ක යන්න... ශරීර කෘත්‍යය කරන්න අවශ්‍ය අය අදාල තැන්වලට එක්ක යන්න...)  එහෙම පින්තූර ගන්න අවස්ථාව තිබ්බ දෙපොලකම ඒ උලව්වෙ බැටරි බැහැලා වැඩේ අල වුනා.


ඔය වීඩියෝ එකේ තියෙන්නේ අවුරුද්දකට පැය කීපයක් විතරක් කට්ටියට ගන්න ලැබෙන විනෝදේ.


කෝම හරි සාරාංශය මේමයි. පුද්ගලිකයව මම මෙතෙක් ගිය සිරාම ට්‍රිප් එකක්. අපේ වැඩිහිටි නඩෙත් ගෙවල් දොරවල් සහමුලින්ම අමතක කරලා උපරිම සැහැල්ලුවෙන් සතුටින් හිතේ හැටියට වන්දනමාන කරගත්තු ගමනක්. උදව්කල, සුබපතපු හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය.

Follow by Email