Sunday, February 17, 2013

පොල් කෙල්ලේ ඔයයි මමයි......


මේක යුද්දේ දරුණුවටම ගිය 2009 මුලදී වගේ වෙච්චි පොඩි සිද්දියක්. මම දන්න හොඳ දේශප්‍රේමී මුදලාලි කෙනෙක් ඉන්නවා. ධර්මෙ අයියා කියමුකො. පලාතෙ හැටියට ටිකක් ලොකු සිල්ලර කඩයක් තමා කලේ. පළාතෙ කවුරුත් පෙට්‍රල් ගත්තෙ මිනිහගෙ කඩෙන්. මොකද ෂෙඩ් එකේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවංකරන නිසා මිනිහා පෙට්‍රල් ගෙන්නුවෙ හැඳල පැත්තෙ ෂෙඩ් එකකින්. ෂෙඩ් එකට වඩා ගණං වැඩි වුනත් බඩු සුපර්. ඉතිං මිනිහා ඔය ඉන්ධන ප්‍රශ්න ගැන කොහොමත් හරි උනන්දුයි.

දවසක් හවසක මං කොහෙහරි යනගමං කඩේට ගොඩවෙලා පොඩි චැටක් දාගෙන ඉන්න වෙලාවක්.

“අන්න මාදම්පෙත් එකක් අල්ලලාලු...... දවල් නිවුස් වලට ගියේ.......”
“මොකද්ද?”
“කොටින්ට පෙට්‍රල් ඇදපු මුස්ලිම් ලොරියක්.... ලොරිය පුරෝලා තිබිලා තියෙන්නෙ පෙට්‍රල් ඩීසල් බැරල්.... ඔහොම ගිහින් පුත්තලමෙන් වනාතවිල්ලුවෙන් ඕවා කොටින්ට පාස්කරනවා ඇති. කාලකන්ණි.... එක ලොරියක් පාස් කරගත්තොත් ඕකුන්ට අවුරුද්දකට ඇති..... කොටි ඕවට අම්මටසිරිවෙන්ඩ ගෙවනවලුනේ....”
“මාදම්පෙදි...?”
“ඔව්... චෙක්පොයින්ට් එකේදි අල්ලලා තියෙන්නෙ.... ඔය කොළඹ පැත්තට යන ලොරි චෙක් කලාට ආපහු එන ඒවා එච්චර බැලෙන්නෑනෙ.... ඒක මුන් දන්නවා..... ලොරිය මුස්ලිම් එකෙක්ගෙලු. ඩ්‍රයිවරුයි ගෝලයයි දෙන්නත් මුස්ලිම්ලු....
මං අද කිව්වා කියලා හිතාගන්ඩ..... දෙමෙල්ලු ඉවර වුනාට පස්සෙ ඔය @*&%^ තමයි මේ රටට හෙනයක් වෙන්නෙ..... උන්ට උපන්න රට කියල එකක් නෑනෙ... සල්ලි හම්බ වෙනවනං.......
මේ දෙමෙල්ලු ඉවරකලාට පස්සෙ මෙහෙ ඉන්න ඔය @$%$ හැතිකරෙත් අරාබියටම එලවලා දාන්ඩ ඕනෙ..... ඕකුං ඔය ලොරියටම දාල ගිනිතියන්ඩ තිබ්බෙ........ කාලකන්ණි.......”

මම එතනින් පිටත්වෙද්දිත් ධර්මෙයා කඩේට ආපු උන්ට ලෙසටම දේශනාව දෙනවා.
මම මගෙ ගමන ගිහින් හවස හයට විතර එනගමං ආපහු කඩේට ගොඩවුනා. ධර්මේ මූණ දෙක කරගෙන ඉඳගෙන ඉන්නවා.

“මොකද ධර්මෙ අයියෙ?”
“හරි වැඩේනෙ..... අර මාදම්පෙදි අල්ලලා තියෙන්නෙ මගෙ පැට්රෝල්නෙ......”
“ඒ කොහොමද?”
“තාහීර් මුදලාලිගෙ ලොරිය ඊයෙ අඟුරු අරං කොළඹ යනව කිව්ව නිසා හැන්දෑවෙ මගෙ බැරල් තුනක් ලොරියට දාල සල්ලිත් දුන්නා හැඳලින් පෙට්‍රලුයි ඩීසලුයි ගහගෙන එන්ඩ.... අල්ලලා තියෙන්නෙ ඒක.... ලොරිය පොලිසියෙ.... ඩ්‍රයිවරුයි ගෝලයයි ඇතුලෙලු.... මේ.... මට මොකුත් වෙන එකක් නැතිවෙයි නේද?”

