Tuesday, January 31, 2012

සිස්ටම් එකේ සියඹලා කතා (පොලිස් සියඹලා කතාව සහ තවත් කතා)


"කවුරු කවුරුත් සියඹලා කතාව දන්නව ඇතිනේ? මේ මම දන්න වර්ශන් එක. දවසක් මනුස්සයෙක් සියඹලා තොගයක් ගෝනියක දාගෙන විකුණන්න මුදලාලි කෙනෙක් ළඟට ගියාලු. මුදලාලි ගෝනිය කිරල බලද්දි කිලෝ පහක් තිබ්බලු. ඊට පස්සෙ මුදලාලි සියඹලා වේලිලා මදියි කියල තෙත බරට කිලෝ දෙකක් කැපුවලු. ඇට වල බරට තව කිලෝ දෙකක් කැපුවලු. ගෝනියේ බරට කිලෝ එකක් කැපුවලු. දැන් මිනිහ මුදලාලිගෙන් අහනවලු.......
"එතකොට මං සියඹලා ගෙනාවෙම නැද්ද....?
"

1. බේබදු සියඹලා කතාව

මම දන්න පොරක් ඉන්නව ජයසේන අයියා කියල. වයස අවුරුදු 45 ක් විතර ඇති. කතා කරද්දි පොඩි ගොතයක් තියෙනව. කසාදයක් කරගෙනත් නෑ. කොටින්ම මිනිහ ඒ පැත්ත ගැන මොනම උනන්දුවකුත් නෑ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් උනාට මිනිහා ගමේ ඉන්න වෘත්තීය බේබද්දෙක්. සාමාන්‍යයෙන් බිම පටන් ගන්නෙ උදේ හතට විතර. ඒ කරලා කාගෙහරි පොඩි වැඩක් කරනවා. ඒ ගන්න ගානෙන් දවල්ට බොනවා. හවසත් කාගෙ හරි තේක්ක ගහක්වත් අතු කපල හවස ගාන හොයාගන්නවා. දවසෙ වැඩි හරියක් ඉන්නෙ නිකං. නිකං කිව්වට ආතල් එකේ. කොයිවෙලෙත් සින්දුවක් කියාගත්තු ගමන්. බිව්ව කියල කාටවත් කරදරයකුත් නෑ. ආ.... නැත්තෙමත් නෑ. එකම කරදරේ කොහෙන් මුලිච්චි වුනත් රුපියල් පනහක් ඉල්ලන එක.

දැනට මාස තුන හතරකට කලින් මිනිහා අපේ ගෙදර ආව.
"මං තීරණයක් ගත්ත මල්ලි......."
"ඒ මොකද්ද..?"
"සිරසෙ වැඩට යන්ඩ......"
(අප්පද බොල...)
ගමේ උං සිරස කියන්නෙ ලයනල් මුදලාලිගෙ පොල් බිස්නස් එකට. මොකද ඒකෙ නොන්ස්ටොප් වැඩ. උදේ හයට වැඩට යන එකා වැඩ ඇරිල ගෙදර එන්නෙ රෑ දහය පහුවෙලා. පඩි හොඳයි. සේවය ස්ථීරයි. හැබැයි නීති තදයි. බීම සපුරා තහනම්.

"ෂහ්... මරුනෙ ජයසේන අයියෙ.... හැබැයි ඉතිං බොන්ඩ වෙන්නෑනෙ...?"
"නෑනෙ මල්ලි.... දැනුත් බොන්ඩ නෑනෙ... සල්ලි නැතුව වැඩක් නෑ.... අනික මල්ලි අපි බොනව කියල මොනාද බොන්නෙ.... අරූගෙ සිමෙන්ති කසිප්පුව.... මොනා එක්කද? එක්කෝ ලුනු කැටයක්.... වැඩිම උනොත් මුරුක්කු කෑල්ලක්.... ඊළඟට බීඩි කොටයක්.... මොකටද බං......?"
"ඔව්... ඒකත් ඇත්ත...."
"බොනවනං මල්ලි හතරැස්සෙකක් ගෙනත් ඩෙවල් එකක් ද‍ාගෙන ගෝල්ලීප් එකක් පත්තුකොරං.... මෙහෙම නිස්කාංසුවෙ.... නැද්ද?"
"හ්ම්.... හ්ම්....."
"වැඩක්ම නෑ.... සල්ලි ඕනෙ.... අපි නිකං හිගන්නො ගානට වැටිලනෙ බං..... උඹ බලපංකො......."
"අදහස හොඳයි ජයසේන අයියෙ...."
"මේ.... හෙට දෙනකං රුපියල් පනහක්....?"

