Wednesday, July 24, 2013

නිකිණි දන්සැලක් දෙන්න කැමතිද?

දැනට වසර හයක විතර ඉඳං අවුරුද්දකට වරක් දෙකක් මම ලබන අපූරු අත්දැකීමක් බෙදාගන්න හිතුනා. මේ මහලොකු දෙයක් නෙමේ. වැඩිහිටි වන්දනා චාරිකාවක්.
(මෙතන ඉඳන් දිගටම ඔහේ ලියාගෙන යන්නයි හදන්නේ. මෙලෝ රහක් නැතිවෙන්න පුළුවන්. ඔන්න මුලින්ම කිව්වා)

මේක මට සෙට්වුනේ බොහොම අහම්බෙන්. පස්සෙ මම වැඩිහිටි කණ්ඩායම් දෙකක් එක්ක මේක සංවිධානය කරන්න උත්සාහ කලා.

හැම අවුරුද්දකම මේකට සම්බන්ධ වෙන්නෙ වැඩිහිටියන් 50 ත් 60 ත් අතර ගානක්. හත් අට දෙනෙක් ඇරුනාම අනික් හැමෝම අවු: 60 ට වැඩියි. තාත්තලා දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුනාම අනික් හැමෝම අම්මලා. මේ තෝරගෙන ඉන්න පිරිසෙන් වැඩිම පිරිස අඩු ආදායම් ලාභීන්. වැඩි දෙනෙකුගේ ඔය අඩු ආදායම වෙන්නෙත් මාසෙකට වරක් ලැබෙන රුපියල් 250හේ පින් පඩිය. මේ අය හැමෝම යැපෙන්නෙ දරුවන්ගෙන්. ඒ දරුවොත් යමක් කමක් තියෙන උන් නෙමෙයි. ගොවිතැන්, කුලිවැඩ, මේසන්වැඩ, ගාමන්ට්..... ඉතින් මේ අය දරුවන්ගෙන් ලබන්නේ තුන්වේල කෑම ටිකයි, සිංහල අවුරුද්දට ලැබෙන චීත්තයක් වගේ දෙයකුයි, ටිකක් තද අසනීපයක් හැදුනොත් බෙහෙත් ටිකයි තමා. ඊට වඩා දෙයක් මේ අය ඉල්ලන්නෙත් නෑ. අර දරුවන්ට දෙන්නත් බෑ. කොටින්ම මේ අය ලොකු ආසාවක් තිබ්බත් තමුන්ගෙ මුදලින් වන්දනාවක යන්න බැරි පිරිසක්.

මේ අම්මලගෙන් තමුන්ගෙ වැඩිහිටි දිවිය ටිකක් විවේකයෙන් ගත කරන අයත් ස්වල්ප දෙනයි. හුඟක් ගෙවල්වල තවමත් උයන්නෙ පිහන්නෙ මේ අම්මලා. පුතයි ලේලියි හරි දුවයි බෑනයි හරි වැඩට ගියාම පොඩි පැටව් ඉන්නවනං උන්වත් බලාගෙන ගෙදර ඔක්කොම සුමේ කරන්නෙ මේගොල්ලො. මුළු පවුලෙම සමිති සමාගම් වලටයි, මල ගෙවල්, දානෙ ගෙවල් වලට උදව් පදව් වෙන්න යවන්නෙත් මේගොල්ලො.

ඒ සේරම කලත් මේ අය වැඩි දෙනෙක් ඉන්නෙ හිතේ සුවයකිනුත් නෙමෙයි. හුඟක් තැන්වල ලේලිලා එක්ක ආරවුල්. මේ ළගදි එක අම්මා කෙනෙක් අඬ අඬා කිව්වා එක මුණූපුරෙක් නිතරම සෙල්ලමට එයාට ගහනවා, දරුවන්ට කිව්වට ගණන් ගන්නෙ නෑ කියලා. බෑනලා බීගෙන ඇවිත් හිරිහැර කරන අම්මලත් ඉන්නවා. කිව්වට මෙකද... දරුවො නොසලකන අම්මලාත් කීපදෙනෙක්ම ඉන්නවා. තවත් අම්මලා පිරිසකට ඉන්නවා දීග ඇරිලා දරුපැටව් එක්ක ඇවිත් ඉන්න දූවරු. ඉතින් ඔය දූවරුත් මාසයක් හමාරක් ඉඳලා අර දරුපැටියා දෙන්නා දෙමාපියෝ ගාව දාලා සවුදි ගියාම අර අම්මට තාත්තට දෙයියන්ගෙම පිහිට තමයි.

