Wednesday, November 21, 2012

ගාසා තීරයට අත නොතබනු ! (මමයි කියන්නෙ හරිය..?)


ඊශ්‍රායලය විසින් මේ මොහොතේදී ගාසා තීරය වෙත එල්ල කරමින් තිබෙන අති බිහිසුණු ප්‍රහාරය අප හෙලාදැකිය යුතුය. හෙට දිනයේදී ලෝකය විඳින්නට නියමිතව සිටි කුඩා මල්කැකුළු වන් අහිංසක දරුවන් අමානුෂික යුද්ධය විසින් තලා පොඩිකරදැමීම හද කම්පා කරවයි.

මෙම වර්ගවාදී උන්මත්තකභාවයට අප කවුරුත් එරෙහි බැවින්, මෙම අමානුෂික ප්‍රහාරයන්ට මගේ විරෝධය පලකිරීම උදෙසා, එම ඛේදවාචකයේ ලොව සසල කල පින්තූර කිහිපයක් පහත පල කරමි.
















---------------------------------------------------
ප/ලි - ගාසා ප්‍රහාරයට අදාල නොවන පින්තූර කිහිපයක්ද අතපසුවීමකින් මෙහි පලවී ඇති බව මිතුරන් කීප දෙනෙක් දන්වා සිටියා. දැන් ඕවා හදන්නට වෙලාවක් නැති බැවින් නිවැරදි පින්තූර  තෝරා ඒවාට පමණක් කණගාටුවන මෙන් කාරුණිකව ඉල්ලමි.

Wednesday, November 14, 2012

නියම බුද්ධ පූජාව යනු කුමක්ද?


ඊයෙ පොඩි වැඩක් වුනානෙ. මේ දවස්වල රාවය පත්තරේ ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ ‘සත්යෝදය’ පොත ලිපිමාලාවක් හැටියට පලවෙනවා. ගිය ඔක්තෝබර් 28 වෙනිදා ඉඳන්. ඉතින් නිකමට වගේ ඒකෙ බුද්ධ පූජාව ගැන උන්වහන්සේගෙ අදහසක් විතරක් උපුටලා ‘POLLS - ඡන්ද විමසීම්’ මුහුණුපොත් සාමූහිකයේ ප්‍රශ්නයක් විදිහට පළකලා. දැනට තියෙන ප්‍රතිඵලවල හැටියට වැඩිම මනාපය තියෙන්නෙ ‘ලියපු එකා හරකෙක්’ කියන උත්තරේට.

මේ උත්තරේ දීල තියෙන වැඩිදෙනෙක් ‘බුදුදහම’ ගැන ‘සයිබර් අවකාශයේ’ යම් කැපවීමකින් යුතුව කටයුතු කරන පිරිසක් බවයි මගේ හඳුනාගැනීම. ඒ වගේ පිරිසක් වල්පොල රාහුල හාමුදුරුවො වගේ දුර්ලභ බුද්ධිමතෙකුගෙ අදහසකට මෙහෙම ප්‍රතිචාරයක් දාපු එක ගැන ටිකක් හිතන්න වෙනවා. මේ ප්‍රතිචාරය එන්නෙ මේක රාහුල හාමුදුරුවො ලියපු එකක් බව නොදැන බව ඇත්ත. නමුත් මේකෙන් පෙනෙන්නෙ විකල්ප අදහස් කෙරෙහි දක්වන ‘ඉස්ලාම් පන්නයේ’ භීතිකාවක්.

කොටින්ම වල්පොල රාහුල හාමුදුරුවෝ අද මේ අදහස් ලිව්වනම්, එකෙන්ම බොදු බල සේනාවෙන් උන්වහන්සේගෙ ආවාසය වටකරනවා.
‘මේ යමින් ඉන්නෙ කොහාටද’ වගේ ප්‍රශ්නයක් තමයි ඉතුරුවෙන්නෙ.

කොහොම නමුත් ඒ ව‍ගේ සුළු උපුටනයකින් හාමුදුරුවන්ගෙ සමස්ත අදහස තේරුම්ගන්න බැහැ කියපු චන්ද දායකයන්ට ප්‍රතිචාරයක් වශයෙන් රාවය පුවත්පතේ පළවූ ‘නියම බුද්ධ පූජාව යනු  කුමක්ද?’ නමැති සම්පූර්ණ ලිපිය පහත උපුටා දක්වනවා.