--------------------------------      

මේ සිද්දිය මතක්වුනේ පොල් කෙල්ල ගැන අපේ මාධ්‍ය පින්වතුන් අද කියන කතාව කියවද්දි. දැන් ඕනෙනං අපිට බණින්න පුළුවන් සති දෙකක් තිස්සෙ පොල් කෙල්ල තුන්වේල කාපුවත් රිපෝට් කරපු මුං එකෙක්වත් නිකමටවත් කෙල්ලගෙ ගමට ගෙදරට ගිහින් බැලුවෙ නැද්ද කියලා. ඒ බැනිල්ලත් අපි මෙච්චරකල් පොල් කෙල්ලගෙ ප්‍රින්සිපල්ට බැන්නට දෙවෙනි නෑ.

මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නෙ ප්‍රවෘත්ති වාර්තා කරන එක නෙමෙයි. අපිට ආතල් දෙන එක.

නයි කෙල්ලගෙ මීඩියා ලණුව වමාරලා සතියක් යන්ඩත් කලින් අපි පොල් කෙල්ලගෙ මීඩියා ලණුව කනවා. ඊටපස්සෙ ඔෆිස්වල, කඩපිලේ, නානලිං ගාව පවා කොහෙවත් ඉන්න ප්‍රින්සිපල් කෙනෙක් පළු අරිනවා. ඊට ඉහල මට්ටමට එද්දි ෆේස්බුකියෙ අධ්‍යාපනයට 6% ක් වෙන් නොකිරීම ගානට කතාව ගිහින්. ඊටත් ඉහල තැන්වල මේක ධනේෂ්වර ආර්ථික ක්‍රමයේ මොකක්හරි එකක් කියලත් කතාවෙන්ඩ ඇති. අන්තිමේ ජනාධිපතිතුමත් ‘සංවේදී වෙලා’ ඔය මොකද්ද චක්‍රලේඛ වගයකුත් ගහන්ඩ කිව්වලුනේ.

-------------------------------------------

ධර්මෙ අයියගෙ කතාව ඉවරයි කියල හිතුවට තව ඉවර නෑ. ධර්මෙ අයියගෙ පෙට්‍රල් අල්ලපු එකෙන් ධර්මෙ අයියම දවල් දවසේ මාර දේශප්‍රේමී ආතල් එකක් ගත්තනෙ. හැබැයි හැන්දෑවෙ තමයි වැඩේ පත්තුවුනේ. කොහොමහරි දවසකින් හමාරකින් ලොරිය එලියට දැම්මා.  ඊට පස්සෙ තමයි ඉතිරි හරිය පටන් ගත්තේ. ධර්මෙයා ඊළඟ ආතල්එක ගත්තෙ වෙච්චි සීන්එක තාර බර දාල හැමෝටම කියලා. හමුදාවෙ දන්න ලොක්කෙක් අල්ලගෙන නූලෙන් බේරිච්චි හැටි, ඇමතිතුමාට කිව්වාම ඇමතිතුමා හතර අතට කෝල් කරපු හැටි, තව පොඩ්ඩෙන් දේශද්‍රෝහියෙක් වෙන හැටි........ දවස් කීපයක්ම ඔය ආතල්එක ගත්තා.

“ඇයි යකෝ ස්වර්ණවාහිනියෙ පෙන්නුවේ.....? ඒ මගෙ පැට්රෝල් බැරල්.....!!”

-----------------------------------------  

මේ දවස්වල අපි ගන්නෙත් ඔය දෙවෙනි ආතල් එකම තමයි.
“බලන්ඩකො අනේ... අර පොල් කෙල්ල මහ හෙරක්ලුනේ....... අපිත් රැවටුනානෙ....”
පොල් කෙල්ල ගැන කලින් ගහපු නිවුස් එක බොරුවක් කියලා දැන් අපි දන්නවනේ. එතකොට නිවුස් කියන්නෙ මොනවද?  වෙන මොකුත් නෑ. ප්‍රබන්ධ. නිකම්ම ප්‍රබන්ධ නෙමේ. අපේ ආතල්එක උපරිම කරන ප්‍රබන්ධ. හරියට හින්දි ෆිල්ම් වගේ. ඉගෙනගන්න ආස අහිංසක කෙල්ලෙක්. අමානුෂික විදුහල්පති කෙනෙක්, තණ්හාධික පොල්වතු හිමියෙක්, පොඩි මිනිස්සු විතරක් දඬුක‍ඳේ ගහන පොලිසියක්, හිතක් පපුවක් නැති නඩුකාරයෙක්........... ලාස්ස්සන ප්ලොට් එකක් නෙහ්?