මෙහෙම පිරිසක් එක්ක තමයි අවුරුදු පතා ඔය වන්දනාව යන්නෙ. මේ අය වැඩිපුර කොහෙවත් ගිය අය නෙමෙයි. ඇතැම් අය ජීවිතේ පළවෙනි වතාවට අනුරාධපුරේ ගියෙත් මේ ගමනකින්. එක පාරක් කළුතර බෝධිය දක්වා ආපු ගමනකින් තමයි තුන් දෙනෙක් පළවෙනි පාරට කොළඹ දැක්කෙත්. වැඩි දෙනෙක් මීට අවුරුදු විස්සකට තිහකට විතර කලින් ඔය සිද්ධස්ථාන වලට ගියාට පස්සෙ ආපහු යාගන්න බැරිවුනු අය.
මේවට හේතු ගොඩයි. ගමෙන් වන්දනා ගමන් ගියත් පවුල්වල විවිධ ප්‍රස්න නිසා යන්න බැරි වෙනවා. වැඩිහිටි වුනාම ඕවට දෙන්න රුපියල් හය හත්සීයක් හොයාගන්න බැරි වෙනවා.

පළවෙනි ගමන සංවිධානය කරගන්න ගොඩක් අමාරු වුනා. දාගත්තු දිනේට එන්නං කිව්වෙ පාලොස් දෙනෙක් විතර. අනික් අයට ඉස්කෝලවලින් මුණූපුරන් ගන්න තියෙනවා, සමිති සමාගම් තියෙනවා, අසනීපයෙන් ඉන්න ස්වාමිපුරුෂයාට බෙහෙත් ටික දෙන්න කෙනෙක් නෑ, ගෙදර උයන්න කෙනෙක් නෑ.... ප්‍රස්න ගොඩයි. හැබැයි අපි ගෙවල්වලට ගිහින් දරුවොත් එක්ක කතා කලාම ටක් ගාලා කියනවා අම්මා යන්න අපි එදාට මොනවහරි කරගන්නම් කියලා. ඇත්තටම මේ අය වැඩිදෙනෙක් කැමති නෑ තමුන්ගෙ වැඩක් නිසා දරුවන්ගෙ දවසක වැඩ පාළුවෙනවට. ඒකයි එන්න බෑ කියන්නෙ. (ඕව අහපුවාම බණින දරුවොත් නැතුවා නෙමෙයි)

මේ වැඩේට හිතමිතුරන් පිරිසක් උදව් කරනවා. ඒ අය පුළු පුළුවන් විදිහට කීය කීය හරි එකතුකලාම රුපියල් පාලොස්දාහක් විතර හදාගන්න පුළුවන්. මදි පාඩුවට යන අයගෙන්ම ගමනට කලින් රුපියල් 100ක් හරි 150ක් හරි බැගින් එකතු කරනවා. ගොඩක්ම දුප්පත් කීප දෙනෙකුගෙන් ඒක ගන්නෙත් නෑ. වැඩි දෙනෙකුට ඒක දෙන්න පුළුවන්. සමහරු ඒ මාසෙ පින් පඩිය වෙන් කරන්නෙ මේ ගමනට. ඒ කලින් එකතු කරන රුපියල් 100ත් හරි වැදගත්. ඕක දුන්නට පස්සෙ ආයෙ මොන ප්‍රස්න ආවත් ගමන එනවාමයි. ඇයි යකෝ සල්ලිත් බැඳලනෙ තියෙන්නෙ J

ඔය තමයි යන අයගේ පසුබිම. දැන් ගමන.

සාමාන්‍යයෙන් පාන්දර පහට තමයි කොහෙ ගියත් පිටත්වෙන්න දාගන්නේ. හැබැයි හතරහමාර වෙද්දි කට්ටිය එනවා. (හැමදාම මම තමයි අන්තිමටම එන්නේ J ) ඒ අයගෙ පවුල්වල වෙන කිසි කෙනෙක් එක්ක යන්නෙ නෑ. ඒක නීතියක්. පිටින් යන්නෙ මමයි තව කවුරුහරියි විතරයි. අපි ගිය අවුරුද්දෙ ගියේ සේරුවාවිල. උදේ කෑම ගන්නකං කවුරුත් බණක් පිරිතක් අහගෙන යනවා. හැමෝම උදේට ගේන්නෙත් බත් ගෙඩියක්. ඒක ඒ අයගෙ පුරුද්ද. ඔන්න උදේ කාල ඇඟට ටිකක් පණ ආවහම කට්ටියම කවිබණ කියවනවා. කට්ටිය කලින් කතාවෙලා තමයි එක පොතක් තෝරගන්නෙ.ඒ ජාතියෙ පොත් හතඅටක් කවුරු කවුරු හරි ගේනවා. ඒ පොත තමයි කට්ටිය මාරුවෙන් මාරුවට ගායනා කරන්නෙ. හරි සුන්දර අත්දැකීමක්.