නියම බුද්ධ පූජාව යනු කුමක්ද?

බුද්ධ පූජාවට ඔබ විරුද්ධ යයි මතයක් පැතිර තිබේ.මේ පිළිබඳව සත්‍යය කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

මම කිසිසේත් බුද්ධ පූජාවට විරුද්ධ නොවෙමි.  යළි මම එය කිරීමට බලවත් ලෙස අවවාද කරන්නෙක්මි. ආමිස-ප්‍රතිපත්ති යන ද්වි පූජාවටම තථාගතයන් වහන්සේ තරම් සුදුස්සෙක් නැත. අද බෞද්ධයෝ බුද්ධ පූජා නොකරති. බුදුරජාණන් වහන්සේට සුදුසු පූජා නොපවත්වති. ‘බුද්ධ පූජා’ යන ලේබලය පිටින් අලවා නොඑක් විකාර කරති. විහාර මළුවක පිණුම් ගැසීමක්, නොඑක් විහිළු තහළු වලින් යුත් පෙරහැරක් යාමත්, ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන තැබීමත්, තවත් අනේක ප්‍රකාර විකාර කිරීමත් බුද්ධ පූජා ලෙස සලකති. මෙවා උන්වහන්සේට සුදුසු පූජා නොවෙති.

බුද්ධ පූජාවක් යනුවෙන් මා අදහස් කලේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි. මෙය පරම්පරාගතව එන චාරිත්‍ර ධර්මයකි. ඔබ ඊට විරුද්ධද?

විරුද්ධකම කෙසේ වෙතත් ඒ පිළිබඳ මගේ අදහස රටේ පිලිගත් මතයට වෙනස් බව ඇත්තකි.

ඒ කුමක්ද?

එය බුද්ධ පූජාවක් නොවේය යනුයි.

ඔබේ අදහස භයානකයි. අන්තරායදායකයි. එය මිත්‍යා දෘෂ්ඨියකි.

ප්‍රිය මිත්‍රයා... කලබල නොවනු මැනවි. නොකිපෙනු මැනවි. යම්කිසි මතයක් පිළිබඳව, තමාට නුපුරුදු අලුත් මතයක් පිළිබඳව සාකච්ඡාකරන විට ඉවසිල්ලෙන් මෛත්‍රීයෙන් සහ සමාදානයෙන් යුතුව ශිෂ්ඨ ධර්මයන් නොඉක්මවා කල හැකි නම්, මා සිතන හැටියට, එය බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමට වඩා උතුම් බුද්ධ පූජාවක් වේ. ඒනිසා නොකිපෙනු මැනවි. මා කියන දෙය අසා නුවණින් සිතා බලන්න.

අපේ යම්කිසි ඥාතියෙකු මල විට, ඔහු වෙනුවෙන් ආහාරයක් වෙන්කොට තැබුවහොත් එය ඥාති ප්‍රේතයාට බිලි වශයෙනැයි මිනිස්සු විශ්වාස කරති. මළගියවුන්ට ආහාර පිදීමේ අදහස එයයි. අපේ ජාතික වීරයෙකුගේ ප්‍රතිමාවක් ඉදිරියෙහි කෑම බීම තැබුවහොත් එය කෙබඳු දර්ශනයක් වේදැයි සිතා බලන්න. බෞද්ධයෝ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර වර්ගයන් තබා, විහාර කාමරයේ දොර වසා, බුදුරජාණන් වහන්සේගේ ආත්මයට නැතහොත් අවතාරයට අවුත් ඉඳුල් කරන්නට ඉඩ දෙන්නාක් මෙන් පිටතට වී ස්වල්ප වේලාවක් බලා සිටිති.

සමහර තැන්වල බෞද්ධයො ආසනයක් පණවා එහි වැඩ හිඳින ලෙස ප්‍රතිමාවට ආරාධනය කරති. ඊට පසු මුව දෝවන්නට පැන්ද, අනෙක් ආහාර වර්ගයන්ද, දැහැත්ද, පඩික්කමක්ද පිලියෙල කොට තබති. මෙය කෙතරම් සිනහ උපදවන බොඏඳ වැඩපිළිවෙලක්දැයි සිතා බලනු මැනවි.

ආහාරපානාදී බාහිර දේවල් උසස් හැටියට හැ‍ඟෙන්නේ අභ්‍යන්තර දියුණුව අඩු පමණටය. තිරිසනාට සියල්ලටම වඩා උතුම් දෙය ආහාරයයි. ඥාණයෙන් සහ ගුණයෙන් දියුණු නොවූ කල්හී වැඩුනු මනුෂ්‍යා තුලද ඒ අදහස එසේමය.

