Thursday, June 28, 2012

දෙකයි.....!!


මේක ලියන්නෙ පොඩි හදිස්සියකට. ඊයෙ පෙරේදා පොඩි විමර්ශනයක් දාල බලද්දි මේ බ්ලොග් එක අවුරුදු දෙකක් විතර ඇදගෙන ඇවිල්ලා. ඇත්තටම මට ඒක අමතක වුනා. ඇනිවසරි පෝස්ට් දාන්ඩ හිතේ නොතිබ්බත් දුකාගෙ තුන්වෙනි ඇනිවසරේ කියවද්දි මටත් පොඩිවට එකක් දාන්ඩ හිතුනා. එකම එක කාරණේකට.

කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙ බ්ලොග් විතරක් ස්ථිර වෙන්ඩ විදිහක් නැනෙ. ඉතින් කොයිවෙලේක හරි මේක අල්ලල දාන්ඩ වෙයි. එතකොට මට කරන්ඩ තියෙන අත්‍යවශ්‍ය ස්තුති ටිකක් කරගන්ඩ බැරිවෙනවා.  ඕක තමයි හේතුව. ආයෙ කොච්චරකල් බ්ලොගේ කලත් ‘වන් ඇන්ඩ් ඔන්ලි’ ඇනිවසරි පෝස්ට් එක මේක.

බ්ලොග් ගැන දැනගත්තෙ ලොකු අහම්බයකින්. වෙන ලියකියවිලි වගයක් ගෙනා සීඩී එකක වැරදීමකින් රයිට් වෙලා තිබ්බ ටැබූගෙ ලිපියක් මගින්. ඒ වකවානුවේ විකල්ප අදහස් අහේනියකින් හිටපු මට මේක මහා අරුමයක් වුනා. වාරණයකින් තොරව අදහස් බෙදාගන්න පුලුවන් තැනක්............

මගේ ආර්ථිකයට කොහෙත්ම නොගැලපෙන අන්තර්ජාල සබඳතාවක් ගන්න තීරණය කලේ බ්ලොග් කියවන්නමයි. ඒ පටන් ගත්තු ගමන තමා මේ..........


මම හිතන්නෙ මේක තමයි අනාගත සන්නිවේදන මාධ්‍යය. ඒ මොකක් උනත් අධිපතිවාදී ජනමාධ්‍ය (බුදු අම්මෝ මාධ්‍යවේදියො) හතර මායිමකට වැද්ද නොගන්න, ලොකු සම්බන්ධකම් නැති, ව්‍යාකරණ හරියකට නොදන්න අපි වගේ අවශේෂ මිනිස්සුන්ට හිතේ තියෙන දෙයක්, කැමති විදිහකට කියන්න ඉඩකඩ ලැබුණෙ මේකෙන්. බ්ලොග් නොතිබ්බනං අද මමත් නෑ. මාරයත් නෑ. කතන්දරත් නෑ. දුකාත් නෑ. සඳරූත් නෑ. අවුට්සයිඩරයත් නෑ. අමිලයත් නෑ. නලිනිත් නෑ. සොසියත් නෑ........... ඔය කී නොකී එකෙක්වත් නෑ. අපි ඔක්කොටම ගෙවල් වලට වෙලා පල් පජාති පත්තර ආටිකල් කියවලා, මෙගා ටෙලියක් දෙකක් බලාගෙන දත්මිටි කකා ඉන්න තිබ්බා.

මම ලියන ඒවා කියවන්න කැමතියි කියල ගොඩක් දෙනෙක් කියල තියෙනවා.  ඒ උනාට ඇත්ත කතාව තමයි මම ලියපු එකක් මගෙ ගමේ සාමාන්‍ය මනුස්සයෙකුට කියවන්න දුන්නොත් වැඩිම උනොත් “ආහ්... උඹ ඒකත් ලිව්වද” කියල අහයි. ඇත්තටම කියනවනං මම ලියන ගොඩක් දේවල් මගේ පරිසරයේ සාමාන්‍ය සංසිද්ධි. මෙතෙක් උනේ මේවා සන්නිවේදනය නොවුනු එක. අන්තර්ජාලය වගේ මෙවලමක් මේ පරිසරයට ‘ඇතුලට’ නොපැමිණුන එක.  ඒ ගැන හිතද්දි මට සතුටක් දැනෙනවා. ඒසතුටට මාරයත් අවුට්සයිඩරයත් සඳරූත් තවත් පිරිසකුත් සාක්ෂි ඇති.