ඔහොම ගිහින් උදේ දහයට එකොලහට තේකක් කාරිය බිව්වාම තමයි  තමයි නියම ගතිය. විහිළු තහළු කෑ කොස්සන් ඕපාදූප විතරක් නෙමෙයි. නෑම්බියෝ කාලෙ කියපු හිලේරියස් රසකතාත් එහෙන් මෙහෙන් එනවා. පස්සෙ සින්දු කියනවා. හැමදාම පටන් ගන්නෙ කෝටුකෑලි වලින්. පස්සෙ මුලද බැන්ද ආදරේ..... වැඩ කරලා ඉවර නොමැත.... J

සමහරු මාසයක් හමාරක් තියලම මේ ගමනට සින්දු පාඩම් කරනවා. සින්දු පොතුත් අරගෙන එනවා.

සිද්ධස්ථානෙකට ගියාම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බොහොම ශ්‍රද්ධාවෙන් කාල වේලාව අරන් ඒ කටයුතු කරගන්නවා. සාමාන්‍යයෙන් පැයෙන් එන්න කිව්වොත් පැය දෙකක්වත් ගන්නවා. ඒ ආවත් සමහරුන්ගෙ සෙරෙප්පු අමතක වෙලා.... සමහරු පාර වැරදිලා.......

ආපහු එද්දි තමයි හොඳම හරිය. කට්ටිය හොඳ බයිලාවක් දාගෙන බස්එකේ නටන්න ගන්නවා. සමහරු සීට් එකේම හිටගෙන. අර තිබුනු වාත අමාරු අරව මේවා මොකුත් එවෙලට නෑ. පාරෙ මිනිස්සුන්ට විහිළු කරනවා. ඒක වෙනම ලෝකයක්. ගමේදි තැන්පත් තලතුනා වැඩිහිටියො පොඩි ලමයි වගේ කෑ ගගහා නටන එක බලන්න ලස්සනයි.

පවුල්වල අය එක්කගෙන නොයන්නෙත් මේ නිසාමයි. මේ අයගෙන් කොටසක් පවුලේ අයත් එක්ක වන්දනා ගමන් ගියත් මේ සතුට ඒවයෙදි ගන්න බෑ. ගෙදර අත්තම්මා වාහනේදිත් අත්තම්මම තමයි. ඉතින් කොහෙ නටන්නද? ගමේ උන් ඉස්සරහා කට කැඩිච්චි වචනයක් ආසාවට කියාගන්න පුළුවන්ද? මෙතන පවුල් බැඳීම් නැති සම වයසේ පිරිසක් නිදහස් තැනක එකතු වෙනවා. එතකොට අම්මා, අත්තම්මා, ආච්චි වගේ පරමාදර්ශී භූමිකා වලින් අවුරුදු ගානක් තිස්සේ හිරකරලා තියෙන ඇත්ත මනුස්සයො එළියට එනවා. පැය කීපයකට මනසින් තරුණ වෙනවා.

හැමෝම ගෙදරින් මොනවාහරි හදාගෙනම තමයි එන්නේ. අළුවා, අග්ගලා, මුරුක්කු, තේ.... මොනවාහරි. අනික මම නම් අවුරුද්දේ කන රසම කෑම වේල තමයි ඔය ගමනකදි දවල්ට කන්න හම්බවෙන්නෙ. පනස් දෙනෙකුගේ විතර බත්ගෙඩි වල හොඳම එව්වා ටික. ගියපාර තිබුනා මරු කෙසෙල්මුව ඇඹුලක්...... J.

සාමාන්‍යයෙන් ඔයවගේ ගමනක් ගිහින් ආපුදාට පහුවදා ඉඳන් මේගොල්ලො හමුවෙන හමුවෙන පාරට අහන්නෙ ඊළඟ වන්දනාව යන්නෙ මොන මාසෙද කියලා. යන තැන අහන්නෙ නෑ. ඒක නෙමෙයි ඒ අයට වැදගත්. පවුලෙන් සමාජයෙන් පැටවිලා තියෙන සාම්ප්‍රදායික භූමිකා වලින් වගේම, අවුරුද්ද පුරාම තැලෙන මිරිකෙන ගෙදරදොර ප්‍රස්න වලිනුත් මිදිලා නිදහස් මිනිස්සු විදිහට පැය කීපයක් ගෙවන්න තියෙන ආසාව.