ශීල සමාධි ප්‍රඥාවන්ගෙන් අග තැන්පත් බුදුරජානන් වහන්සේ වැනි උතුමෙකුට උන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදාස් පන්සීයකට පසුත්, ආහාරපාන වර්ගවලින් ගරු කරන්නට සිතීම  අපේ අභ්‍යන්තර ගුණදහම් දියුණුවේ අඩුකම විදහා පෑමකි. බාහිර දෙයකින් උන්වහන්සේට සෑහෙන ගෞරවයක් කිරීමට අපිට පුළුවන්කමක් නැත. තමක් වහන්සේට ගෞරවය ප්‍රතිපත්ති පූජාව බව තථාගතයන් වහන්සේ විසින් බලවත් ලෙස දේශනා කරන ලදී.

එතකොට බාහිර වශයෙන් දානමානාදියෙන් තථාගතයන් වහන්සේට ගරුකිරීම නුවුමනාද?


නැත. එය එසෙ නොවේ. බුදුරජාණන් වහන්සේට ආහාර පානාදියකින් සංග්‍රහ කරන්නට යමෙකුට ඉඩක් ලැබෙතොත් සැබැවින්ම එය මහත් වාසනාවකි. උන්වහන්සේගේ ශරීරයටද, අනෙක් සත්වයන්ගේ ශරීරයට මෙන් කැම් බීම්, ඉඳුම් හිටුම් වලින් ප්‍රයෝජන ලැබේ. ඒ ජීවමානව සිටියදීය. අද උන්වහන්සේ ජීවමානව නැති බැව් අපි හොඳින්ම දනිමු. එනිසා ආහාර පානාදියකින් උන් වහන්සේට සංග්‍රහයක් කරන්න අපිට ඉඩක් නොලැබීම මහත් කණගාටුවකි.

මේ ජීවමාන බුදුන්ය යන හැඟීමෙන් ප්‍රතිමාවකට ආහාර පාන වර්ග පිදුවහොත් එය වැරදිද?

ප්‍රතිමාවක් පිළිබඳව මේ ජීවමාන බුදුන්ය යනව හැඟීමෙන් ගරු සත්කාර කරන බැව් බොහෝ අය කියති. එය එසේමදැයි මට තේරුම් ගත නොහැක. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී උන් වහන්සේගේ අසනීපයකට බෙහෙතක් සපයන්නට අපිට අවස්ථාවක් ලැබිණි නම්, අහෝ...! එය කෙතරම් වාසනාවක්ද! අද උන්වහන්සේ ජීවමානව නැති බැවින් උන් වහන්සේගේ රෝගයකට අපට බෙහෙත් කරන්නට ඉඩක් නැත. යම්කිසි ශ්‍රද්ධාවතෙක් ප්‍රතිමාවකට රෝගයක් වැළඳුනාක් මෙන් සිතාගෙන, හොඳ හැටි ඇදක් සරසා, ප්‍රතිමාව එහි සතපවා. සිවුරක් පොරවා ‘වරෝ..! බුදුරජාණන් වහන්සේට අසනීපයක් හැදිලාය’ කියා වියදම්කොට වෙද්‍යවරයෙක් ගෙන්වා, කෂාය උණුකොට ප්‍රතිමාවට පිළිගන්වයි නම්, මෙය මොන තත්වයේ විහිළුවක්දැයි සිතා බැලිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කල හැකි හැම සත්කාරයම උන්වහන්සේ පිරිනිවී පසුත් කරන්නට නුපුළුවන් බැව් සැලකිය යුතුයි. දැන් අපට කලහැකි සත්කාර මොනවාදැයි බැලීම නුවණැතියන්ගේ සිරිතයි.

එතකොට ඒගැන අප කුමක් කල යුතුද?

ගිලනුන්ට, රෝගීන්ට උපස්ථාන කිරීම උන්වහන්සේට කරන උපස්ථානයකැයි උන් වහන්සේ විසින් දේශනා කරන ලදී. උන්වහන්සේගේ අසනීපයකට අද අපට ප්‍රතිකාර කරන්නට නුපුළුවන් බැවින්, උන්වහන්සේගේ වචනයට අනුව අප විසින් අසරණ, දුප්පත් රෝගීන්ට කරුණාවෙන් සංග්‍රහ කල යුතුයි. එය උන්වහන්සේට පූජාවයි.