පලමු ස්තුතිය කතන්දරට. මගේ පෝස්ට් තුනහතරක් කියවලා, ඒක අගය කරලා කතන්දර මේල් එකක් එවලා තිබුණා. මම කීයටවත් බලාපොරොත්තු නොවුන එකක්. මම එයාට ඇරිය උත්තරෙත් එච්චරම පොසිටිව් එකක් නෙමේ. ‘අගය කිරීමට ස්තුතියි. නැතිනම් මේකත් ඔහේ කම්මැලිකමට යටවෙලා යන්න තිබුණා’ වගේ එකක්. පස්සෙ කතන්දර මගේ බ්ලොග් එක ගැනම පෝස්ට් එකක් දාල තිබුණා. ඒ වෙනකොට තිබ්බ ජනප්‍රියම බ්ලොග් එකක ෆුල් පේජ් ඇඩ් එකක්. ඒ වාසනාව ලබපු එකම බ්ලොග් කරුවා මමද මන්දා. (ආ.. නලිනි චන්දිමාත්)

ඊළඟට ටැබූ/බියෝන්ඩ් ෆ්‍රේම්/ලංකා නිව්ස් වෙබ්  වගේ අය දුන්නු සහයෝගයටත් ස්තුතියි. ලාංකීය, සිංහල, කොත්තු ඇතුළු සින්ඩි ටික‍ටත් ස්තුතියි.

ඊළඟට මෙතෙක් කල් මේක ලියන්න හිතුනෙ කියවන්න පිරිසක් ඉන්නවා කියන එක දැනුනු නිසා. කියවපු හැමෝටමත් ස්තුතියි. කමෙන්ට් කල හැමෝටමත් ස්තුතියි. තමුන්ගෙ බ්ලොග් රෝල් වල ඉඩක් දීල, ෆේස්බුකියෙ ෂෙයාර් කරල උදව් කල හැමෝටමත් ස්තුතියි.

ලියන්න තිබුණ ධෛර්යය බිංදුවට වැටුන දවස්වල කතාකරල දිරිගන්වපු හැමෝටම ස්තුතියි. දැනට මාත් එක්ක තරහාවෙලා ඉන්න ගස්ගෙම්බ, තොටත් ස්තුතියි. ජාල සබඳතා ඩිස්කනෙක්ට් කරපු  කීප වතාවකම බිල ගෙවල දාපු සත්ගුණවත් මහා ව්‍යාපාරික J සුජියාටත් ස්තුතියි.

තව එකක්. අවුරුදු දෙකක මේ පිස්සුව ඇතුලේ ලියපු කියපු දේකින් හෝ වෙන විදිහකින් මා නිසා සිත් රිදුන කවුරුහරි ඉන්නවනං සමාවෙන්න.


ලියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මොනව උනත් යමක් ලිව්වාම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.

ජීවත්වීම එන්න එන්නම අසීරුයි. එදිනෙදා ආහාර/දරුවන්ගේ අධ්‍යාපනය/සෞඛ්‍යය වගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දේවල් අතහරින්න වෙලා තියෙන වකවානුවක්. මම දන්න අති බහුතරයකට එහෙමයි. මේ වනවිට අත්‍යාවශ්‍ය නොවන දෙයකට මම ගෙනියන්නෙ මේ බ්ලොග් එක විතරයි මම හිතන්නෙ. මේක ජීවිතයක් නෙමෙයි තමා. නමුත් දරුවන්ගේ අනාගතය ගැන බියක් සහ ඔවුනගේ අවශ්‍යතා සිතූ පරිදි ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳ දුකක් මිස, අල්පේශාඛ්‍ය ජීවිතය ගැන පෞද්ගලිකව ලොකු පසුතැවීමක් නෑ.

බොහෝ දෙනෙක් අකමැති, මෙහි ලියවෙන දේශපාලන පෝස්ට් වල මූලය ඒක වෙන්න ඇති. ඒවා ලිව්වා කියලත් රටේ මොකුත් වෙනසක් වෙන්නෙ නැති බව මම දන්නවා. නමුත් හිතට එන ආවේගය පිරිසක් එක්ක බෙදාගත්තාම පොඩි සැහැල්ලුවක් දැනෙනවා. මේ බ්ලොගයේ මෙතෙක් ලියැවී ඇති සියළු ලිපි ඒ මොහොතේ ලිවිය යුතුම යැයි තදින්ම සිතුනු ඒවා. ඇතැම්විට මාස ගණන් නොලියා උන්නත් මකුළු දැල් කැඩීමේ අරමුණින් හෝ බලෙන් ලියා දැමූ එකදු ලිපියක්  මෙහි නැහැ.

