Tuesday, May 29, 2012

ගම්මන්පිල නම් පණුවා ගැන


මර්වින් සිල්වා කලකට පසු පලක් ඇති කතාවක් කියා තිබේ. ඒ උදය ගම්මන්පිල බිබිලක් ඇතුලේ ඉන්න පණුවෙක් බවයි. දැන් කට්ටිය රෙදි කරට අරගෙන මර්වින්ට බණිමින් සිටිති. බණින අය නොදන්නේ මර්වින් කී කතාව ඇත්තක් බව අප හිතවත් ගම්මන්පිලද දන්නා බවයි.

ආණ්ඩු හිතවාදීන්ගේ සිට ආණ්ඩු විරෝධීන් දක්වා විශ්වාස කිරීමට ආසා දෙයක් ඇත. ඒ රාජපක්ෂ ආණ්ඩුව යනුවෙන් වෙනම එකක් ඇති අතර මර්වින් සිල්වා නමින් වෙනම තක්කඩියෙක්ද සිටින බවයි. මෙහෙම හිතෙන එක දෙගොල්ලන්ටම සනීපය.  ආන්ඩු හිතවාදීන්ට නම් මර්වින් වෙනම තක්කඩියෙක් නිසා ආන්ඩුව එහෙම නෑ වගේ එකක් දැනෙනු ඇත. ආන්ඩු විරෝධීන්ට නම් කිසිදා හැප්පෙන්නට හිතන්නවත් බැරි මර්වින් වෙනම ගත්තාම ආන්ඩුවත් එක්ක හැප්පෙන්න පුලුවන් වගේ එකක් දැනෙනු ඇත. ඉතින් කාට කාටත් නිවාඩු පාඩුවේ තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යා හැකිය.

ඒත් ඇත්තම කතාව නම් මර්වින් යනු ආණ්ඩුවම බවයි. (ඇඟ හිරිවැටුන නේද?) ඒ බව ඊනියා ප්‍රඥාවන්තයෙක් නොවන ගම්මන්පිල දනී. මොන දහදුරා වැඩේ කලත් මර්වින් දේශපාලනයෙන් එලවන්නට ඔය බණින කාටවත් බැරිය. මර්වින් ලබන චන්දෙ (අනුරාධපුරයෙන් ඉල්ලා :P) උඩින්ම දිනයි. ජිල්මාට් වලින් නොවේ. පිරිසිදු මහජන චන්දයෙනි. ආන්ඩුවත් එහෙමය. දුකය. ඇත්තය.

දැනටම ආණ්ඩුවේ එල්ලී රටම කන සහ අනාගතයේදී රට බාරගෙන කන්නට බලා සිටින  ඉහඳ පණුවන් අතර ගම්මන්පිල යනු අහිංසක පණුවෙකි. ලාබ ප්‍රයෝජන වෙනුවට තමන් දරණ දේශපාලන මතවාදය වෙනුවෙන් අවංකව වැඩ කරන්නෙකි.

ගම්මන්පිල අපේ හිතවතාට වී ඇති වින්නැහිය දන්නේ උන්නැහේ පමණි. හැමෝම හිතා ඉන්නේ හෙළ උරුමය ආණ්ඩුවට සෙට්වී මාර සැප සම්පත් වළඳමින් පුදුම ආතල් එකක ඉන්නා බවකි. නමුත් එහෙම නොවේ. බෙන්ස් එකක යන එක මාර සැපයක් වන්නේ එම ගමන ගැන සිතමින්ම සැහැල්ලුවෙන් යන්නට ලැබෙනවානම්ය. එක එකාගේ කෙනෙහිලිකම් ගැන හිතමින් මොකේ ගියත් ඇති සැපයක් නැත.

ඇත්තටම අද වන විට ඔහුගේ තත්වය ආණ්ඩුව නමැති පැසවූ බිබිල ඇතුළේ ඉන්නා පණුවෙකුට වෙනස් නොවේ. ඔහුගේ වලංගුතාව පවතින්නේ බිබිල තුල සිටිනතාක් පමණි. (ඒක ඉගෙනගත්තේ ජ.වි.පෙ නි). ඔහු අදහන සිංහල (බෞද්ධ) ජාතිකත්වය නාමිකව හෝ ‘මර්වින් සිල්වා ආණ්ඩුව’ තුල තබාගත හැක්කේ එය තුල පණුවෙකුව සිට හෝ කරදරකාරීව හැසිරීමෙන් පමණි.

අනෙක් අතට ඉදිරියේදී එන්නේ ආණ්ඩුව ඉන්දියාවට සහ ඇමෙරිකාවට දෙමල ජනතාව සම්බන්ධයෙන් මෙතෙක් වූ පොරොන්දු ඉෂ්ඨ කිරීමට සිදුවන කාලයයි. ගම්මන්පිලට ඇත්තේ තේරීම දෙකකි. එකක් නම් දැන්ම තියා මේ බිබිලෙන් පිටව, පක්ෂය දෙක තුනට කැඩී, පාරෙදී කෑ ගසා, පොලිසියෙන් ගුටිකා,  දත්මිටි කමින් බලා සිටින්නටයි. අනික නම් මොන දහදුරා කෙනෙහිලිකම් විඳිමින් හෝ මේකේම වැටී හිඳ අවශ්‍ය මොහොතේ පොඩ්ඩක් කොනිත්තන්නට ඉඩකඩ තබා ගැනීමයි.

මර්වින් සිල්වා කී කතාව ඇත්තක්ම බව ඔබට ගම්මන්පිලගෙන්ම අසා දැන ගැනීමට හැකිවනු ඇත. එහෙත් ඒ සඳහා ඔබට තවත් අවුරුදු 15ක් පමණ බලා සිටීමට සිදුවේ. මීළඟ චන්දයේදීද ආණ්ඩුවට කඩේ යාමට සිදුවීමෙන් ඇතිවන දරුණු චිත්ත පීඩාව හේතුවෙන් 2027 දී පමණ ගම්මන්පිල දරුණු බේබද්දෙකු වීමට ඉඩ ඇති අතර අරක්කු බාගයක් අරන් දී ඔබට ඕනෑම දෙයක් ඔහුගෙන් අසා දැන ගැනීමට හැකිවනු ඇත.

Thursday, May 24, 2012

‘සපුමලී’ ටෙලියේ ‘හරී...ඊ... විහිළුකාර’ සේන කොල්ලාට.....

