Friday, December 20, 2013

නදීෂාගේ කකුල් වලට ඇති බය



මේ දවස්වල මාතෘකාව නදීෂා හේමමාලි ය. හේතුව යූ.ඇන්.පී ය දකුණෙන් නදීෂා හේමමාලිට නාමයෝජනා දෙන්නට සැරසීමයි. නදීෂා එක්ක එකට ඈ‍ඳෙන නම් ගොඩකි. අනර්කලී, පබා, ගීතා, නිල්මිණි, රෝසි, මාලනී, හිරුණිකා.......

නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල් කියවීමි.  ඒවා බොහෝ දුරට සමානය. බොහෝ අයට ඇති ප්‍රශ්නය  දේශපාලන ආයතන ‘ගණිකා මඩම්’ වීමයි. තවත් අය ලියා ඇත්තේ යූ.ඇන්.පී මන්ත්‍රීවරුන් අනාගතයේ ගැනීමට නියමිත සැප පිළිබඳවයි. ඇය ‘ඕල් ඉන් වන්’ පැකේජයක් ලෙසද හඳුන්වා තිබුණි. මන්ත්‍රී/ඇමති වරුන්ට සමාජරෝග පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවද ඇතැමුන් කියා තිබුණි. තවත් අය චන්දෙන් පසු දකුණේ චන්දදායක ගොන්නුන්ට හූ කීමට බලා සිටිති. නදීෂාගේ අඟපසඟ වැඩිපුර පෙනෙන පින්තූර කිහිපයක් හැමතැනම දක්නට ඇත. 

මට ඇත්තේ පොඩි ප්‍රශ්නයකි. දැනට පාර්ලිමේන්තුවේ/පළාත්සභාවල ඉන්න උන්ට වඩා අනර්කලී,නදීෂා,ගීතා නරක් වන්නේ මන්ද යන්නයි.  නොඑසේනම් මුතුහෙට්ටිගමට, මනූෂට බය නැති මිනිස්සු නදීෂාට මෙච්චර බය මන්ද යන්නයි.

නදීෂා සමග කියැවෙන නම් කිහිපයෙහි විශේෂත්වයක් ඇත.  ඔවුන් නිරූපිකාවන් හෝ නිළියන්ය. එනම් ලංකාවේ පිරිමින්ගේ ලිංගික සංකේතයන්ය. ඔවුනගේ පවුල් ජීවිත අසාර්ථකය. දරුවන් නැත. (හිටියත් නෑ වගේය) සැලකිය යුතු සමාජ බලයක් සහිතය. නිදැල්ලේ සරයි. පිරිමින්ගේ පාලනයකින් තොරව නිදහසේ තීරණ ගැනීමේ හැකියාව සහිතය. සරලව කිවහොත් කුටුම්භයකට සිරකොට නාස් ලණුව දමා නැත.  
ඇත්තම ප්‍රශ්නේ ඕක නෙමෙයිද?


නදීෂාට අමුතුවෙන් දූෂිත කරන්නට තරම් කිසිදු දේශපාලන ආයතනයක් ලංකාවේ  ඉතිරිව නැත. ලංකාවේ පොඩිම තැන ඉඳන් ලොකුම තැනට යනතෙක් සිටින ඕනෑම දේශපාලක පිරිමියෙක් විසින් මෙතෙක් ගසා කා ඇති මහජන මුදල් ප්‍රමාණයෙන් දශමයක් වත් මේ නම් කියැවෙන ගැහැණුන් විසින් ගසා කා ඇති බවට චෝදනාවක්ද නැත. දේශපාලන බලය යොදා නීතිය දූෂණය කරන, කුඩු බිස්නස් කරන, මැරකම් කරන උන්ට වඩා මේ ගැහැණුන් අහිංසකය.

නදීෂා හෝ ඔය අනිකුත් ගැහැණුන් දේශපාලනය ගැන දන්නා මළදානයක් නැති බව ඇත්තකි. ඔවුන් ළඟ උලව් ජනතා හිතවාදයක්ද නැති බව ඇත්තකි.  ඔවුන් දේශපාලනයට ඒමෙන් රටට හෝ මිනිසුන්ට මොන ඉටිගෙඩියක් වත් නොලැබෙන බවද ඇත්තකි.  එහෙත් දැන් ඉන්න උන් ගාව ඔය මානව හිතවාදේ තියෙනවද? දිනෙන් දින ණයකාරයන් වීම හැර වෙන මොනවද රටට ලැබිලා තියෙන්නේ?


අනෙක් අතට දේශපාලන බලය යොදා නිදිවැදීම අතින් ඔය සිටින බොහෝ පිරිමින් සමග හැරෙන්නටවත් නදීෂාට නොහැකිය. සමාජරෝග පිළිබඳ දනුවත් කිරීමක් ලබා දෙනවානම් දිය යුත්තේ ඒවාට යන නදීෂා, අනර්කලී වැනි ගැහැණුන්ට විනා මේ ආයතනවල සිටින බඩුකාරයින්ට නොවේ.

‍ලංකාවේ දේශපාලනය දූෂිත බව උදේ හවා කියන්නන්ම, නදීෂා දේශපාලනයට ආ විට දේශපාලනය ගණිකා මඩමක් වන බව කීම රසවත්ය. එමගින් ඔවුන් නොකියා කියන්නේ නදීෂා නැති අපාය, නදීෂා සිටින අපායට වඩා හොඳ බවය.  නදීෂාට, අනර්කලීට ඇති බිය එතරම්ය.

ඇත්තම කියනවානම් නදීෂාගේ, අනර්කලීගේ, හිරුණිකාගේ මූණට කවුරුවත් බය නැත.  බය ඔවුන්ගේ කකුල් වලටය. කන්ටේනර් ගණන් වලින් කුඩු බිස්නස් කරන රාජපක්ෂ ආණ්ඩුව නොපරදින්නේද, පැරදුනත් ආපහු රාජපක්ෂ වර්ගයේ ආණ්ඩුවක් බලයට එන්නේද මේ කකුල් වලට බය මිනිසුන්ගේ ඡන්ද නිසාය. හිනා යන කාරණේ මේ මිනිස්සුම බුර්කා අඳින ගෑණුන්ට එරෙහිවීමයි.

මම දකුණේ හිටියානම් නදීෂාට ඡන්දයක් දෙමි.  ඒ ඡන්දයකින් කල හැකි කිසිම දෙයක් නැති රටකට විරෝධය පෑමක් වශයෙනි.