ඇත්තම කියනවනං ඔයවගේ ප්‍රින්සිපල්ලා අපේ සමාජයේ ඉන්නවද? අති බහුතරයක් ඔය වගේ නෙමෙයි. පොල්ගෙඩි අටකට පොලිසි යන මිනිස්සු අපේ ගම්වල හරි අඩුයි. ඇරත් පොඩි කෙල්ලෙක් අල්ලං? මේ වගේ සිල්ලර කේස් හේතුවක් නැතුව ඉහලට යවන පොලිසිත් නෑ. මොන අඩුපාඩු තිබ්බත් මේවයෙ වැඩකරන්නෙ මිනිස්සු. කොටින්ම පොල් කෙල්ලගෙ නිවුස් එක අහපු ගමන් මට නං හිතුනේ මේක මේ විදිහට වෙන්න බැරි දෙයක් කියලා. (පැරා ඕක ඒ දවස්වලම ලිවුවා).

දැන් ඔය සැකය ඔය මීඩියා වල වැඩකරන අදීන මාධ්‍යවේදීන්ට එන්නෙ නැද්ද? එනවා පින්වතුනි.  ආව‍ට අදාල නෑ. ප්‍රබන්ධයක් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තියෙනවනං තව මොකටද ඇත්ත නැත්තක්?

අපිට වෙලා තියෙන්නෙ ධර්මෙයට වෙච්චි දේම තමයි. අපිට කෙළවෙන එකම අපි එන්ජෝයි කරනවා. පස්සෙ අපිට කෙළවුනා කියල තේරුණාම ඒකත් එන්ජෝයි කරනවා. නයි කෙල්ලගෙන්ගෙන්, පොල් කෙල්ලන්ගෙන් ආතල් අරං ඇණගන්නවා. පස්සෙ ඇණගත්තු එකෙනුත් ආතල් ගන්නවා. මාර ෆන් ලෝකයක්.

ප්‍රශ්නේ තමයි අපේ ආතල් වෙනුවෙන් මේ වසල මාධ්‍ය ප්‍රබන්ධවල ගොදුරු බවට පත්වෙන මිනිස්සු ඉන්න එක.
මාධ්‍යවේදී පින්වතුනි එන්න.......! අර ප්‍රින්සිපල්ගෙ වොයිස්කට් එකකුත් අපිට දෙන්න.....!!
-----------------------------
ප/ලි - යකෝ... නයි කෙල්ල දවසට 67000/- ත් හොයල තියෙනවලු

Thursday, February 14, 2013

දේශප්‍රේමී මංගල සේවා (නොමිලේ....!)

උපුටාගැනීම - https://www.facebook.com/sihaseriyaforce


පිං තකා කරන සේවාවකි. හරිගිය පසු කීයක්හරි නුදුන්නත් කමක් නැත...!!

ඇත්තම කියනවනං ඔය උඩ දාල තියෙන පොටෝ එක දැකල මගෙ හඳුන්පොත කීං ගාල ගියා. මේ අපේ නියම සිංහල බෞද්ධ දරුවො නේද අද අසරණ වෙලා ඉන්නෙ? ඒක නිසාමයි මේ හදිස්සියේ මෙහෙම මංගල සේවාවක් පටන් ගන්න හිතුනේ.

ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින නියම සිංහල බෞද්ධ තරුණයෙක්ද? ඔබ සොයන්නේ අව්‍යාජ, චාම් සැබෑ සිංහල බෞද්ධ යුවතියක්ද? තවත් පසුතැවෙන්න එපා. එන්න මා වෙතට......! ඔබේ පින්වත් සිහින කුමරිය ඓතිහාසික වයඹ පළාත තුලින් වගකීමක් සහිතව මා සොයාදෙමි.

ඉහත කතාව අපට කියන තරුණ දරුවා මෙන් ඔබ අසරණ නොවන බවට සහතික වෙමි.