"සපුමලී" හි සේන - වසන්ත මුහන්දිරම්
(pic. from Gossip Lanka Photo Gallery)
මචං වසන්ත,

උඹට මාව අඳුනගන්න බැරිවෙන්න පුළුවන්. ඒත් උඹ මාව ටිකක් දන්නවා. මම උඹව හොඳටම දන්නවා. මම අවුරුදු දහයකටත් වඩා කාලෙක ඉඳන් උඹ දිහා උනන්දුවෙන් බලන් ඉන්නවා. ඒ උඹ තරමක් වෙනස් මිනිහෙක් හින්දා. රංගන හැකියාව කියන වාසනා ගුණය උපතින්ම ගෙනා දුර්ලභ මිනිහෙක් හින්දා.

කෙටියෙන් කියන්නම්. මෙතෙක් මම දැකල තියෙන අළුත් පරපුරේ දක්ෂතම රංගන ශිල්පීන් හත් අට දෙනාගෙන් කෙනෙක් උඹ. ස්ථිරවම. (උන්ගෙනුත් ‘ජනප්‍රිය’ නැතිම එකා J ) මේව කියෝල මුරුංග ගහේ නගින්නෙ නැති තරමට උඹ පරිණත ඇති.
උඹ ගැන ලියන්න හිතුනෙ මේ ළඟදි හිතවතෙකුගේ නිවසකදි උඹව දැක්ක නිසා. ටෙලිනාට්‍යයක. (මම ඔය මල සමයං බැලිල්ල නවත්තල අවුරුදු දෙකතුනක් බං).
ඇඩ් පෝලිමකට පස්සෙ මෙන්න එකපාරට උඹ. මට පොල්ලෙන් ගැහුව වගේ. උඹම තමා. ඒ ටෙලියෙ නම ‘සපුමලී’ ලු. උඹේ නම ‘සේන’ ලු. හරී විහිලුයිලු.

ඇඬුන බං.

උඹ ජෝක් කරනව නෙමේ. උඹව ජෝක් එකක් කරල. රැවුල ගිනිකූරු කට් කපල. ඉරිච්චි පප්ප බැනියමක් අන්දල. එක අතකට මේකප් කරපු එකාට මොකුත් කියල වැඩක් නෑ. ඌ දෙන්නෙ ඩිරෙක්ටර් (බුදු අම්මෝ) ඉල්ලන එකා (උගෙ රස්සාව). ඩිරෙක්ටර්ට මොකුත් කියල වැඩකුත් නෑනෙ. ඌ දන්නව ප්‍රේක්ෂක වාහෙල ඉල්ලන්නෙ මොකාද කියල (උගෙත් රස්සාව). ඔය කුජීත බිස්නස් එක ඇතුලෙ උඹ නිකං කරපිංච කෑල්ලක් විතරයි (උඹේ රස්සාව? කියන විදිහට ඉඳල, දෙන සොච්චමක් අරං ගෙදර එන එක). වෙන මොනව කරන්නද බං.

උඹ ආවෙ වේදිකාවෙන්. මම දන්න විදිහට තරුණ සේවා සභාවෙ තුරුණු ශක්ති වැඩසටහනෙන්. උඹේ මාධ්‍යය වේදිකා නාට්‍ය. උඹ රස්සාවකට නොගියෙ රඟපෑමට ආදරේ හින්දා. මම දන්න තරමින් උඹට තිබ්බෙ ජනප්‍රිය වෙන්ඩ උණක් නෙමේ. මුළු ඇ‍‍ෙඟෙන්ම රඟපාන්න පුළුවන් චරිත බඩගින්නක්. මම හිතන්නෑ උඹට ප්‍රමාණවත් ආහාරයක් මෙතෙක් ලැබුණ කියල.

උඹ කෙටිනාට්‍ය ගොඩක, නාට්‍ය ගොඩක රඟපාල ඇති. ඒකෙ උපරිමය මම දැක්කෙ 2002 දි විතර වෙන්න ඕනෙ. ජෝන් ද සිල්වා එකේදි. යෞවන සම්මාන ෆයිනල්. නාට්‍යය “බල්ලො දෙන්නෙක්”.

විනාඩි විසි අටක් උඹ වේදිකාවෙ සොඳුරු යුද්දයක් කලා. මිනිස් සිරුරකින් මැවිය හැකි හැම වර්ණයක්ම ඒකෙ තිබුණා. නාට්‍යය ඉවරවුනාම තමයි තේරුණේ උඹ විතරයි ඒකෙ රඟපෑවෙ කියලා. චරිත එකයි. තව මන:කල්පිත බල්ලෙකුයි J. ජෙනරල් ලයිට් විතරයි. මේකප් නෑ. ඇඳුම් නිකම්ම කමිසෙකුයි කලිසමකුයි. මියුසික් නෑ. ඒ සේරම උඹ. උඹ ඒ නාට්‍යයෙන් හොඳම නළුවා උනා.

මම හිතුව දැන් හරි කියල. මට අමතක වුනා මේ ලංකාව කියලා. උඹත් ඒක අමතක කලා. උඹේ උද්දච්චකම වෙන්නැති හරහට හිටියෙ. උඹ හිතන්ඩ ඇති එක එකා ගාවට බඩගාන්නෙ නැතුව තැනකට එන්ඩ උඹේ හැකියාව ප්‍රමාණවත් කියලා.

ඊට පස්සෙ ආරංචිවුනා උඹ ෆෝරම් තියටර් කියල එකක වීදිනාට්‍ය කරනව කියල. මම සතුටුවුනා. ‘රස්සාවකට’ ජීවිතේ බිලි නොවී අවස්ථාවක් ලැබෙනකං උඹ පවතී කියල. පැවතුනා නං තමයි.

ඊළඟ අවුරුදු කීපය මම ටිකක් දුරින් උන්නෙ. 2008 දි තමයි උඹ ගැන ඊළඟ ආරංචිය ආවෙ. “අපේ ගෙදර යං” කියල කෙටි නාට්‍යයකින් උඹ ආපහු යෞවන සම්මාන හොඳම නළුවා වෙලා තිබුණා. නාට්‍යය බලන්න එන්න බැරිවුනා. පස්සෙ වීඩියෝ එකක් ලැබිලා බලාගත්තා. (වීඩියෝ එකකින් නාට්‍යයක් බැලුවා - නොදකිං විතරක්).