ඉතින් ඔහොම තමා. මොනව උනත් එදිනෙදා මගතොට හමුවෙන මුහුණෙන් පමණක් කතා කරන බොහෝ මිනිසුන්ට වඩා, මුහුණු නැති - ඇතුලතින් අදහස් බෙදාගන්න මිනිසුන් හමුවන මෙතැනට මම ආදරෙයි.

ඇනිවසරි ඉවරයි.

Sunday, June 24, 2012

සිංහල-බෞද්ධයින්ට එරෙහි ලොකුම කුමන්ත්‍රණය


මා දෙමළ මිනිසුන්ට වැඩිපුර අනුකම්පාවක් දක්වන බවද, හිටිගමන් එල්.ටී.ටී.ඊ යට කඩේ යන බවද කලක් තිස්සේ විවිධ පාර්ශ්ව වෙතින් නැගෙන ‍චෝදනාවකි. ඇත්තෙන්ම මෙම මාසයේදී සති කීපයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිවීමට නොහැකිවූයේද ඒ පිළිබඳව මා බැරෑරුම් ලෙස කල්පනාකරමින් සිටි නිසාය.

එම චෝදනාවල යම් සත්‍යයක් පවතින බව අද මා නිහතමානීව පිළිගනිමි. ලංකාවේ වඩාත්ම මධ්‍යස්ථ පුද්ගලයා වශයෙන් එය මා අතින් සිදු නොවිය යුතු වරදකි.

මා අතින් සිංහල බෞද්ධයන්ට මෙතෙක් සිදුවූ අසාධාරණයට හිලව් වන්නට ඔවුන් වෙනුවෙනුත් යමක් ලිවීම මෙම සටහනේ අරමුණයි. ඒ සඳහා සිංහල බෞද්ධයෙක් නොවන මා හට මහත් ආයාසයකින් ‘සිංහල බෞද්ධ කෝණයකින්’ බැලීමට සිදුවූ අතර, එහිදී දුටු ඇඟ කිළිපොලායන ආකාරයේ දරුණු සිංහල-බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ කිහිපයක් පහත දක්වා ඇත.

1 සිංහල-බෞද්ධ ජීවිත තර්ජන -

සිංහල බෞද්ධයන්ට ඇතිවෙමින් පවතින ජීවිත තර්ජන දිනෙන් දින ඉහල යමින් පවතී. ආසන්නතම සිද්ධිය ලෙස කටුවනදී පසුගියදා සිදුවූ ම්ලේච්ඡ ඝාතන දැක්විය හැකිය. එහිදී යම් දේශපාලන රැස්වීමකට සහභාගි වෙමින් සිටි සිංහල බෞද්ධ පිරිසකට යම් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද නින්දිත වෙඩි ප්‍රහාරයක් නිසා සිංහල බෞද්ධයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමි විය. මෙලෙස පසුගිය කාලය තුල විවිධ වෙඩිතැබීම් සහ පැහැරගෙන යාම් මගින් සිංහල බෞද්ධයන් සැලකිය යුතු පිරිසක් ඝාතනය විය. මෙලෙස සිංහල බෞද්ධයින් ඝාතනය කරන විවිධ කල්ලි කණ්ඩායම් වලට රජයේ රැකවරණ ලැබෙන බවට විවිධ චෝදනා ඇති බැවින් සිංහල බෞද්ධයින් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතු නොවේද?

2 සිංහල බෞද්ධයින්ගේ ජීවන තත්වය පිරිහීමට ලක්කිරීම

මෙය කිසිවෙකුටත් නොදැනෙන පරිදි යම් පිරිසක් විසින් ඉතා සූක්ෂමව සිදු කරන කුමන්ත්‍රණයකි. අද වන විට අප සිංහල බෞද්ධයන් විසින් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවාන්හි මිල, සිංහල-බෞද්ධ බහුතරයකට දැරිය නොහැකි මට්ටමකින් ඉහල දමා ඇත. මෙය පසුගිය දශකය තුලදී කැපී පෙනෙන ලෙස සිදුවී ඇති බව පහත වගුවෙන් පැහැදිලි වේ.

මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතී. වෙනදා පැය අටක් වැඩකල අප සිංහල-බෞද්ධයනට මේ වන විට එදිනෙදා වේල ගැටගසා ගැනීම සඳහා පමණක් දිනකට පැය දාහතරක පමණ කාලයක් වැඩෙහි යෙදීමට සිදුව ඇත. බලන්න කෙතරම් අපරාධයක්ද? මෙලෙස අධික ලෙස වෙහෙසෙන අප සිංහල බෞද්ධයන්ගේ කායික මානසික සුවතාව ඉතා ඉක්මණින් ක්ෂය වී යන අතර එය අප ජාතියේ පැවැත්මට මරු පහරකි.
 එමෙන්ම ආහාර ද්‍රව්‍ය මිලද කිසිදු පාලනයකින් තොරව ඉහල යාම නිසා සමබල ආහාර වේලක් නොලැබීමෙන් අප සිංහල-බෞද්ධ දරුවන් දිනෙන් දින මන්ද පෝෂණයට ගොදුරු වෙමින් පවතී.

3  සිංහල -බෞද්ධයන්ට එරෙහි වංචාව සහ දූෂණය

අප රට විදේශ වලින් ණයට ගන්නා මුදල් වලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ ජනගහනයෙන් 70% ක් වන සිංහල බෞද්ධ අපට වීම අභිමානයට කරුණකි. එහෙත් එලෙස ලැබෙන මුදල් වැඩි ප්‍රමාණයක් විවිධ කණ්ඩායම් විසින් ගසාකෑම මගින් එම මුදලින් නිසි ප්‍රයෝජන අපට ලැබීම සූක්ෂම ලෙස වලක්වමින් පවතී. 

උදාහරණයක් ලෙස සිංහල-බෞද්ධ අපට වන්දනාවේ යාම සඳහා මාර්ග තැනීමේදී මිලියන 200 ක් වැයවන කිලෝමීටරයකට මිලියන 400 ක් ඇස්තමේන්තු දක්වා එකට එකක් ගසාකෑම මගින් සිදු කරන්නේ සිංහල බෞද්ධයන්ට මෙරටේ හිමිවිය යුතු මාර්ග වලින් හරි අඩක් අපට අහිමි කිරීමයි. එමෙන්ම මෙරට සිංහල බෞද්ධයන්ට වරායවල් දෙකක් සාදාගැනීමට හැකි මුදලකින් එක් වරායක් තැනීම? සිංහල බෞද්ධ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කල යුතු විශාල මුදලක් කසිකබල් ඉන්දීය නිළියන්, කාර්රේස්, කානිවල් වැනි විජාතික විගඩම් සඳහා විනාශකිරීම..... 
මේවා පැහැදිලිවම සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ වේ.

4  සිංහල බෞද්ධයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කෙළෙසීම

මෙය සිංහල බෞද්ධයන් අද දවසේ මුහුණ දෙන විශාල ඛේදවාචකයකි. අප මෙරටේ උරුමය හිමි ප්‍රධාන ජන කොටස වශයෙන් රටෙහි සිදුවන සියළු දේ එහි යථා ස්වරූපයෙන් දැන ගැනීමේ පරම අයිතිය අපට තිබිය යුතුය. 

එහෙත් සියුම්ව නිරීක්ෂණය කිරීමේදී රටේ සියළුම ජනමාධ්‍යයන් යම් කුමන්ත්‍රණකාරී බලවේගයකට නතුව සත්‍යය වෙනුවට අසත්‍යයම අප වෙත පතුරවමින් සිටින බව පෙනේ. උදාහරණයක් ලෙස කලින් සඳහන් කල කටුවන සිංහල බෞද්ධයන් දෙදෙනා ඝාතනයේදී ‘රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය’ නම් කුමන්ත්‍රණකාරී රජයේ ආයතනය විසින් එම සාහසික ඝාතකයා ආරක්ෂා කරමින් සිංහල බෞද්ධ අප නොමග යැවීමට කටයුතු කලේය. එමෙන්ම රටේ සිදුවන සිංහල බෞද්ධ විරෝධී මහා පරිමාණ සොරකම්/දූෂණ/වංචා යනාදී කිසිවක් මේ මාධයන්ගෙන් හෙළිදරව් නොකරයි. 