අපි මුලින්ම මනාලිය බලන්න යන අවස්ථාවේදී ඉහත තරුණයා මුහුණ දුන් අත්දැකීමට ඔබට මුහුණදීමට කිසිසේත්ම සිදු නොවේ. මුලින්ම ඔබ ඇතුළු පිරිස ඉතා සාදරයෙන් පිළිගෙන නිවස තුල ඇති 100% ශ්‍රීලාංකික ‘දම්රෝ’ ප්ලාස්ටික් පුටුවල (මෙම පුටු මෙතෙක් හලාල් සහතිකය ලබා නැත) සුවපහසුව අසුන් ගන්වනවා ඇත. (මෙම පුටු වර්ණ කිහිපයකින් තිබීම ගැන කලබල ‍නොවන්න. නිවසේ ඇති පුටු දෙකට අමතරව අවශ්‍ය  පුටු දෙක තුන බැගින් අසල්වැසි නිවෙස්වලින් ගෙන ඒමේදී මෙය සිදුවේ. බලන්න සිංහල සහජීවනය?) ඉන් අනතුරුව ඉහත තරුණයාට මෙන් ඔබ පිරිසට කේක් සමග බීම අල්ලන්නේ නැත. (පරදේසක්කාර හැතිකරය විසින් අපට පුරුදු කල හලාල් කෝඩියල් තියා, ඒවා සකස් කිරීමට අවශ්‍ය සුද්දාගේ ශීතකරණයවත් මේ මිනිසුන් නිවෙස්වලට මෙතෙක් වද්දාගෙන නැත.) ඒ වෙනුවට ඔබට ඉතා රසවත් දේශීය අළුවා කැබැල්ලක් හෝ මෑතකදී හලාල් සහතිකය තූ කියා ඉරා විසිකල වීරෝධාර මැලිබන් ලෙමන් පෆ් විස්කෝතුවක රස බැලීමට ලැබෙනු ඇත. රණවරා නම් ලැබේදැයි ෂුවර් නැති මුත් මදක් සීනි වැඩි වටවල කහට තේ කෝප්පයක් නම් ලැබෙනු ඇත.

දිවා ආහාරය ගැන නම් කලින් කිව නොහැකිය. මන්ද සිදාදියේ සිට ඔබ එනබව කල්තියා දැනුම් දී ඇති හෙයින් ඔබ කැමති යයි ඔවුන් සිතන කෑම බීම විශේෂයෙන් සකස් කරන්නට ඉඩ ඇති බැවිනි. නමුත් ඔවුනගේ සාමාන්‍ය කෑමවේල  ඉතා චාම් සහ 100%  දේශීය බව සහතික කරමි.  හලාල් කුකුල්මස් හෝ හරක්මස් කිසිදා ඔවුන්ගේ නිවසට වැද්ද ගන්නේ නැත. ඒ වෙනුවට සාලයා කරවල හෝ සමෘද්ධි මුද්දරේට දෙන හාල්මැස්සන් වැනි හලාල් රහිත මාංශ පමණක් අනුභව කරති. ඒවාද මසකට දින හත අටක් පමණි. පොලොස් ඇඹුල, අඟුණකොල මැල්ලුම, කොස් දෙල්, බතල, මයියොක්කා වැනි ඔබ අගය කරන ආහාර ඔවුන් දිනපතා ගනිති. ඇතැම් විට දින කිහිපයක් වේල පිරිමසා ගන්නේද ඔවැනි අගනා ආහාරවලිනි. 100% ක් දේශීය ව්‍යාංජනයක් වන සම්බෝල සමග බත් වලින් පමණක් වේල් බරගානක්ම පිරිමසා ගනිති.  මා ඔබේ මනාලිය සොයා දෙන්නට යන්නේ එවැනි අගනා පින්බර පවුලකිනි.

මෙම තරුණියන් ගැන කියන්නේ නම් ඔවුන් කිසිසේත්ම ඊනියා බටහිර සංස්කෘතියෙන් සංකර වූවන් නොවේ. සාමාන්‍ය ගෙදර දොරදී ටීෂර්ට්/ත්‍රීක්වාටර් වැනි අසංවර ඇඳුම් වෙනුවට ඔවුන් අඳින්නේ චීත්ත ගවුම් වැනි ශරීරයේ අඟපසඟ හොඳට වැසෙන ඇඳුම්ය. ගමනක් බිමනක් යන විටදීත් තරමක් දිග සායක් සහ ඇඟ වැසෙන බ්ලවුසයක් අඳී. ජින්ස් වැනි සංකර ඇඳුම් හෝ සාරියක් වැනි පර ඉන්දියානුවන්ගේ ඇඳුමක් මෙම ඇතැම් තරුණියන් ජීවිතේටම ඇඳ නැත. එමෙන්ම තොල් රතු කිරීම, නිය පාට කිරීම, සමේ රෝම ඉවත්කිරීම, ඇහි බැම සැකසීම වැනි බටහිර විච්චූරණ කිසිදිනෙක කර නැත. ඒ තියා ආර්තව දිනවලදී අරුංගේ විස පොවපු සනීපාරක්ෂක තුවාවත් බොහෝවිට පාවිච්චි නොකරයි.