එසේම අද අපට උන්වහන්සේගේ ප්‍රයෝජනය පිණිස දානයක් දිය නොහැකි බැවින්, අප විසින් කල යුත්තේ නිරාහාරව කුසගින්නෙන් පෙළෙන අසරණයන්ට ඒ වෙනුවෙන් සංග්‍රහය කිරීමයි. එය උන්වහන්ස්ට කරන ‍ගෞරවයකි.
බෞද්ධයන් නුවණ මෙහෙයවා ක්‍රියාකල යුතුයි. ආහාරය වුවමනා කරන්නේ එය පරිභෝජනය කල හැකි පුද්ගලයකුටය. යමක් දිය යුත්තේ ප්‍රයෝජනය ගතහැකි පුද්ගලයෙකුටය. ප්‍රතිමාවකට ආහාරයෙන් ප්‍රයෝජනය නැති බැව් අපි හොඳින්ම දනිමු.

එක්තරා පාසලක් අසල පිහිටි විහාරස්ථානයක, විශාල ලෙස ආහාර පූජාව පවත්වනු ලැබේ. විසි තිස් දෙනෙකුට යැපෙන පමණ ආහාර ඉවතලනු ලැබේ. අර පාසලේ ඉගෙනීමට එන ඇතැම් දුප්පත් ලමයි දවල් දහය පමණ වන විට සිහිය නැතිව වැටෙති.ඔවුන්ට එක ආහාර වේලකින් සංග්‍රහ කරන කෙනෙක් නැත. බුදුහාමුදුරුවන්ගේ නමින් ප්‍රයෝජනවත් දෙය අඥාන ලෙස අහක දමති.  අර දුප්පත් දරුවන්ට සංග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපැදීම බව ඔවුහු නොදනිති.

ඥානවත් ලෙස ක්‍රියා කරන්නා බෞද්ධයායි. කරන හැම ක්‍රියාවකම තත්වය නුවණින් විමසිය යුතුයි.

ප්‍රතිමාවකට ආහාර පාන වලින් ප්‍රයෝජනයක් නැති බවත්, ආහාර පාන වලින් ප්‍රයෝජනයක් ඇත්තේ පාවිච්චි කල හැකි අයට බවත් ඇත්තකි. බුද්ධ ප්‍රතිමාවකට පිදීමෙනුත්, අසරණයෙකුට දීමෙනුත් වඩා පින් සිදුවන්නේ කුමකින්ද?

තමාට පින් බලාපොරොත්තුවන් යම්කිසි වැඩක් කරතොත් එය සැබැවින්ම වෙළඳාමකි. ඵලයට ආශාවෙන් යමෙක් යමක් කරයි නම්, එය උතුම් ක්‍රියාවක් නොවේ. කර්මඵල ඇදහීම යන්නෙහි නියම තේරුම නම්, යම්කිසි ක්‍රියාවක අවශ්‍යකමත්, එහි ඇති වටිනාකම සහ ප්‍රයෝජනයත්, නිසි ලෙස නුවණින් තේරුම් ගැනීමයි. ඵලය තේරුම් ගැනීම එකකි. එයට ආශා කිරීම අනෙකකි. ප්‍රතිමාවක් ඉදිරියේ කෑම බීම තබා අහක දැමීමෙනුත්, කුසගින්නෙන් පෙළෙන අසරණයෙකුට කරුණාවෙන්, මෛත්‍රියෙන් යුතු සංග්‍රහ කිරීමෙනුත් වඩා අවශ්‍ය ක්‍රියාව කුමක්ද? කියා නුවණින් සිතා බැලිය යුතුයි.

ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර තබන්නේ තමන් පින් ගන්නා ආශාවෙනි. එය තෘෂ්ණාවයි. ප්‍රතිමාවකට ආහාර පූජා කිරීමේදී කරුණා, මෙත්‍රී ආදී ගුණයන් උපදවන්නට ඉඩක් නැති බැවිනි. එහෙත්, අසරණයෙකුට සංග්‍රහ කිරීමේදී නියම අන්දමින් කරුණා මෛත්‍රි ගුණයෝ සිත්හි පහලවෙති.