ඉතිං මචං, ඔය සපුමලීට කලින් අන්තිම වතාවට උඹව දැක්කෙ සියත ටීවී එකේ දවල් ගිය මොකද්ද විගඩමකින්. උඹ ඒකෙ දාන ජෝක් මාරයි බං. හිනා යනකං විනාඩි දහයක් විතර බලං ඉඳලා නැති තැන පස්සෙ වහල දැම්මා. ඊටත් පස්සෙ ඔය ජෝක් එක.

මචං මෙහෙමයි. උඹට දැනට වැටහිලා තියෙන්න ඕනෙ මෙතන මොකක්හරි අවුලක් තියෙනව කියන එක.  මම දන්න තරමින් උඹේ ටාගට් එක වුනේ පුලුවන් තරං ඉක්මනට ටෙලි ගොඩාරියක රඟපාල, නමක් හදාගෙන, බාගෙට හදාගෙන තියෙන ගේ එකලාසයක් කරලා, සුදු කෙල්ලෙක් බැඳගෙන..... එහෙම ගමනක් නෙමේ. වරක් මොකෙක්හරි කිව්වා අර සිරසෙ ගිය කිඳුරංගනා උලව්වෙ රඟපාන්න එකදවසක් ගිහින්, එතන විකාරෙ දරාගන්න බැරුව ඊළඟ දවසෙ ඉඳං උඹ නොගිහින් උන්නා කියල.

මම හිතන්නෙ උඹ කලාව කියන එක විශ්වාස කරනවා. එහෙම එකක අතපය දිගඇරලා රැ‍ෙඳෙන්න කවදහරි ලැබෙයි කියල උඹ හිතනවා. සොරි මචං. කේමදාස මාස්ටර් එක්කම කලාව මළා. දැං එහෙම එකක් නෑ. තවදුරටත් රඟපානව කියල එකක් මේ කොදෙව්වෙ පේන්ඩ නෑ. මනෝරත්න, මහේන්ද්‍ර වගේ අයටත් දශකයකට කලින් කරපු ඒවම කොපි කරල පෙන්නනව හැර වෙන කරන්ඩ දෙයකුත් නෑ.

මම කියන්නෙ උඹ තවත් විඳවන්ඩ ඕනෙ නෑ කියලයි. ඔය ගේ හැමදාම අම්බලම වගේ තියං ඉන්න එකේ තේරුමක් නෑ. පුලුවන්නං ඔය රඟපෑමේ රස්සාව තව ටිකක් වෘත්තීය මට්ටමෙන් කරන්ඩ බලපං. ඔය ඩිරෙක්ටර්ල ප්‍රොඩියුසර්ල එක්ක බොන්ඩ සෙට් වෙන්ඩ බලපං. මොන හාල්කෑල්ලක් උනත් කමක්නෑ. අඳුනගත්තොත් අතාරින්ඩ එපා. සතියකට පාරක්වත් නිකමට කතාකරල අහපං චාන්ස් එකක් නැද්ද කියල. එහෙම හම්බවෙන පොඩි චාන්ස් එකක් උනත් ‘කියන විදිහට’ උපරිමෙන් කරපං. රවන්ඩ කිව්වොත් හොඳටම රවපං. වැටෙන්ඩ කිව්වොත් දනිහ පනින්ඩම වැටියං. එක තැනක ඉඳං තව තැනකට යන්ඩ කිව්වොත් ටිකක් හෙමින් යමං. එතකොට වැඩිපුර තත්පර කීපයක් ස්ක්‍රීන් එකේ ඉන්ඩ පුලුවන්ලු. (ඕක දැනට නියම ට්‍රැක් එකේ යන ආධුනික නළුවෙකුගේ අනගි සොයාගැනීමක්). පිලිවෙලකට කේලමක් දෙකක් කියන්ඩ පුරුදුවෙයං. කරන්ඩ කියන වැඩේ ප්‍රමිතිය උඹට වැඩක් නෑ. රස්සාවල් කරද්දි එහෙම තමයි. මිනිහෙක් ජෝක් වෙන එකට මිලක් තියෙනවා. කියන දේ විතරක් කරපං. ඔය ‘සපුමලී’ එකේ මම බලපු ටිකේනං උඹ ගානට කරගෙන යනවා. අපිට හිනා නොගියට කමක් නෑ. ඕවට හිනාවෙන උං මේකෙ ඕනෙතරං.

ඒ විදිහට අමාරුනං ඔය මගුල නවත්තපං. උඹේ අරමුණකට ජෝක් එකක් උනාට කමක් නෑ. එක එකාගෙ සිල්ලර බිස්නස් වලට උඹවගේ මිනිහෙක් ‍ජෝක් එකක් වෙනව කියන්නෙ මහ අපරාදයක්.

මේක ලිව්වට පස්සෙ උඹට තියෙන පොඩි පොඩි අවස්ථාත් නැතිවෙයිද දන්නෑ. මට කෝකත් එකයි. එහෙම උනොත් අර ගෙදර බාගෙට කැඩිල තියෙන පොල්ලෙලි කපන මැෂිම හදල ගනිං.


දිනාල් අසංකගේ 'අපේ ගෙදර යං' කෙටිනාට්‍යයේ වසන්ත මුහන්දිරම්/චාමල් රණසිංහ
___________________________________________________

ප/ලි - ආපහු කියවද්දි මේක තඩි ඇඩ් එකක්ද කියලත් හිතුනා. ඕනෙ එකක්. කඩේ යන්නෙ උඹටනෙ. ඒක සතුටක්.