ගියපාර සේරුවාවිල පන්සල වැඳලා ආපහු හැරෙන්න කතාකරගත්තු වෙලාව පහුවෙලා පැයක් විතර ගියත් තුන්දෙනෙක් නෑ. මට ටිකක් කේන්තිත් එක්ක. ඇයි ඉතින් ආපහු බැහැලා අර දුර යමංකො කට්ටිය හොයන්න. ඔන්න යනකොට තුන්දෙනා හිමීට එනවා. ප්‍රමාදය එක්කෙනෙක්ගෙ. දෙන්නෙක් එයා තනිකරන්න බැරි නිසා ඉඳලා. ප්‍රමාදයට හේතුව මෙන්න මෙහෙම එකක්.
“මම පුදුම ආසාවකින් උන්නෙ සේරුවාවිල වැඳගන්න.... මේ ඒකට ලැබුනු පලවෙනියි අන්තිමයි අවස්තාව තමා. මගේ වයසයි ලෙඩරෝගයි එක්ක ආපහු ඒමක් නෑ. ඉතින් කාට පරක්කු උනත් කමක් නෑ කියලා හිතේ හැටියට වැඳගත්තා පුතේ.....”

ඒ අම්මා පහුගිය මාර්තු මාසෙ මියගියා.
------------------------------------------------

ප/ලි-
මේක වෙසක් පොසොන් දන්සැල් සංවිධානය කරන අයට ඔත්තුවක්. හැකිනම් එක වතාවක් මෙහෙම දෙයක් කරලා බලන්න. වෙනස්ම අත්දැකීමක් වෙයි. අනික දන්සැලකින් කන මනුස්සයෙකුට ඒක මතක තියෙන්නෙ ඊළඟ වේල කන කම් විතරක් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ගමනක් මේ වැඩිහිටියෙකුට මැරෙනකම් මතක් කරලා සතුටුවෙන්න පුළුවන් වටිනා දෙයක්. ඊයෙ මම ගිය දන්සැලකට ලක්ෂ එකහමාරක් විතර වියදම් ගිහින් තිබුණා. වැඩිහිටියන් 300 කට වඩා පිරිසක් දවසක වන්දනාවක එක්කන් යන්න පුළුවන් මුදලක්.

ප/ප/ලි -
මේ මාතෘකාව හෙවත් “නිකිණි දන්සැල” ගැන.  මේ වෙනකොට අපි එක දවසෙන් යන්න පුළුවන් වන්දනා ගමන් සේරම ගිහින් තියෙන්නෙ. අනුරාධපුර, පොලොන්නරුව, සේරුවාවිල, සෝමාවතිය, තන්තිරිමලේ, කළුතර/කන්දෙ විහාරෙ, නුවර, මාතලේ.......

ඉතින් මේ පාර යන්න කට්ටියගෙ වගේම මගෙත් කැමැත්ත දකුණට. දකුණ කියන්නෙ කිරිවෙහෙර/සිතුල්පව්ව ඇතුළු සිද්ධස්ථාන ටික. (ඒ වුනාට මං දන්නවා මුන්දැලාගෙ වැඩි ඇල්ම තියෙන්නෙ කතරගම දේවාලෙට බව J ) ඒ එක්කම ආශ්චර්යයේ නගරයත්. කිව්වට මොකද මම ගිහිනුත් නෑ. දවස් තුනක් තමයි සුදුසු. නමුත් වැඩේ සෙට්වෙන විදිහට දවස් දෙකක් වෙන්නත් පුළුවන්.

වැඩේ ටිකක් බරපතළයි. ලොකු මුදලක් හොයන්න වෙනවා. දවස් දෙකක් හෝ තුනකට කෑම බීම සපයගන්න වෙනවා.

මේක තමා අමාරු. මේ වයසක අයට ගමන් වෙහෙසත් එක්ක උයන්න බැහැ. උයන්න වෙනම පිරිසක් ගෙනියන එකත් අපරාධයක්. මොකද සීට් ටිකක් ඒ අයට වෙන් වෙනවා. සල්ලිවලට කන්න ගියොත් දන්නවනේ? ඉතින් දකුණ පැත්තේ ඉන්න 60 දෙනෙකුට විතර නිකිණි දන්සැල් දෙන්න කැමති පින්වතුන් සම්බන්ධකරලා දෙන්න කාටහරි පුළුවන්නම් ලොකුම උදව්වක්. ඒ වගේම රෑට නොමිලේම නවතින්න තැනකුත්. (ළඟපාත දෙතුන් පොලක් වුනත් කමක් නෑ.)

samarebin@gmail.com ඊමේල් ලිපිනයෙන් හරි ෆේස්බුක් මැසේජ් එකකින් හරි අමතනවානම් වැඩි විස්තර දෙන්නම්.