මේ නිසාම අප පින්වත් සිංහල බෞද්ධයන් නිවැරදි තොරතුරු දැනගානීම සඳහා පාපකාරී ගොසිප් අඩවි වෙත නැඹුරු වීමෙන් මහත් පවක් සිදුකරගන්නා අතර එය අපගේ මීළඟ භවය දුකට පත්කීරීමේ කුමන්ත්‍රණයක් ලෙසද සැලකිය හැකිය.

5 සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිරූපය කෙළෙසීම

මෙය නම් අප විසින් වහ වහා පිළියම් යෙදිය යුතු කුමන්ත්‍රණයකි. මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් සූක්ෂමව සිදු කරන්නේ අවිහිංසාව අගයන සිංහල බෞද්ධ අපද තලේබානුන් මෙන් ම්ලේච්ඡ විලිසංගයක් නැති උන්මත්තකයින් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි. මෙම කුමන්ත්‍රණයේ කොටස් ලෙස ප්‍රකෝපකාරීව විවිධ ආගමික සිද්ධස්ථාන මාධ්‍ය ඉදිරියේ කඩා බිඳ දැමීම, සිවුරු උස්සාගෙන සටන් පාඨ කියමින් පෙළපාලි යෑම, විවිධ චීවරධාරීන් ලවා අහිංසක ගෑනුන්ට පාට් දැම්මවීම වැනි දේවල් අපි පසුගිය කාලයේ දුටිමු. අප සිංහල බෞද්ධ අනන්‍යතාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කිරීම මෙම කුමන්ත්‍රණයේ මූලික අරමුණයි.

6  තවත් මෙවන් කුමන්ත්‍රණ රාශියකි.

ඒවා අධ්‍යාපන/ප්‍රවාහන/විදුලි සංදේශ/නීතිය හා සාමය/කුඩා කර්මාන්ත/සත්වෝද්‍යාන/ආර්ථික සංවර්ධන/ළමා හා කාන්තා/පාරිභෝගික කටයුතු ආදී බොහෝ ක්ෂේත්‍රවල සිදුවන බව මගේ නිරීක්ෂණයයි. එහෙත් ඒ සියල්ල හෙළිදරව් කිරීමට මෙය අවස්ථාව නොවේ. ඩෙංගු වසංගතයද දැනට පවතින භයානකම කුමන්ත්‍රණයකි. මෙම වසංගතය මෙතෙක් වැඩිපුරම වැළදී ඇත්තේ සිංහල බෞද්ධයින්ට බව සංඛ්‍යාලේඛන මනාව පෙන්වයි. බීටීඅයි බැක්ටීරියාව පවා සඟවමින් මේ කුමන්ත්‍රණකරුවන් උත්සාහ දරන්නේ ඩෙංගු මදුරුවා ලවා හෝ අප සිංහල බෞද්ධයන් වලපල්ලට යැවීමටයි.

අවසන් වශයෙන් කිවයුත්තේ සිංහල-බෞද්ධයෙකු නොවන මා, මහත් ආයාසයකින් සිංහල බෞද්ධ කෝණයකින් බැලීමේදී දුටු මෙම කුමන්ත්‍රණ කිසිවක් ‘සැබෑ-සිංහල-බෞද්ධයන්’ යයි කියාගන්නා අයවළුන් මෙතෙක් නොදැකීමයි. තම ජාතිය වලපල්ලට යමින් සිටියදීත්, එයට සම්බන්ධ සියළු කුමන්ත්‍රණකාරීන් දිවි හිමියෙන් ආරක්ෂා කරන මෙම ඊනියා-සිංහල-බෞද්ධයින්,  දෙමළුන් හා මුස්ලිමුන්ට ඔරවමින් බලා  සිටිති. මෙම ඊනියා-සිංහල-බෞද්ධයින් කරන කුමන්ත්‍රණය මේවායින් විශාලතම කුමන්ත්‍රණය නොවන්නේද?

Monday, June 4, 2012

මුවෝ මරණ එක ඇත්තටම පව් ද?