Saturday, May 19, 2012

සරා සහ සිරා - තෙවසරක අස්වැන්න

'යුද්ධය' මෙලෙස දරුවන්ට ජලය පොවන්නේ නැත.
මේ ජලය පොවන්නේ එක්දරු පියෙකු වන 'සරා' විසිනි.
කතා අංක එක - සරා සහ සිරා

සරා සහ සිරා ඉස්කෝල පහේ පන්තිය වෙනකං කොපිකලේ මගෙනි. ඊට පස්සෙ සරාට කොපිකරන්ඩ වෙන එකෙක් හොයාගන්නට සිදුවූ අතර සිරා මාත් සමගම වෙන ඉස්කෝලෙකට විත් දිගටම මගෙන් කොපිකලේය. ඒ කොපිකිරීම අවසන් කලේ ඕලෙවල් විද්‍යාව බහුවරණ පේපර් එකද, ගණිතය පළමු පේපර් එකද, දෙවෙනි එකේ කොටසක්ද, කෘෂිවිද්‍යාව බහුවරණ පේපර් එකද සහමුලින්ම කොපිකිරීමෙනි. ඒ හේතුවෙන් ලංකාවේ වඩාත්ම විකෘති සහගත විභාග ප්‍රතිඵලය සිරාට ආවේය. ගණිතය/විද්‍යාව/කෘෂිවිද්‍යාව සම්මාන. ආගම/සිංහල යන්තම් පාස්. අනික්වා ෆේල්. උගේ ප්‍රතිඵල සමරන්නට අපි විසින් දැදුරුඔය වැල්ලේ පැවැත්වූ මහා සාදයට සරා ආවේ නැත. ඌ අටේ පන්තියෙන් පිටව පුත්තලමේ ලූණු පාත්තිවල වැඩට ගොස් තිබුණි.

සරා සහ සිරා හමුදාවට බැඳුනේ එකම වකවානුවකය. ඒ කාලයේ ‘රණවිරුවන්’ සිටියේ නැති නිසා උන් දෙන්නාම අපට ‘ආමි එකේ කොල්ලො’ විය. මුල් වකවානුවේ උන් නිවාඩුවට ගමට පැමිණීම මහත් සංදර්ශණයක් විය. උන්ගේ කතා වලට අනුව කොටි සිරා වැඩකාරයෝය. ඒ අනුව කොටින්ට ගහන උං සිරාගෙත් සිරාය.

යුද්ධය දරුණු විය. අවසන් සටන එළැඹින. සරා/සිරා නිවාඩු ඒම අඩුවිය. ඒ ආවත් අර සංදර්ශණාත්මක ගතිය වෙනුවට සැබෑ බැරෑරුම් ගතියක් පෙන්වන්නට වූහ. කතාබහ උපේක්ෂාසහගත විය. ජීවිතය ගැන අඩුවෙන්ද, මරණය ගැන වැඩියෙන්ද කතා කලහ.
පෙරදී උන් ගෙනා සංදර්ශනාත්මක බව මෙවර අපි ගෙනාවෙමු. සරා/සිරා සහ ගමෙන් හමුදාවට ගොස් සිටි තවත් කොල්ලන් අට දෙනෙකුගේ ඡායාරූප ඇතුලත් කොට හන්දියේ දැවැන්ත කටවුට් එකක් ගැසීමු. මාසයක් පුරා පන්සලේ උන්ට සෙත්පතා බෝධි පූජා පැවැත්වීමු. සරාලා සහ සිරාලා කොටි පාලන ප්‍රදේශ වර්ග කිලෝමීටර ගණනින් අත්පත්කරගන්නා හැටි රූපවාහිනියෙන් බලා සිටියෙමු.

සරා යුදබිමේදී මියගිය පුවත ගමට ලැබුණි. ගමම එකම මලගෙයක් විය. සරාගේ අවමංගල්‍යය දා මොකද්දෝ අහම්බයකින් සිරාද ගමට ආවේය. දැවැන්ත ජනගඟක් සහභාගි වූ එම අවස්ථාවේ සිරා දුවපැන සියළු කටයුතු මෙහෙයවීය. ඉතා හැඟීම්බර අනුශාසනා, රණවිරු අභිවාදන මැද උගේ බැරූරැම් මුහුණේ දුකක් නොවිණි. අවසානයේ පෙට්ටිය නිවසින් එළියට ගන්නට නොදී එය බදාගෙන වැළපෙන්නට වූ සරාගේ බිරිඳ සහ දෙමාපියන් බලහත්කාරයෙන් ඉවත් කොට දුන්නේ සිරා ය. කනත්තේදී සියල්ලෝම ආචාර වෙඩිමුර පවත්වන ටී පනස්හය කටවල් දිහා බලා සිටිද්දී සිරා පසෙකට වී සිගරැට්ටුවක් උරමින් සිටියේය.

“මේක චාන්ස් එක. මෝටාර් එකක් උඩ ගැහුවොත් කොහෙහරි වැටෙනවා. ප්‍රශ්නේ ඒක වැටෙන තැන ඉන්නෙ ඌද, මමද, වෙන එකෙක්ද කියන එක විතරයි......”

සිරා පසුදින නැවත යුද්ධයට ගියේය.

“ආයෙ එන්ඩ පුලුවන් වෙයිද දන්නෑ. හිටියොත් අනිවා එනවා....”

ඌ බසයට නැගීමට පෙර සිනාසී අතවැනුවේය. අපි ගල්වී බලා සිටියෙමු.
------------------------------
යුද්ධය අවසන් විය. සති දෙකකින් සිරා ගමට ආවේය. ආසන්න නගරයේ සිට ගමේ හන්දියට සිරා ගෙනාවේ සරසන ලද කැබ් එකක පිටිපස්සේ නංවාගෙනය. හවස පැවැත්වූ උත්සවයකදී සිරාට උපහාර පිදිණි. සිරාගේ මවට සම්මානයක් හිමිවිණි. සිරා අම්මා බදාගෙන හැඬුවේය.

ඉන්පසු සිරා ගමට යන එන කතා එතරම් වැදගත් නොවුණි. වරක් මොකද්දෝ හදිසි අනතුරකින් සිරාගේ කකුලක් බරපතළ ලෙස තුවාල විය. මාස තුන හතරක් ඇවෑමෙන් සිරා නැවත සේවයට එක්විය.

මගේ දියණියගේ පන්තියේ ඉගෙන ගන්නා සරාගේ දියණිය රැගෙන මොපෙඩ් යතුරුපැදියක දිනපතා පාසලට එන සරාගේ බිරිඳ ඉඳහිට හමුවේ. ඇය හා නැවතී කතා කරන්නට තරම් දෙයක් නැති නිසා ඇය හා සිනාසී යන්නට යමි. 
පෙරේදා කොළඹ බසයක නැගී යමින් සිටියදී මාරවිල හරියේදී සිරා ව දුටිමි. ඔහු ගැහැණුන් දෙදෙනෙකුට සුපර්ක්‍රොස් තරඟාවලියක ටිකට් පතක් අලෙවි කිරීමට උත්සාහ ගනිමින් සිටියේය.
______________________________________

කතා අංක දෙක - තෙවසරක අස්වැන්න

ඉහත දැක්වෙන්නේ වසර තුනකට පෙර ගන්නා ලද ඡායාරූපයකි. මේ ඉදිරියට එන සිරාලා පිළිගන්නට මිනිස්සු තොරණ් ගසා බලා සිටියහ.