Monday, July 22, 2013

දන්සැල් ආශ්චර්යය

මාර පින්තූරයක්
කවුරු මොනවා කිව්වත් දැන් අවුරුදු කීපයක ඉඳන් මේ රටේ මොකක්හරි ආශ්චර්යයක් පහළ වෙමින් තියෙනවා. මිනිස්සුන්ට සල්ලි නෑ... ආර්ථිකය කඩාවැටිලා.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... හැමෝම කියන්නෙ ඕවා තමා. ඒ වුනාට වෙසක් පොසොන් වලට දීපු දන්සැල් කන්දරාව දැක්කනේ?

මේ දැන් උදේ එකෙක් ඇවිල්ලා කතා කරනවා  දන්සැල් කන්ඩ යමුලු. උන් පොඩි බස් එකකට තෙල් ගහ‍ගෙන පඬුවස්නුවර.... වැල්ලෑගල... පරමාකන්ද... ඔය රවුමෙ යන්න සෙට් වෙලා. අද දවසේ අපේ ගමේ විතරක් බත් දන්සැල් එකයි, කිරිකෝපි දන්සැල් දෙකයි, බීම දන්සැල් එකයි, හොල්මන් මන්දිර එකයි. අද හවස් ජාමේ අහල ගම්වල බත් දන්සැල් දෙකකත්, භක්ති ගීත සංදර්ශණ එකකත් ආරම්භක අවස්ථාවට හොට දාලා එන්න තියෙනවා. (යාළු පිට් එකට )

වැඩේ කියන්නෙ මේ දන්සැල් දෙන්න හේතුව අද ඇසළ පෝය හෙවත් හඳ ලොකුවට පායන එක විතරමයි. වෙසක් නම් බෞද්ධයාගේ අවුරුද්ද විදිහටනේ සලකන්නේ. පොසොන් ලංකාවට බුදුදහම ලැබුනු දිනයනේ. මම ඔය දන්සැල් කාරයො දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා ඇසළ පෝයෙ තියෙන විශේෂත්වය මොකද්ද කියලා. මුං ඒක හිතලවත් නෑ. එකෙක් නම් කිව්වා වෙසක් පොසොන් ගාවට ඇසළ එන එක හින්දා අර පෝය දෙකේ ‘උණුසුම’ මේකෙත් තියෙනවලු.

මටනම් හිතෙන්නෙ මෙතන අවශ්‍යවෙලා තියෙන්නෙ දන්සැල් දෙන්න මොකක් හරි හේතුවක්. ඇත්තටම හොඳයි ඉතින්. අනික මේ දන්සැල් දෙන අයත් ලොකු සල්ලිකාරයෝ නෙමේ. මේවට උදව් කරන්නෙත් වැඩිදෙනෙක් දුප්පත් මිනිස්සු. කොටින්ම අද එක බත් දන්සැලක් සංවිධානය කරන්න මූලික වුන පවලක ගෙදරකට මීට මාසයකට හමාරකට කලින් ගිය වෙලාවක මුං නන්ස්ටොප් ආණ්ඩුවට බැනගෙන බැනගෙන යනවා. තිබ්බ සමෘද්ධියත් කැපුවා.... බඩු ගණන්.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... කියලා. මම දන්න විදිහට ඔය දන්සැලට ඒ අයට මේ වෙනකොට රුපියල් දහ පාලොස්දහක් විතර වියදම්. කිසිම කණුකුණූවක් නැතුව බොහොම කැමැත්තෙන් තමයි ඒ වියදම් කරන්නේ. අනේ මන්දා මේවා.

ගිය අවුරුද්දේ, ඊට කලින් අවුරුද්දේ එහෙම ඇසල වලට එහෙන් මෙහෙන් පොඩි බීම දන්සැල් දෙකතුනක් තිබ්බා තමයි. ඒත් මේ අවුරුද්දෙනං ඇසලත් පොසොන් ගානට ඇවිත්. සමහරවිට නිකිණි වලටත් දන්සැලක් හමාරක් තියෙයි. ඉතින් මේක ආශ්චර්යයක් නෙමේද මං කියන්නේ?


ප/ලි - මගෙත් පොඩි නිකිණි දන්සැල් වැඩක් තියෙනවා. හෙට අනිද්දා දිහාට ඒකත් දැනුම් දෙඥ්ඥං.