දානයක් දීමෙන් දායකයා ආනිශංස පහක් ලබයි. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මේවායි. මේ ආනිශංස පහ දායකයාට ලැබෙන්නේ , දායකයා දානයත් සමග ඒවා ප්‍රතිග්‍රාහකයාට ලබාදෙන බැවිනි. ප්‍රතිමාවක් ඉදිරියේ ආහාරපාන වර්ගයන් තැබීමෙන්, ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව මෙයින් කිසිවකුත් ප්‍රතිමාවට නොලැබෙන බැව් අපට හස්තාමලකයක් මෙන් ප්‍රත්‍යක්ෂය. එනිසා පූජා කරන්නාටද ඒ ආනිශංස ලැබීමට කිසිදු යුතුකමක් නැත.  එහෙත් කුසගින්නේ පෙළන අසරණයකුට ආහාර පානයන්ගෙන් සංග්‍රහ කලහොත්, මේ ආනිශංස පහම දායකයාට ලැබෙනු නොඅනුමානයි.



සත්යෝදය පොත පහත සබැඳියෙන් බාගත කරගන්න පුළුවන්. ඔත්තුව දුන්නු පිටස්තරයා-2 ට ස්තුතිය.
http://www.sendspace.com/file/ugdwga

Friday, November 9, 2012

රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,



පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න.
_________________________

බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය ‍රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි.

හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත් ගේන්ඩ කියල ගිහිං තියෙන්නෙ අහවල් සැත්කම කොරගන්ඩ කියලා. ගමේ හැත්ත බුරුත්ත ඔක්කොමත් දන්නවා. තව ටිහකින් අපෙ මිනිහත් බීගෙන ඇවිත් ඉතුරු හරියත් කොරල දායි.

මෙහෙමයි හාමුදුරුවනේ. ඔය පිරිවෙනට දානෙ වේලක් හරි ගෙනත් පුදපු ගෑනියෙක් හැටියට මේ කියන්නෙ. දැනටම තුනක් වදල තියෙනවනේ. වදනවයි කියන එක පන්සලට වෙලා ඉන්න තමුන්නාන්සේලා හිතන තරං ලෙසි නෑ. ගැබ්බර වෙලා ඉන්නකං අතට පයට සැප ගන්ඩ අපි මහාමායාදේවිල නෙමේ. අපේ පැටව් කුස හෑල්ලුවෙලා බොහ් ගාල නෙලුම්මල් උඩට වැටෙන්නෑ. වදන එක සැපයි හදන එක ගැන හිතද්දි.  තවත් වදාගෙන උන්ට පොල්මුල් තම්බල දෙන්ඩද? තමුන්නාන්සෙලගෙ පන්සල්වල ගොඩගහගෙන තියෙන පිටිකිරි පිරිකර අපිට මොක්කුවත් ගෙනත් පුදන්නෑ. මාසෙකට වතාවක් දෙකක් ඩිස්පැන්සරි ගානෙ උන්ව උස්සං යන්ඩ අපිට තමුන්නැහෙලට වගේ කාර් නෑ.

තමුන්නැහෙලට තියෙන්නෙ ගෑනු වදන්නැති ප්‍රස්නේ. අපිට තියෙන්නෙ වදපු උන්ට මොකද කරන්නෙ කියන ප්‍රස්නේ. උන්ට කන්ඩ දෙන්ඩ ඕනෙ. උගන්නන්ඩ ඕනෙ. ඒකට සල්ලි හොයන්ඩ ඕනෙ. උනුත් අපි වගේම කාලකන්නි වෙනකං ගෙදරට වෙලා වද වදා බලං ඉන්ඩද කියන්නෙ? උන්ගෙ කේඬෑරි සරීර කූඩු දිහා බලාගෙන හූල්ලන්ඩද කියන්නෙ?