මේ මෙයට මාසයකට පෙර වීඩියෝවකි. මෙහි ‍අවසානයේ නිධන් හොරකමේ පැමිණ ලොරියක නැගී පලායන සිරාලාට මිනිස්සු ගල් ගසා හූ කීහ.

සිරාලා නිධන් හොරුන් නොවන බව මා සහතික කරමි. ඔවුන් නිධන් හොරුන් කලේ ඔවුන්ගේ ඉරණම භාරව සිටින තණ්හාධික බලාධිකාරයකි. සිරාලා එහි ගොදුරු පමණකි. ඒ මා දන්නා දෙයයි.

මම දන්නා දෙයින් නොදන්නා දෙයට යමි. සිරාලා ‘රණවිරුවන්’ කලේද එම බලාධිකාරය විසින්මය. එනයින් ඔවුන් කාගෙදෝ යුද්ධයක ‘ගොදුරු’ නොවිණිද?

කාටවත් මඩ ගසා, ගන්නට තරම් ෆන් එකක් මට නැත. මට අවශ්‍ය වන්නේ සරා ගේ මරණයෙහි සැබෑ අර්ථයයි. ගියදේ ගියාවේ කියා නිකම් ඉඳීම පහසුය. නමුත් සරාට දියණියක් සිටී. මට දියණියන් දෙදෙනෙකු සිටී. ඉදිරි පරම්පරාව ඔවුනගේය. එය සුරක්ෂිත විය යුතුය.

කෙටියෙන් කිවහොත් පහත පින්තූරයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොළව මත දියත්වූ අවසන් වෙඩිමුරය විය යුතුය. මේ සටහන ඒ වෙනුවෙනි.

___________________________________________________
මේ තවත් බොක්කෙන් ලියවුන සටහනකි - 
ඔක්සිජන් (තෙවර්ෂ පූර්ණ සැමරුම) - The null device

Friday, May 18, 2012

‘අක්කා සංකල්පය’ 02 - ‘ලඳුනේ’ ඇත්තටම ලලක්කෙක්ද?

‘නංගියා’ සංකල්පය නොතේරෙන අප හිතවතුන් වෙනුවෙන් මා විසින් ඉදිරිපත් කරන ලද ‘අක්කා සංකල්පය’, ඉන් නොනැවතී “අක්කියා සංකල්පය” සහ “මල්ලියා සංකල්පය” වැනි විවිධ ධාරාවන් ඔස්සේ පැතිරයාම සතුටට කරුණකි J

ඇත්තටම මේ සංකල්පය පැහැදිලි කිරීම සඳහා මම තෝරගත්තු ජොලි සීයාණන් ගයන ‘බජාර් එකේ ලලක්කා’ ගීතය ලූම්පන් සංස්කෘතියට අයත් වන්නක් බවට විවාදයක් නෑ. නමුත් මගේ අදහස නම් විදග්ධ කෘතියක් ලෙස පොදුවේ පිළිගන්නා අමරසිරි පීරිස් ගයන ‘ලඳුනේ’ ගීතයට වඩා ලලක්කා අව්‍යාජ බව.

රයිට්. වැඩේට බහිමු.

ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”

එතනින්ම තමා වැඩේ කන්නෙ. එකපාරටම හැන්දෑවක අමුතු දෙයක් දැකලා. මොකද්ද? මුදල් පිණිස ලිංගික සේවා සපයන්නියකගේ ඇස් දෙකක්. බුදු අම්මෝ ගණිකාවක්. එයා බබා. දැන් ඉතින් ගණිකාවන් නමැති සත්ව කොට්ඨාශය මේසය මත තබා සමාජ දේශපාලනික විවරණයක් අහගන්න පුළුවන්. මම කියන්නෙ මේ රචකයාට (රන්බණ්ඩා සෙනෙවිරත්න) ඇය දුරස්ථයි. මේ විච්ඡේදනය කරන්නෙ ඇත්ත ‘ලඳ’ නෙමේ. එයාගෙ ඔලුවෙ ඉන්න කවුරුහරි. ඒක නිසානෙ “දෙනෝ දහක් ‘අතගත්තද’ – ‘සැමියෙකු’ නැති...” වගේ කෘෂිකාර්මික කතන්දර එන්නෙ. දැන් ඇත්ත කතාව කවුරුවත් එහෙම ‘අතගන්නෙ’ නෑනෙ. වැඩේ කලා. ගාන දුන්නා. කැපුනා. පැහැදිලි අවබෝධයකින් සිද්දවෙන ගණුදෙනුවක්. අනික ‘සැමියා’ කියන්නෙ බුදියගන්න එකාද? පිස්සුනේ.

අන්න ඒකට ලලක්කා.

ලලක්කගෙ අතගැනිලි අරව මෙව්ව නෑ. කෙලින්ම “සුර සැප වික්කා”. වැඩේ ක්ලියර්. අර විදග්ධ කතන්දර වල එන ‘ආත්මය විකිණීම’ ‘ශරීරය විකිණීම’..... (මම කියන්නෙ ඔය තියරියට මේසන් වැඩ කරන එකත් ඇඟ විකුණනව කිව්වෑකිනෙ)

 නිකං බයිලනේ. ඔය මොන ලඳක්වත් ශරීරය විකුණන්නෑනෙ ඕන එකක් කපාගෙන පලයං කියල. කොන්දේසි සහිත සේවාවක් සපයනවා. ඇඟ භාවිතයෙන් ඊනියා ‘සැප’ විකුණනවා. පාරිභෝගිකයො සැප අරගෙන ඇඟ තියල එනවා.

අනික ලලක්ක රෙස්පට්නෙ. ‘සුරසැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා’. ඔය ‘වත ගොත’ කියන්නෙම සුළුපටු දේපලක්ද? පාරිභෝගික විශ්වාසය.  සෙල්ලමක් නෙමේ. හැබැයි ලලක්කල කන පතේ රෙ** නෑ. අන්න ගෑණු.