මෙම පින්වත් තරුණියෝ නිවෙස්වල නිකරුණේ කාලය ගත නොකරති.  බොහෝ තරුණියෝ තම ශ්‍රමයෙන් ගාමන්ට් එකක හෝ වැඩකොට අප පෙම්බර මව්බිමට විදේශ විණිමය අද්දවා දෙති. රැකියාවක් නොකරන යුවතියෝද දවස පුරා නියැලෙන්නේ ගව සම්පත දිගේලි කිරීම, අරාබි ගෑස් වෙනුවට දේශීය දර එක්රැස් කිරීම, හේන් උදළුගෑම, මැටි වලන් සේදීම,  එළුවන් රැකබලාගැනීම වැනි දහසකුත් එකක් දේශීය කටයුතු වලය.

මා විසින් ඔබට හඳුන්වා දෙන්නට යන තරුණියන්ගේ අගනා චරිතය ගැනද මා ඔබට සහතික වෙමි. නොදන්නා පිටස්තරයෙක් නිවසට පැමිණි විට හායි හූයි ඇයි මොකෝ කියාගෙන කට බලියාගෙන ඉස්සරහට නොඑන ඔවුන් බහුතරයක් අමුත්තෙක් දුටු වහාම නිවස පිටුපසට දුව ගොස් වැඩිහිටියෙක් ඉදිරියට එවති. බලන්න අපේ නියම බෞද්ධ හැදියාව?

එමෙන්ම ඔවුන් කතාබහ කරන්නේ 100%ක් පිරිසිදු සිංහලෙනි.  කතාබහ අතරතුර හඩු ඉංගිරිසි වදන් කවදාවත් භාවිතා නොකරයි. හිත දූෂ්‍ය කරන ඉංගිරිසි චිත්‍රපටි කවදාවත් බලා නැති අතර ඉංග්‍රීසි ගීත වාදනය වන තැනකවත් ඉන්නේ නැත. ෆේස්බුක් තබා කිසිදු දිනෙක කොම්පියුටරයකට අතක්වත් තබා නැති බවද සහතික වෙමි.

මෙහෙම ලියාගෙන යනවානම් මාගලක් පිරෙන්නට තරම් වුවත් මෙම පින්බර යුවතියන්ගේ රුව ගුණ ගැන ලියන්නට මට පුළුවන. ඒත් මේ ඊට අවස්ථාව නොවේ. ඔබම පැමිණ දැක බලාගෙන කරකාර බැඳගෙන තේරුම්ගන්න.

මා සාමාන්‍ය මගුල් කපුවෙකු නොවේ. එබැවින් මගේ මතු ආරක්ෂාව පිණිස මෙම යුවතියන්ගේ පවතින ඉතා සුළු අඩුපාඩු දෙකතුනක්ද සඳහන් කරමි.
මුහුණ සුළු වශයෙන් අව්වට පිළිස්සී තිබීමට පුළුවන.
දෑත් ගොරහැඩිවීමට සහ පුංචි කරගැටයක් දෙකක්ද තිබිය හැකිය.
අත්ලේ පහලට වෙන්න සහ නියපොතුවල වලං දැලි රැඳී තිබිය හැකි බව සලකන්න.
දෙපා වල ඇඟිලි මදක් ඉහිරී තිබිය හැකි අතර දෑත් දෙපා වල සුළු වශයෙන් නහර මතුව තිබේ.
සම අවපැහැ වී තිබිය හැකිය.
මුහුණේ සහ දෑත්/පාද වල රෝම තිබිය හැකි බව සලකන්න.
සමීප වන විට මද දහඩිය ගඳක් හැමීමට හැකියාව පවතී.
හිසකෙස් අග පිපිරී ඇතිවා මෙන්ම උකුණෙක් දෙන්නෙක්ද සිටීමට හැකිය.