Wednesday, July 3, 2013

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය.......



(මෙය Reargate පාතාල රසිකයෙකු වන අඹ කීර්තියා විසින් ලියන ලද්දකි. අඹ කීර්තියාට VIP පාස් එකක් නැති බැවින් මෙය පස්ස ගේට්ටුවෙන් ඇතුලත් කිරීමට තීරණය කල බව සලකන්න.)

මේ ගීත විචාරයක් නොවේ, එසේම මෙහි සළකනු ලබන ගීතය සම්බන්ධයෙන් සත්‍යම වූ කරුණු අන්තර්ගත නොවීමට පුලුවන. එහෙත් පූර්ණ වශයෙන් අන්තර්ජාල‍ය ඇසුරෙන්ම පමණක් අසන්නට ලැබුණු නවීන සංගීත භාණ්ඩ හෝ නවීන ක්‍රමවේදයක් යටතේ නිෂ්පාදනය නොවුණු එහෙත් මට අනුව නූතන පන්නයේ ගීතයක් ගැන අදහස් පෙලකි.



“මගෙ ස්වීටි කෙල්ල” හි ඔරිජිනල් හඩපටය කුමක්ද යන්න මට හමුවුණේ නැත. සැබැවින්ම එය කුමක්ද යන්න ගැන සොයාගැනීමට අවශ්‍යයද නැත. සජීවි “ බජව්වක” පටිගත කොට යූටියුබ් හි දමා ඇති හඩපටය මම මෙහි ආසම කරන ගීතයයි.

පසුව ශබ්දාගාරයක පටිගත කොට ඇති ගීතය තුළ එතරම් මිහිරක් දැනුනේ නැත. මේ හඩ මෙහි ‍සැබෑ නිර්මාණකරුවාගෙම දැයි දන්නෙ නැත. එය සැබෑ නිර්මාණකරුවාගේ නොවේ නම් ඔහු මා වරදවා ‍වටහා නොගනීවි යැයි පූර්ව විශ්වාසයක පසුවෙමි.

ගීතය ගැන මගේ තිබෙන කැමැත්තටත් වඩා මා කැමති වන්නේ ඒ වටා ඇති කාරනාවන්ටය. ඉන් පළමු කාරණය මෙම ගීතයේ අයිතියයි. විවිධ පිරිස් විසින් තමන්ගේ යැයි කියා නම දාගන්නට දරණ ලද උත්සාහයන් ගණනාවක් අන්තර්ජාලය පුරාවට දක්නට ලැබුණද, මා පෙර සදහන් කළ වීඩියෝවේ වන හඩට වඩා මම කැමති හඩක් සොයාගැනීමට නොහැකි විය. ඒ අතර කැමති කැමති අය තම තමන්ගේ නම් දාගන්න උත්සාහ කරන අතරතුර මෙතෙක් කාලයක් කොපිරයිට්ස් සම්බන්ධයෙන් වන ප්‍රශ්ණයක් මතුවීද නැත. (ඉදිරියට කුමක්වේ දැයි කිව නොහැක) අන්තර්ජාලය විසින් විශ්වීය අත්දැකීම් සමීපකරදෙන තත්ත්වයක් තුළ ඊට සීමාකම්පාමින් සිටින කොපිරයිට්ස් හා කතෘත්වය තුළ හිර නොවීම මෙහි නිර්මාණකරුවාගේ ජයග්‍රහණයකි. මේ නිසාම විවිධ හඩවල් හරහා ගීතය ගායනා කිරීමට ඉඩසැලසී ඇතිවාක් මෙන්ම, ගීතයේ රූපරසය උද්දීපනය කිරීම සදහා විවිධාකාරයේ රූපරචනා ඉදිරිපත්ව ඇත‍.