අනික ලලක්කල ඔය කියන තරං අසරණත් නෑ. “නෑයෙක් නෑකං නොකියන...”. මේ මොන රටේද? ලලක්කලට නං නෑයො මිත්‍රයො බජාර් එකක්ම ඉන්නවා.  ඔය නෑකං ප්‍රශ්නෙ එන්නෙ ඔය ජොබ් එක මහ පජාත රස්සාවක් කියන විදග්ධ ඔලුගෙඩි ඇතුලෙනෙ. ඔන්න රන්බණ්ඩා මහත්තේලගෙ විදග්ධ පරපුර නං නෑදෑකං අතහරී කිව්වෑකි. ඒත් ලලක්කගෙ බජාර්එකේ ඔය ගැරඬිපාට් නෑ. රස්සාව වේසකම. එච්චරයි. අම්මත් දන්නව. තාත්තත් දන්නව. මිනිහෙක් ඉන්නවනං ඌත් ෂොට් එකක් දාන්ඩ කීයක්හරි ඉල්ලගන්නව.

   “නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....”
ඔන්න නෑකං....!

“පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ....
අඳුරේ පව් කරන දනා - එළියෙ රවන ලඳුනේ......”

මම කියන්නෙ මේවත් නිකං ඔලුවෙ ප්‍රලාප. රෑට ලලක්කල එක්ක බුදියල, දවල්ට උන්ට වේසියො කියන සත්ගුණවත් මහත්තුරු ඕනෙතරං ඉන්නව. හැබැයි ඉතිං ඕක රණ්බණ්ඩා මහත්තයලගෙ ප්‍රශ්නයක් මිසක් ලලක්කලගෙ ප්‍රශ්නයක් නෙමේනෙ. ඔය රවන්නෙ බොරුවට කියල ලලක්ක නොදන්නවද? අනික රැව්ව කියල ලලක්කගෙ අහවල් එක නැතිවෙන්ඩද? කොහොමත් රස්සාවෙන් පිට කස්ටමර් කෙයාර් කෑලි ලලක්කලගෙ නෑ. රැව්වත් එකයි. නැතත් එකයි.

හැබැයි ඉතිං අපේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ශූරීන් ලියපු “සිල් අරගත්තා - පෝයට සීලෙත් රැක්කා....” කෑල්ලනං පොඩි අධීසාමාන්‍යකරණයක් වගේ. ඒ උනාට ඒක කියල තියෙන විදිහට මම කැමතියි. ලලක්ක කෑව/කුනුහරුප කිව්ව/ටොයිලට් ගියා/බුදියෑව/රෙදි හේදුව/සිල්ගත්තා...... මේ චරිතයේ එක පැත්තක් ඔහෙ කියල දාල. එහෙම නැතුව සිල්ගත්තු හින්ද ලලක්ක මාර වෙලා නෑනෙ. ඒ වුනාට අරකෙනං මාරයි.

“තෙල් මල් ගෙන... දෝත පුරා - මුණි කුටියට පියමංවන.....”

අනේ ඉතිං හරී අනුකම්පා හිතෙනවා. අර පිරිමින්ගේ ඊනියා ‘පාප කඳ’ නිසා මේ ගෑණු මිරිකෙන හැටි දැකලා. හැබැයි ඉතිං ඔය ඔලුවල තියෙන වැඩවසම් ආගමික වහන්තරාවල් ටික අයින් කරල බැලුවොත් නං ඔයිට වඩා මිරිකෙන ගෑණු අනන්ත දකින්න පුලුවන්. (සමහරවිට ගෙදරම ඇති).

මම යෝජනා කරන්නෙ මෙහෙම. ඔය කියන “ලඳ” ගැන හදවත කීරිගස්සන විදග්ධ රචනාකාරයො මේ ගෑණුන්ට මහා අපහාසයක් කරනවා. ඔවුන් විශේෂිත අසාධාරණයන්ට ලක්වන, විශේෂ අනුකම්පාවකට ලක්විය යුතු, අසරණ ජන කොට්ඨාශයක් බවට පත් කරනවා. හරියට නිකං ‘ගණිකාවන්ට’ පාව්.... එයාල දිහා සානුකම්පිතව බලන්න.... වගේ එකක්. කාටද ඔය කියන්නෙ? මේ සත්ගුණවත් “අපිට”. රෙද්ද තමයි.

මම කැමති ජොලි සීයට.

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

අන්න එහෙම නම්බුව දීල ‘සමානයෙක්’ විදිහට කතාකරමු. ලලක්කලට මොනවහරි අකටයුතුකම් වෙනවනං නාහෙන් අඬන්නැතුව පුලුවං දෙයක් කරමු.

ලලක්කා සින්දුව ලූම්පන් සංස්කෘතියට අයත්වීම ගැන සුමිත් සහෝදරය මතක් කරල තිබුණ. ස්තුතිය ඔහුට. ලූම්පන් ලලක්කල ගැන මෙච්චර ලියවුනේ ඒ හින්ද. ලලක්කා සින්දුවේ තියෙන වටිනාකමත් ඒක ලූම්පන් සංස්කෘතියේ ගැයෙන එකක් හින්දමයි. අද ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය ලූම්පන්. අනික් පලාත්වල මන්දා. වයඹ පළාත් සභාවෙන් “ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන ජනමත විචාරණයක් තිබ්බොත් හයෙං පහක් අරං ලලක්කා දිනනවා. (අපි ලලක්කට -ලලක්ක අපිට.... පුහ්)

මිනිස්සු අතර ඉන්නෙ ජොලිසීයා. ජොලිසීයා කියන්නේ මෙහෙම.

“රයිට්.... අපි ලලක්කා කියල අලුත් ගීතයක්..... අහිංසක කාන්තාවක් ගැන ලියවුන ගීතයක් ගායනා කරන්ඩ.... දෙමු වැඩේ.... දෙන්ඩ පුතා... ශ්‍රැතිය දෙන්ඩ මහත්තයො.... හහ් හහ් හහ්... රයිට්.... ගැහැනි ලලක්කා..... හා... හයි.... කොල්ලො නටපියව් ඇතිවෙන්ඩ.........”
ලලක්කට නටන උන් ආයෙ කවදාවත් ලලක්කලට කෙල ගහන්නෙ නෑ. උන් අඳුර එලිය වෙනසක් නැතුව ලලක්කල එක්ක හිනාවෙයි. අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා. 
ජයවේවා !!