දේවානම්පියතිස්ස මුව දඩයමේ ගිය කාලෙ මුවෝ මරණ එක පව් නෑ. ඒ කාලෙ සිංහලයො හිටියෙත් නෑ. දෙමලු හිටියෙත් නෑ. (බැරිවෙලාවත් හිටියනං දෙමලු මරන එකත් පව් නෑ.)

මිහිඳු හාමුදුරුවො ඇවිත් තියෙන්නෙ පොසොන් පෝය දවසක. එදා පොසොන් පෝය කියල මිහිඳු මහ රහතන් වහන්සෙ දැනගෙන උන්නෙ නෑ. මුවා දැනගෙන උන්නෙත් නෑ. ඒකනෙ දිව්වෙ. තිස්ස දැනගෙන උන්නෙත් නෑ. දැනගෙන උන්නනං කීයටවත් ඔය දවසෙ මුව දඩයමේ යන්නෙ නෑතුව රජ වාසලේ හොඳ කී‍රොටි දන්සැලක් දෙන්න තිබ්බා. ඒ කාලෙ කීරොටී තිබිලත් නෑ මං හිතන්නෙ.

තිස්සට මුවා මරාගන්ඩ බැරිවුනේ මිහිඳු හාමුදුරුවො හින්දා. මුවෙක් වගේද අල්ලපු රටේ අධිරාජ්‍යයගෙ පුතා? එදා ඉඳං තමයි මේ රටේ මුව අයිතිවාසිකම් ඇතිවුනේ. බුද්ධාගම දැන කියාගෙන මිනිස්සු වැඩිදෙනෙක් මුවෝ මරන එක නැවැත්තුවට මුවෝ ඒ වගක් දැනගෙන උන්නෙ නෑ. අද දන්නෙත් නෑ. ඒ හින්දයි කැලේ ඉන්න මුවෝ වැඩිහරියක් මිනිස්සු එනකොට දුවන්නෙ.

ඒ කාලෙ බුදුපිළිම තිබුණේ නෑ. ඒක නිසා ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ කියලා ශිලා ලේඛනයක්වත් ලියවෙන්න පුලුවන් කමක් නෑ. ඒකෙන් තේරුම්ගන්න ඕනෙ ‘ගුණදාස අමරසේකර’ වගේ හාදයෙක් ඔයකාලෙ ඉන්න කොහොමවත්ම විදිහක් නැති බව. කොටින්ම නාථ දෙවියො හිටිය උනත් ‘නලින් ද සිල්වා’ කියන්නෙ උන්නාන්සෙගෙ හිතේ හීනියට තිබ්බ සංකල්පයක් විතරයි. ඉතිං ඔය දෙන්න නැතුව කොහෙද ජාතික චින්තනයක්?

ඒ විතරක්යැ....

දේවානම්පියතිස්ස සිංහලයෙක් නෙමෙයි. මොකද සිංහල ජාතිය කියල එකක් ඒ කාලෙ නොතිබිච්චි හින්දා. ඒ මදිවට ඔය දවස වෙනකං එයා බෞද්ධයෙකුත් නෙමෙයි. (බෞද්ධ රජෙක්නං ඔය වගේ ආතල් එකට මුවෝ මරයිද නේද? කෝටි දහ පහලොවක් දාල ප්‍රීති සින්ටව ගෙන්නල  ෆන් එකක් ගන්නව මිසක්)

ඉතිං රටේ රජා සිංහල බෞද්ධ නොවිච්චි එකේ රට සිංහල බෞද්ධ වෙන්ඩ පිස්සුවක් ඇතැයි? ඔන්න ඔය හින්දම තමයි ඒ කාලෙ ජාතික හෙල උරුමය, සිහල උරුමය, චින්තන පර්ශදය, සිංහල වීර විදහන, සිංහල රාවය වගේ අටෝ රාසියක් දේශප්‍රේමී  සංවිධාන නොතිබ්බෙ. ඒකත් හොඳට ගියා. නැත්තං කිසිදාක මිහිඳු හාමුදුරුවන්ට මේ රටේ පස් (කළුගල්) පාගන්නවත් ලැබෙන්නෙ නෑ.

(ඒකාලෙ ජේ.වී.පී නං තිබ්බ කියල මං අහල තියෙනව. අර අඹ ප්‍රශ්නෙ අහං ඉඳල තමයි විමල් වීරවංශ ඒක කඩාගෙන ගිහින් ජා.නි.පෙ. හදල තියෙන්නෙ)

Follow by Email