මෙම ගීතය මෙන්ම, එහි වන රූප රචනාද තාක්ෂණික වශයෙන් උසස් යැයි සැළකිය හැකි නෙවේ. එසේ වුවද ඊට තාක්ෂණික වශයෙන්,සංගීත භාණ්ඩ ‍හෝ පටිගතකිරීම් වලින් උසස්බවක් එක්කිරීමට යෑම මට අනුව අසාර්ථක උත්සාහයකි. ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන, ඒ ඇසුරුකොට නිර්මාණකරනයේ යෙදෙන බහුතර පිරිස තාක්ෂණයට හෝ ගුණාත්මක අතින් ඉහළ භාණ්ඩ ඇසුරුකිරීමට ඉඩහසර ලැබෙන පිරිස නොවේ. එසේ වූ පමණින් ඔවුන්ගේ නිර්මාණාශීලී බව අඩුකොට තැකිය හැකි නොවේ. පසුගිය කාලය පුරාවට නිර්මාණශීලි හෝ වින්දනාත්මක යැයි පැවසෙන ගීත නිර්මාණවල පවතිනුයේ ඔවුන් සතුව පවතින තාක්ෂනයට වන විවෘතභාවයත්, තමන්ගේ වන ක්‍රය ශක්තියත් පමණි. උදාහරණයක් ලෙස “මගේ ස්වීටි කෙල්ල” ගීතයත් “ අද අපේ තාත්තා” ගීතය අතර සංසන්දය කිරීමක් කිරීමට මම ආරාධනා කරමි.


‍ලෝකය නිර්වචනය කිරීමට උත්සාහ කළ දාර්ශනිකයින් මානව ඉතිහාසය පුරාවට සටහන් තැබුවාට වඩා වැඩි උත්සාහයන් ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය පුරාවට සමාජජාල වෙබ් අඩවි පුරාවට ලොව පුරා සාමාන්‍ය පුරවැසියන් විසින් ගත් උත්සාහයන් එදිනෙදා අප විසින් අත්දකිමින් සිටිමු. ලෝකයේ නිශ්චිත සමාජ පංතියක් විසින් පරිහරණය කරමින් ආරක්ෂිත පුස්තකාලවල ප්‍රජාතන්ත්‍රවාදී නොවුණු දැනුම් පද්ධතීන් පුරවැසිකරණයට ලක්වෙමින්, දැනුම තවදුරටත් ප්‍රභූ ආයුධයක් බවට පත්නොවනවා මෙන්ම සංගීතය සම්බන්ධයෙන් වන ප්‍රභූ ආධිපත්‍ය, භාතිය සන්තුෂ්වාදී ක්‍රය ශක්තිය මතට විතැන් නොවීමටත්, එහි නිර්මාණශීලීභාවය ලංකාවට සාපේක්ෂව පුරවැසිකරණයට ලක්වීම සම්බන්ධයෙන් වන හොදම උදාහරණයක් ලෙස “මගේ ස්වීටි කෙල්ල” මම දකිමි.

“මගේ ස්වීටි කෙල්ල” ඉදිරිගාමී ගීතයක් ලෙස මා දකින්නේ බිහිවීම හා ප්‍රචාරය සම්බන්ධයෙන්ම පමණක්ම සැළකිල්ලට ගැනීමෙන් නොවේ. එහි වචනද, සංගීතයද ප්‍රභූත්වයට අභියෝග කොට ඇත.

නන නාන නාන නාන නාන නාන නා.......
මගේ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං
මම ආදරෙදි ඔයාට ලොවෙත් නැති තරම්...

තමන් ආදරය කරන කාන්තාව වෙනුවෙන් ආදරය ප්‍රකාශ කිරීමට කොතරම් සෞන්දර්යාත්මක ක්‍රමවේද ඇතත්, ඒවායේ සෞන්දර්යාත්මක බව තුළ අවංකභාවය රැදී තිබෙනවාද යන්න ගැටළුවකි. ලොවෙත් නැති තරම් ආදරය කිරීම එක් පසෙකින් තමනගේ ආදරයට අවංක වනවා මෙන්ම තත්කාලීන සමාජයේ තරුණ ආදරය ප්‍රකාශ කිරීමක්ද වෙයි. මෙය ඇසුණු සැණින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නලීන් පෙරේරා ගැයූ “පැණි කොමඩු ගෙඩිය, කැකිරි පලුව සුන්දර ගම්මානේ - මගේ හිඹුටු මිටිය, මිහිරි මැණික අතිසුන්දර දීපේ” වචන‍ පෙළ මතකයට නැගුණා. සාහිත්‍යමය වශයෙන් මිනිස් හැගීමක් ප්‍රකාශ කිරීමෙදි අවසාන වශයෙන් එය මනුෂ්‍ය හැගීමට සමීප වෙන්න නොහැකි නම් එය වින්දනය කිරීමට අපහසු වේ. මේ ගීත දෙකේම පද පෙළ වල ඇති වචන පෙළ සාහිත්‍යමය වශයෙන් විචාරය කෙසේ වෙතත්, හිතේ තිබෙන ප්‍රකාශ කළ නොහැකි හැගීමක් සමග බද්ද වෙනවා යන්න ම‍ගේ අදහසයි.

මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක වුණත් දෙන්න හිටියේ ඈ හට
දැනුයි මට හැගෙන්නෙ ඈ ගැලෙව්වෙ මගෙ දත
අද කණේරු ඇට කන්න හිතෙනවා මට
කියලා වැඩක් නෑ - නින්ද යන්නෙ නෑ
මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නෑ
මං කට්ට කාලා දා ගත්තු කෙල්ල යාළු
ආයේ මාව හම්බවෙන්න එන්නෙ නෑළු

මේ වචන තේරුම් ගැනීමට සාහිත්‍ය ව්‍යායාමයක් අවශ්‍ය වන්නේ නැත. අනෙක් අතට එසේ බරපතල සාහිත්‍ය භාවිතාවන් සහිත වූ ගොඩනැගීම් ඉරිතලා පොළොවට සමතලාව ‍ගොස් ඇත. ඒ අතින් වචන වල ගීතවත් බවත්, අවංක බවත් මෙන්ම ඒ හා බද්ධ වීමට ඇති හැකියාවත් මම අගය කරමි.

මං ළග බොරු නෑ - බොරු මවලා කියන් නෑ
සුරංගනා කතා කියලා රවට්ටන්නෙ නෑ
මං කට්ට කාලා දා ගත්තු කෙල්ල යාළු
ආයේ මාව හම්බවෙන්න එන්නෙ නෑළු

තමන් පෙම්වතා ලෙස සුදුසුකම් ලෙස දක්වන “නෑ” තත්ත්වයන් පිළිබදව වන සදහන මේ ගීතය පුරාවට ඇති වචන වලින් මා කැමතිම කොටසයි. තමන්ට ඇති “දේවල්” පිළිබදව උත්කර්ෂයට නංවමින් ප්‍රකාශ කරමින් සිටින සමාජයක “නෑ” යනුවෙන් ප්‍රකාශ වීමම මට අනුව රැඩිකල් යෝජනාවකි. පවතින අර්ථක්‍රමය මතින් භාණ්ඩ වෙත සියළු දේ ලඝු කරමින්, තමන් තුළ වන “භාණ්ඩ හීනමානය” ප්‍රකාශ කිරීමට සියළුම තත්ත්වයන් පාවිච්චි කරමින් සිටින අවධියක තමන් පෙම්වතෙකු ලෙස නිශේධනීය කරුණු නැති අයෙක් බව පමණක් මේ පෙම්වතා සදහන් කරයි. වත්මන් පෙම්වතුන්ගේ බොරුකාර මවාපෑම් හමුවේ අසරණවන පෙම්වතියන් ගණයට සිය පෙම්වතිය පත්නොවන බව මෙකී පෙම්වතා පොරොන්දු වෙයි. තරගය හමුවේ මිය යනවාට වඩා ජීවත්වීමම කොතරම් අගනේද?

මෙම ගීතයේ යූටියුම් වීඩියෝව තුළ ගීතය අවසානය වෙනතෙක් පටිගත කොට නැත. තවත් පටිගත කිරීම් වලදී යම් යම් වචන කොටස් එකතුව ඇතිව තිබුණත් එය නිවරැදිම කොටස්ද යන්න හරියද නොදන්නා නිසා එම කොටස් එකතුකරන්නේ නැත.

මෙම ගීතය සම්බන්ධයෙන් වන සත්‍ය තත්ත්වය පිළිබදව කරුණු මෙම ලිපියෙහි කමෙන්ටු ලෙස පළකිරීමට පුළුවන. නිශ්චිතවම සත්‍ය යැයි ඔප්පුවන කරුනු ඇත්නම් ඒවා ‍මුල් ලිපියෙහි අන්තර්ගත කිරීමට වුවද මම එකග වෙමි.

ඉහත මා සදහන් කර ඇති පරිදිම මෙම ගීතය සිංහල සයිබර් කලාවේ එක්තරා සන්ධිස්ථානයක් සළකුණු කරයි. සැබැවින්ම සයිබර් ගීතයක ලක්ෂන මෙම ගීත නිර්මාණය තුළ අන්තර්ගතව ඇත. තනි පුද්ගල උද්දීපනය පමණක් කේන්ද්‍රගත වන වෙළද කලාවකට වඩා සාමූහික කලා නිර්මාණයක් දායක කිරීම එකී ලක්ෂණ පුහුණු කිරීම සදහා මෙම නිර්මාණ රසවින්දනය කරන්නන්ට මෙන්ම සයිබර් නිර්මාණකරුවන්ටද වන ආදර්ශයකි, කලාවේ මූලයන් පිලිබදව නැවත සිහිගන්වන්නකි.

Follow by Email