(දැන්වත් අර කලින් පෝස්ට් එකට පින්තූරෙ සෙට්ද J)
_____________________________________________________________
ප/ලි - 
ලලක්කගෙ පවුල ගැන හොඳ විස්තරයක් - “රමණිගේ හැන්දෑව



Thursday, May 17, 2012

අක්කා සංකල්පය...


බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

මයියොක්ක පිපිඥ්ඤා
වම්බොටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු  ඉඳ හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....

බජාර් එකේ ලලක්කා.....///

අක්කගෙ අම්ම ඉසක්කා
ඉස්සර එලවළු වික්කා...
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
වික්ක නොවික්කා ගානයි මාළු ඉසක්කා...

බජාර් එකේ ලලක්කා.....///
(ඇන්ටන් ජේ. ප්‍රනාන්දු)
හලාවත ටයිප් ෆන් එකකට......


_______________________________________________

Wednesday, May 16, 2012

හෙමින් සැරේ පියා විදා.......


එකල මට පෙම්වතියක් විය.

අප විවාහ විය යුතුව සිටියෙමු. අප ‘ආදරය’ කිරීම එයට හේතුවයි. මුලදී ඇය වඩාත් කැමැත්තෙන් සිටියේ මගේ මිතුරාටය. ඔහුට පෙම්වතියක් ඇති බව දැනගත් විට ඇය මට කැමති වූවාය. මට පෙම්වතියක් නොසිටි හෙයින් මමද ඇයට කැමති වීමි. එතැනදී ඇතිවූ ‘ආදර සම්බන්ධයට’ මූලිකම හේතුව ඇය ස්ත්‍රියක සහ මා පුරුෂයෙකු වීම පමණකි. එය එක්තරා උගුලක් සේද මට දැණිනි. යමෙකු අප මෙහෙයවමින් සිටී. නිකම්ම නිකම් ස්ත්‍රියක හා පුරුෂයෙකු වන අප දෙදෙනා දැන් හෘදයාංගම සාංසාරික පෙම්වතුන්ය. දැන් ඉතිරිව ඇත්තේ හැකි ඉක්මණින් විවාහකව ශාරීරික විනිවිදීමක් තුල අප සම්බන්ධතාවයේ පරිපූර්ණත්වයට පත්වීමයි. හුහ්....!!

ඇය මා වෙනුවෙන්ම උපන්නියක වූවාය. ඇය ළඟ මිහිරි සුවඳක් වී. ඇය සිපගැනීමේදී ඇගේ මුහුණේ වූ කුරුළෑ කිසිදු අපුලක් නොගෙනාවේය.  ඇගේ නාසය මත මතුවන තෙල් මුසු දහදිය මගේ සුරතින් පිස දැමීමි. ඇගේ නරක්වූ දතක වුව දුර්ඝන්ධයක් නොවී. මගේ සංවේදන පද්ධතියේ කුමක්දෝ ඉමිහිරි වයර් පැටලීමකි.

මා කොහොමත් සොයමින් සිටියේ මට අඩුවෙන්ම කරදර කරන අයෙකි. සහතිකවම ඒ ඇයමය. මගේ සියළු අවශ්‍යතා ඇය දන්නීය. දවසේ ඒ ඒ වේලාවන්හිදී මට සෑදිය යුතු තේ එකේ ප්‍රමිතිය පවා. ඈ මට උහුලාගත නොහැකි තරමින් නිහතමානීය. ලැජ්ජාශීලීය. අවංකය. මා වඩාත් ප්‍රිය කරන ලෙස සෙමින් කතා කරයි. ඇය ලවා කුණුහරුපයක් කියවීමට මා ගත් උත්සාහය වරක් ව්‍යර්ථ වූයේ ඇගේ දෑස් ලැජ්ජාශීලී කඳුලෙන් පිරීයාමෙන් අනතුරුවය.

මා සෙවූ පරමාදර්ශය දැන් මා සතුය. මා වෙනුවෙන්ම අයෙකු මගේ කාලයේදීම ජනිතව ඇති විශ්මය? මා පුපුරායන තරමේ වාසනාවන්තයෙක්මි.
______________________________


එය සිකුරාදාවක සන්ධ්‍යාවකි. මා සිටියේ මාර්ගය අයිනේ ඉරේෂා සමඟ කතා කරමිනි. ඇය මගේ පාසල් මිතුරියකි. අප හමුවූයේ දීර්ඝ කාලයකිනි. ඇය මගේ යතුරුපැදියේ හැඬලයට බර දීගෙන ප්‍රිය සල්ලාපයෙහි උන්නාය. පසුපසින් පැමිණෙන සී.ටී.බී බසයේ හඬ මට එක්වරම සිහිපත්කලේ ‘ඇයව’ ය. මගේ පෙම්වතිය බසයේ වීදුරුවක් තුළින් මා පසුකරමින් උන්නාය. මම සිනාසී අත වැනීමි. ඉරේෂා හොරේ අල්ලාගත්තාය. සතියකට පසු අද රාත්‍රියේදී ‘ඇගේ’ සුවඳ විඳගත හැකිය.

රාත්‍රී හතයි තිහ වන්නට ඇත. මහත් ප්‍රබෝධමත් ගතකින් සහ සිතකින්ද යුක්තව මා මගේ පෙම්වතියගේ නිවස තුළට පියමැන්නෙමි. එය නම් මා ඇගේ නුදුටු වේශයකි. එක්වරම අකුණක් පුපුරා ගියේය.

“මං හිතුවෙ නෑ තමුසෙ ඔහොම මිනිහෙක් කියල......”

එක්වරම කාලය නැවතිණි. දෙකන්සයෙන් පිටාර ගලන මහත් උණුසුමක් සමග මගේ හදවත මහත් වේගයෙන් ගැහෙනු මට දැණිනි. දෙපා අප්‍රාණිකව පුටුවක් මත මා ශරීරය වැතිරීමි.

මේ ‘ඇය’ නොවේ.

මේට්‍රික්ස් එකේ යම් අවුලක් මට ප්‍රත්‍යක්ෂය. මේ ‘ඇය’ නොවේ. වෙනත් කෙනෙකි. නැතහොත් ඇය ආවේශයෙනි. ඉරේෂා ගැන ඇයට පැහැදිලි කල හැකිය. අනෙක ඇය පිළිගත්තත් නැතත්, මා සිතිවිල්ලකිනුදු ඇයට වරදක් කොට නොමැත. අනෙක ඇය වැරදි වැටහීමක් ගත්තේ නම් එයද සාධාරණය. එහෙත් ගැටළුව එය නොවේ.