තමුන්නාන්සෙලා සෝමාරිකමට පන්සල ඇතුලෙ ඉදං ඉන්න විදිහට අපිට ගෙවල්වල ඉන්ඩ බෑ. අපිට මොක්කුවත් උයල කන්ඩ ගෙනත් දෙන්නෙ නෑ. අපේ ලෙඩට දුකට බලන්ඩ හාර පන්සීයක දායක සේනාවල් අපිට නෑ. කොටින්ම විසිහතර පැයේ නහින අපිට ජීවිතයක් නෑ. මොකක්හරි සතුටක් කියල දෙයක් තියෙනවනං දරුවෙකුගෙ දෙයක්, නැත්තං හවහට බැලෙන ටෙලිනාට්‍යයක්. ඒ ඇරුනාම පුද්ගලික දේකට කරන්නෙ මාසෙකට කීප විඩක් මිනිහත් එක්ක හැමනෙන එක තමා. ඒකත් ආයෙ හිටීද කියලා සැකෙං. බයෙං. අපේ මිනිස්සුන්ටත් කටේ තොලේ ගාගෙන මෝලංගිරිය නැග්ගාම  මොන උපත්පාලනද? බැරිම තැන ඔය ක්ලිනික් එකට ගියේ. මට දැන් ඕවා ඇතත් නැතත් එච්චර ගානක් නෑ. ඒත් අපේ මිනිස්සුන්ට ඕනෙ. ඒකත් අසාදාරණ නෑ. දවසකට පැය දහයක් දොලහක් නැහෙන මිනිස්සු. වෙන ජීවිතයක්, සතුටක් නෑ. ඕක ගෙදර නැත්තං පිට යයි. අන්තිමේ අපිමයි විඳවන්නෙ.
තමුන්නාන්සෙලා ඒකටත් කෙලියා.

ඔක්කොම හයිකාරකං ගෑනු පිටිං තමා. ගෙදරදි කැමති උනත් අකමැති උනත් බේබදු මිනිහෙක් ඇඟට නගිනවා. දරු පවුල කඩා ඉහිරුවාගන්ඩ බැරිකමට ඒකට මොනවහරි කරගන්ඩ ගිහාම කහ සිවුරු ඇඳගත්තු මිනිස්සු ඇඟට ගොඩවෙනවා.

මං දවසක් අහගෙන තමුන්නාන්සේ මොකද්ද බණක වදාරනවා ඉස්සර සිංහල පවුල්වල ලමයි දහය දොලහ හැදුවා කියල. තමුන්නාන්සෙගෙ පවුලෙත් එහෙම වෙන්ඩැති. අපේ පවුලෙත් එහෙමයි. අපේ අම්මලා වදන එකම තමා කොලේ. අඩුම ගානෙ වදන උන්ට මොකද වෙන්නෙ කියලවත් උන්දැලට බලන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. එහෙම දැනුමක් තිබ්බෙත් නෑ. උන්දැලා අපා දුකක් විඳින්න ඇති. ඊළග පාර තමුන්නැහෙගෙ බණට මේ ටිකත් කියන්ඩ හාමුදුරුවනේ.....

ඒකාලෙ ලමයි මහ ගොඩක් වදනවා (නෙමෙයි වැදෙනවා)...... එකෙක් දෙන්නෙක් අකාලෙ මැරෙනවා.ඊට පස්සෙ ඉතුරු උං වැඩිදෙනෙක් අයාලෙ හැදෙනවා. කෑවෙ ගඩාගෙඩි. ඉස්කෝලෙ වැඩිම උනොත් තුනේ පන්තිය. පවුලකින් යන්තමට එකෙක් ගොඩයන්ඩැති. අනික් උං කුලී වැඩ, ගොයිතැං. හැබැයි සිංහල බවුද්ද. සරීර ස්වභාවෙ හින්ද ජාතකේ සිංහල. බවුද්ද කියන්නෙ උං කහ රෙද්දක් දැක්ක ගමං හතර ගාතෙ දාල වැඳ වැටෙන හින්දයි, පන්සලට වරද්දන්නැතුව දානෙ පූජ කරන හින්දයි. හාමුදුරුවරු දෙසන කතන්දරටික ඇරුනාම උං දන්න බුද්දාගමක් තිබ්බෙ නෑ. උං  බුදුහාමුදුරුවො අදහන ක්‍රමේටම තමයි බණ්ඩාරනායකව, ‍ජේ.ආර්ව ඇදහුවෙත්. කෙලවිලා තියෙන තරම පේනවනේ?

හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ. 

සිංහල ජාතියට මොනව වේගෙන එනවද මං දන්නෑ හාමුදුරුවනේ. කෝකටත් තමුන්නැහෙගේ බණේ හැටියට  ජාතිය රැකගන්ඩ හින්දා අද ඉඳං මාත් පලල් කොරං ඉන්නං. හැබැයි වදල ගේන්නෙ පන්සලට. මටයි මගෙ දරුවන්ටයි කන්ඩ බොන්ඩ දීපල්ලා. ලෙඩට දුකට බලපල්ලා. නැත්තං මං දානවා නඩු. 

Follow by Email