නමුත් මේවා ඔබ වැනි දේශප්‍රේමියෙක් කිසිසේත්ම ගණන් නොගන්නා බව දනිමි. ඔබ නැවත යාමට අපේක්ෂා කරන පැරකුම් දුටුගැමුණු යුගයේ සබන්,  සනීපාරක්ෂක තුවා, ඩියෝඩරන්ට්  වැනි පරදේසක්කාරයින්ගේ විච්චූරණ නොතිබූ බැවින් මෙවන් කාන්තාවක් සරණ පාවා ගැනීමෙන් ඔබට එදා හෙළ යුගය වෙත පහසුවෙන් නැවත ගමන් කල හැකිවනු ඇත.
එසේනම් එන්න වීර පුතුනි, මේ සේවාව ඔබ වෙනුවෙන්මයි.
(ආහ්... දරුවො? බයවෙන්ඩ එපා. පාන නිව්වාට පසු මීක් කියන්නෙ නැත. අවශ්‍ය තරම් හදාගන්න. මයෙ මොකෝ)
-------------------------------------------------
ප/ලි - මේ මගුල ලියලා උදේ හවා මුලිච්චිවෙන, ආශ්‍රය කරන, දුක සැප බෙදාගන්න මගේ උන්ට අපහාස කලා නොවේ. ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.

Friday, February 8, 2013

මගේ රාත්‍රී සාංඝික දානය

පින්තූරය -  http://stillforestpool.blogspot.com/

ඊයේ මම රාත්‍රී සාංඝික දානයක් දුන්නා. ඒ හේතුවෙන් මට ලැබෙන්නට නියමිත ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන කුසලානුභාවයන් කැමති කෙනෙකුට (දැනට එව්වා අඩුපාඩු අය විශේෂයි)  අනුමෝදන් වෙන්න කියන්නත් එක්ක තමයි මේක ලියන්නෙ.

ඊයෙ හවස හතරට විතර පොඩි වැඩක් අහවර කරලා ගෙදර එමින් ඉන්න විට තමයි මේ කියන්න යන හාමුදුරුවො පාර අයිනෙ ඉන්නවා මම දැක්කෙ. මම හොඳට අඳුනනවා. වයස අවුරුදු 45ක් 50ක් ඇති. උන්වහන්සෙ වැඩ වෙසෙන්නෙ මගේ නිවස පහුකරලත් කිලෝමීටර් හතරක් විතර ගියාම හමුවෙන පන්සලක. මම බයිසිකලේ නැවැත්තුවා.


“ඔබවහන්සෙ පන්සලට වඩින්නද?”
“ආ.. ඔව් මහත්තයො.... දැන් ටික වෙලාවක් බස් එකක් නෑ....”
“යමු හාමුදුරුවනේ......”
“කරදරයක් නෑනෙ...?”

(ඔය ‘මහත්තයා’ කෑල්ල ගැන එච්චර වද වෙන්ඩ එපා. ඒක නිකං මේ අපි අපි ‘මචං’ කියා ගන්නවා වගේ යෙදුමක් හරිය?)

දැන් අපි බයිසිකලේ ටිකක් හෙමින් එනවා.

“ඔබවහන්සෙ බෑරක් වැඩියද?”
“මං කොළඹ මහ ඉස්පිරිතාලෙ ගියා මහත්තයෝ..... අපේ දායක මහත්තයෙක්... දන්නව ඇති... රත්නායක? ටිකක් අසාධ්‍යයි. මම කලින් දන්නන්නෙත් නැතුව ගියේ. ඊයෙ පොඩි වැඩකට මිනුවන්ගොඩ පන්සලකට ගියා. ඒ ගමන එහෙම්මම ඉඳලා අද උදේ කොළඹ ගියා..... එක පාරට මාව දැක්කාම එහෙන් මෙහෙන් සේලයින් බට එල්ලගෙන නැගිටින්නත් බෑය කියපු මිනිහා ඇ‍‍ඳේ ඉන්දවුනා..... ලෙඩෙන් බාගයක් සනීප වුනා වගේ.... අද ගෙදරින් කවුරුවත් ගිහිල්ලත් නෑ...... ඒ දුප්පත් මිනිස්සු කොහොමද දවස ගානෙ කොළඹ පදින්නෙ....?”
“අදහගන්න බැරිවෙන්න ඇති.....”
“ඒක තමයි..... මමත් යන්ඩ ඕනෙ කියල ගෙදර අයට කියල තිබ්බට අහවල් දවසෙ යනව කියල තිබ්බෙ නෑ..... හරියකට කතාබහ කරන්ඩවත් බෑය කිව්වට මාත් එක්ක සාමාන්‍යයෙන් හොඳට කතා කලා..... මං පිරිත් ටිකකුත් කියලා පිරිත් නූලකුත් බැඳලම ආවා...... මිනිහට ඇඬුනෙ නැති ටික විතරයි.... ඕක තමයි ඉතිං කුසලය කියන්නෙ... හෙට මලත් හිත සතුටින්නෙ.....”