මා නොදන්නා තවෙකෙක් ඇය තුළ සිටී.

එම ‘නොදන්නා අනිකිය’ මට ඇමතූයේ “තමුසෙ” කියාය. ඒ මදිවාට මා “ඔහොම මිනිහෙක්” ද විය. ඇගේ ශබ්ද කෝෂයේ මේ වචන නොතිබිණි. තවත් සුළු මොහොතකදී මා යතුරු පැදියේ නැගී තරමක වේගයෙන්, කඩාහැලෙන අන්ධකාරය කපාගෙන ආපසු එමින් සිටින බව වටහාගතිමි.

සියල්ල කඩාවැටීමෙන්ම ඇතිවන මහත් හිස්කමකින් මා වෙළී ඇත. කිසිවක් නිරවුල්ව සිහියට නොඒ. කාට හෝ කතා කල යුතුය. යතුරු පැදිය නවතා දුරකථනය ගතිමි. ඇමතුම් ලැයිස්තුව පිරික්සන්නට වීමි. එක් අංකයක් ළඟ සිත නැවතිණි.

රේණු !

ඇය මගේ විවෘත මිතුරියක විය. ඇයටද පෙම්වතෙකු නොවී. එක්කෝ බොහෝ පෙම්වතුන් විය. ඇය මගේ පෙම්වතිය ගැනද දනී. එහෙත් කිසිදිනෙක ඒ ගැන මගෙන් අසා නැත. රේණුට ඇමතුමක් ගතිමි.

“මොකද මතක්වෙලා තියෙන්නෙ...?”
“නිකං....”
“නිකං මතක්වුනා..? මාව...?? හිහ්.... යනව නිකං අන්දන්නැතුව..... ඒක නෙමේ.... ඇයි?”
“කොහෙහරි යංද...?”
“මේ රෑ....? ම්...  යනවනං යං...!”
“රයිට්... මං එන්නං...”
“හෝව්.. හෝව්.... පර්මිෂන්...? අම්ම ඉන්නවා.....”
“මං ගන්නං.....”
“රයිට්.... එන්ඩ....!”

රේණුගේ මව මා කලක සිට දනිමි. ඇය මාව බොහෝ විශ්වාස කරන්නියකි. ඇයට කුමක්දෝ කීවා මතකය. ඊළඟ මොහොතේ රේණු යතුරු පැදියට ගොඩවූවාය. අන්ධකාරය මැදට අපි යන්නට ගත්තෙමු.

“අම්මට තඩි බොරුවක් කිව්ව නේ....? හ්ම්... කොහෙද යන්නෙ...?”
“අදහසක් නෑ....”
“හ්ම්... යමු....!”

කුඩා නගරයක් පසුවෙමින් තිබුණි. කිලෝමීටර් දහයක් දොලහක් අප පැමිණ ඇත. මුළු ගමන පුරා රේණු තොරතෝංචියක් නැතිව ‍කියවමින් ආවාය. වරෙක මහ හඬින් සිනාසුනාය. ඇය කතාකල කිසිවක් මට මතක නැත. මම යතුරු පැදියේ වේගය අඩාල කලෙමි.

“ඩ්‍රින්ක් එකක් ගමුද?”
“ඇයි අද මොකද?... අවුලක් නෑ.... ඒත් යකෝ රෙස්ටුරන්ට් එකකට ගිහින්..?? අම්ම ගහයි කිව්වලු... හිහ්....”

මම බාර් එකක් අසල නවතා බියර් කෑන් කිහිපයක් සහ සිගරට් කිහිපයක් මිලදී ගතිමි. අනතුරුව එවෙලෙහි මතකයට නැගි ළඟම ලැගුම්හලට ගොස් කාමරයක් වෙන්කරවාගෙන ඇයත් සමග (ජීවිතයේ පළමුවරට) ලැගුම්හල් කාමරයකට වැදීමි.

බියර් කෑනයකින් අඩක් උගුරේ හලාගෙන සිගරට්ටුවක්ද දල්වාගෙන ඇගේ උකුලේ හිස හොවාගෙන මා සිටියෙමි. ඇයද බියර් කෑනයක් තොලගාමින් මගේ හිස පිරිමදිමින් මොනවාදෝ කියවමින් උන්නාය. මමද ඇය සමග මොනවාදෝ වල්පල් කතා කල බව මතකය. ඇය වරෙක සිගරට් ගඳ අපුල බව පවසා සිගරෙට්ටුව අල්ලා වීසි කලාය. අපි බොරුවට දබර වීමු. මද බියර් මත සිතිවිලි සැහැල්ලු කොට ඇත. මා ඇයව සිප ගතිමි.

මට ඇගෙන් දහඩිය ගඳක් දැනෙන්නට විය. ඇගේ සිරුරේ වූ යන්තම් ඇලෙනසුළු තෙල්ගතිය මට අපුලක් දනවන්නට විය. මහත් මූසල වරදකාරී හැඟීමකින් සිත පෙළෙන්නට පටන් ගෙන ඇත. ශරීරය අප්‍රාණික බවක් හඟවයි. කුමක්දෝ දරාගත නොහැකි බවක් දැනේ. වේලාව රාත්‍රී දොලහට ආසන්නව පවතී. මම නැගී සිටියෙමි.

“අපි යමුද....?”
ඇගේ මුහුණේ දැල්වී නිවී ගිය හැඟීම් මාත්‍රයන් මොනවාදැයි නොදනිමි.
“හ්ම්හ්..... යන්ඩ ඕනෙ නං යමු....! මේක ඔයාගෙ ගමනක්නෙ....”

මුණු මුණු ගා අපට බණිමින් පැමිණි තානායම්පල්ලා අඩ නින්දෙන් විවර කර දුන් ගේට්ටුවෙන් පිටව අපි ආපසු ආවෙමු. රේණු නිවසට ඇරළවා යළි මගේ නිවසට විත් ඇ‍ෙඳෙහි පෙරළී මහත් හුස්මක් පිටකළෙමි. බියර් මත පරයන සැහැල්ලුවක් ඒ මොහොතේ දැණුනු බව මතකය.

Follow by Email