මේ කතාබහ තවත් පැති වලට විහිදෙමින් එද්දි හාමුදුරුවො පොඩි ඉල්ලීමකුත් කලා.

“අර මාජි අක්කගෙ එලවළු කඩේ ගාව පොඩ්ඩක් නවත්තන්ඩ මහත්තයෝ..... එලවළු ටිකක් ගෙනියන්න ඕනෙ.... පන්සල හරියෙ එලවළු මොකුත් නැතුව ඇති.....”
“ඇයි හාමුදුරුවනේ දානේ.......?”
“දානෙ නං නැති දවසුත් එමට තියෙනවා. එහෙම දවසට පොඩි උන්නාන්සෙත් එක්ක ඔය මොනවහරි රත්කරගන්නවා. එලවළු ටිකක් තියෙනවනං රෑට ටිකක් තම්බලා හිතුනොත් බත් ඩිංගකුත් උයලා ගන්නවා...... මහත්තයට ඕකෙ නොකිය ඉන්ඩ දෙයක් නෑනෙ....”
“අපොයි ඒකෙ දෙයක් නෑනෙ හාමුදුරුවනේ.....”
“පොඩි උන්නාන්සෙ පාඩම් කරනවා.... රෑට බඩගින්නෙ ඕව කරන්ඩ බෑනෙ.... දැං මමත් මේ උදේ ඉඳං බස්වල රස්තියාදුවෙලා වෙහෙසිලා..... කවුරු කිව්වත් රෑට ඩිංගක් නොකා කොහොමද නින්දවත් යයිද....?
කොහොමත් මම මස් මාළු නං කන්නෙම නෑ...... දානෙට උනත් උම්බලකඩවත් නොදා ගේන්ඩ කියල තමයි දායකයින්ටත් කියල තියෙන්නෙ.... ඒක ඒ මිනිස්සුන්ටත් ලොකු පහසුවක්.... අනික මම පිරිත් වලින් සෙත් සාන්ති කරනවනේ.... මාළු පිළිහිඩි කන කටකින් ඔය මොන සෙත් පිරිත කිව්වත් මෙලෝ වැඩක් නෑ.....”

කතාවෙන් කතාවෙන් අපි එලවළු කඩේ කිට්ටුවටම ආවා.  නමුත් හාමුදුරුවෝ හිටිඅඩියේ ඉල්ලීම වෙනස් කලා.

“නවත්තන්ඩ ඕනෙ නෑ මහත්තයෝ.... කෙලින්ම යං.... එලවළු ටිකක් ඔය හෙට කාටහරි කියලා ගෙන්න ගම්මු.........”
“ඇයි හාමුදුරුවනේ?”
“එතන දෙතුන්දෙනෙක් ඉන්නව නේද? ඉස්කෝලෙ නෝනෙකුත් ඉන්නවනේ.... නිහලුත් ඉන්නෙ.... ඔතනින් එලවළු ගත්තොත් මං පන්සලේ වසලත් හමාරයි... හහ්...හහ්....
අපි පෘතග්ජනයො..... සාමාන්‍ය මිනිස්සුන්ට වගේ දාඩිය දානවා... බඩගිනි එනවා.... ඒක හැබෑව.... ඒත් ඉතිං මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අපිත් බුදුහාමුදුරුවො වගේ ඉන්න ඕනෙ කියලනේ..... ඒකෙ ඉතිං කිසි වැරැද්දකුත් නෑ.....”

මට තදින්ම වැදුනේ ඔය කතාව.

“මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අපිත් බුදුහාමුදුරුවො වගේ ඉන්න ඕනෙ කියලනේ.....”
ඔය කොහෙද තියනවයි කියන සැබෑ නිර්මල ථේරවාද බුදුදහමේ කොහොම තියෙනවද දන්නෙ නෑ. නමුත් මම දන්න සාමාන්‍ය පන්සල් බුදුදහමේ නං මේක හරි තීරණාත්මකයි. මිනිස්සුන්ට හාමුදුරුනමක් තියන්නෙ (අමිලයගෙ බාසාවෙන්) පිං ලබාගන්න පෝර්ට් එකක්. නිවන් යවන ඒජන්ට් කෙනෙක්. හැමෝටම වගේ හිතේ ලොකු වරදකාරී හැඟිමක් තියෙනවා තමුන් දිනපතා කොච්චර පව් කන්දරාවක් කරනවද කියලා. දේව ආගම්වල වගේ පව් කමාකරගන්න සිස්ටම් එකකුත් බුද්ධාගමේ නැති නිසා ඉතුරු වෙන්නෙ පුළුවන් විදිහට කුසලයක් කරලා හර බැර බැලන්ස් කරගන්න එක. ඔය කුසලය වුනත් හුඟක් වෙලාවට මාසෙකට සැරයක් පන්සලට ගිහින් දෙන පේරුදානෙයි, පෝයදාට තියන බෝධිපූජාවයි තමයි. ඒක නිසා ඉඳහිට කෙරෙන ඔය කුසල් දෙක හෙන පවර්ෆුල් කරගන්නනම් බුදුහාමුදුරුවො වගේ රහසින් වත් පව් නොකරන උත්තමයෙක් පන්සලේ තියාගන්න ඕනෙ. ඉතිං ඔය ඇරියස් වලට කරගැසීම පිණිස  සිවුරක් පොරවලා පන්සලක තියාගෙන ඇති දැඩි කරන  අහිංසක මනුස්සයෙකුට තමයි වර්තමාන අර්ථයෙන් හාමුදුරුනමක් කියන්නෙ. මොකා බැන්නත් ඕක තමයි ඇත්ත.

කවුරුහරි ඕන්නං කියයි ඔය සීලය රකින්න දිවුරලා නේද චීවරේට එන්නෙ කියලා.  ඒක හරියකට රකින්න බැරිනම් චීවරේ දාලා යන එක නේද හරි කියලා. මම අහන්නෙ ඔය රැකියා කරන කිසිකෙනෙක් ‘මගේ රැකියාවේ වගකීම් මම හරියට කරන්නෙ නෑ’ කියලා රස්සාවෙන් අස්වෙලා ගෙදර යනවද? එහෙම යන්න බෑ. මොකද ඒක තමයි පැවැත්ම.

කොහොමින් හරි හාමුදුරුවන්ව පන්සලට දාලා මම ගෙදර ආවා.

ඊට පස්සෙ වෙච්චි දේ කෙටියෙන් මෙහෙමයි. හවස හතට විතර පොඩි ගමනක් යන්න වුනා. ඔය පන්සල කිට්ටුවෙන්. යන ගමන් පාන් ගෙඩියකුයි පොඩි කෙසෙල් ඇවරියකුයි ගෙනිහින් ආවාස ගෙයි කුස්සියෙන් තිබ්බා. අපරාදෙ මහන්සි වුනේ කියලා හාමුදුරුවෝ පොඩි නොක්කාඩුවක් කිව්වා මිසක් අර සාමාන්‍යයෙන් දානයක් ගෙනිච්චාම  මූනිච්චාවට කරන පින්දීම කරල මාව රැවැට්ටුවේ නෑ. මටත් පාන්ගෙඩියක් පූජා කරලා දවසේ පව් කන්දරාව හිලව් කරගන්න අවශ්‍ය වුනෙත් නෑ. මේ ගණුදෙනුවේ තණ්හා මෝහ අරව මේව මුකුත්ම නෑ.

කොහොමත් කවදහරි හාමුදුරුවො රෑට කනවා කියන එක ආරංචි වෙලා දායකයො රෙදි කරට අරං ඒවි. එදාට ඒ එනඋන්ට මං කියන්න ඉන්නෙ
‘පුලුවන්නං පාන්දර පහට ප්‍රයිවෙට් බස් එකක නැගලා, කොළඹ ගිහින් ලෙඩෙක් බලලා, ආපහු ප්‍රයිවෙට් බස්එකකම නැගලා හවස පහට විතර ගෙදර ඇවිත්, රෑට නොකා ඉඳලා, පාන්දර හිස්බඩම ගිහින් බැනපල්ලා’ කියලා.

රාත්‍රී සාංඝික දානයත් මහත්ඵල මහානිශංසයි පින්වතුනි....!!

(ආගමික මනස්ගාතයක් නිසා මුස්ලිම් මිනිස්සු හලාල් කනවා කියලා කිණ්ඩිය දාන අපේ ඇත්තො, ආගමික මනස්ගාතයක් නිසා මිනිස්සු කොටසක් රෑට කන්නෙම නෑ කියන එක ගැන මොකද දන්නෑ කියන්නෙ?)

Follow by Email