ඔන්න ඊළඟ සතියෙ පොර වැඩට ගියා. ඊට පස්සෙ කාලයක් මම පොරව ඇහැටවත් දැක්කෙ නෑ. ඔන්න මාස දෙකකින් විතර හවසක පොර පාර දිගේ එනවා. මාව දැකල ගෙදරටම ආව. අහල ඉන්ඩ බෑ කසිප්පු ගඳ.
"මොකද ජයසේන අයියෙ..... අද වැඩට ගියෙ නෑ....?"
"ඔයිය මගුලට මං ආයෙ යන්නෑ බං......"
"මොකද.... උඹලගෙ බොස් එක්ක වලියක් වත් දාගත්තද?"
"අඩේ... නෑ. ලයනල් අයිය දෙයියෙක් බං..... වැඩ වගේම රෙස්පට් එකට පඩි....."
"එහෙනං...?"
"වැඩක් නෑ මල්ලි මේ ජීවිතේ...... පහුගිය ටිකේ සල්ලි මේම... දාහෙ දෙදාහෙ පටි.... ඒත් මොකටද බං බොන්ඩ වෙලාව නැත්තං........?"
__________________________________

2. 'ඩයලොග් ටීවී' සියඹලා කතාව

මම දන්න හාදයෙක් ඉන්නව ගුණේ කියල. මූ මට වඩා අවුරුදු තුන හතරක් බාලයි. බැඳලා. අවුරුදු හයක පුතෙක් ඉන්නවා. ගුණේ ඉගෙන ගත්තෙ පහේ පන්තියට විතරයි. රස්සාව ගඩොල් කපන එක. ගේ තාම හදාගෙන යනවා. බිමට කොන්ක්‍රීට්. වහලෙ බාගයක් උළු. අනික් බාගෙ තහඩු. ජනෙල් ඉටිකොල.

ඔන්න මීට මාස හත අටකට කලින් ටයි දාගත්තු කොල්ලො සෙට් එකක් ගමට බැස්සා ඩයලොග් ටීවී කනෙක්ෂන් විකුණන්ඩ. මුගෙ කරුමෙකට මූ ගෙදර ඉඳලා. අරුන් මූව අම්බානක අන්දලා ගෙවීමේ ක්‍රමයට මූටත් කනෙක්ෂන් එකක් විකුණලා.

දවස් කීපෙකින් මූ මට හම්බවෙච්චි වෙලාවක හෙන නයි ටෝකක් දමපි.

"අයිය අර ඩයලොග් මෙව්ව එකක් ගත්තෙ නැද්ද?"
"මෙව්වා...?"
"අර රූපවාහිනී..... කියල වැඩක් නෑ ආ.... එක ඩොට් එකක් නෑ... මාර ක්ලියර්.... අනික ඕන වෙලාවක ෂෝ බලන්ඩ පුලුවං.... එව්වටම වෙනම සේවා තියෙනවා.... ඔය ක්‍රිකට් අනං මනං වලට වෙනම එව්වා.... පොඩි එවුන්ට වෙනම එව්වා.... දෙමල ෂෝ යනවා කියන්නෙ.. ආයි එලම තමා........."
"ෂහ් මරුනෙ බං....."
"මෙහෙ ඔය අයිටීඑන්.. සිරස.. අනික් සේවා ටිකත් ඔක්කොම තියෙනවා.. සින්දු වලට වෙනම එව්වා.... ඉගෙන ගන්න අයට......."
"ඉතිං ඕකට ගෙවන්ඩ ඕනෙන බං......"
"නෑ..... මෙහෙ එව්වා නිකං.... අර සල්ලි ගෙවන සේවා ගත්තොත් තමා ගෙවන්ඩ වෙන්නෙ......"
"උඹට ෂුවර්ද?"
"නැතුව ආයෙ....? මං සේරම අහලයි ගත්තෙ......"
උගෙ ආතල් කඩන්නෙ මොකටද කියලා මං නිකං හිටියා.

මම මේ ළඟදි පොඩි වැඩකට ගුණෙයලගෙ ගෙදර ගියා. ගුණය වැඩට ගිහින්. ගුණේගෙ නෝනා හෙවත් ඉරේෂා නංගි ගෙදර උන්නෙ. මේ අර ඩයලොග් රාජයා ගැන නෝමල් එකේ ඒකිගෙන් මම අහ දැනගත්තු ටික.

"පුතා බලන්නෑ අයියෙ. ඉස්කෝලෙ ප්‍රින්සිපල් සතියෙ දවස්වල කාටූන් බැලිල්ල තහනම්ම කරල තියෙන්නෙ..... සෙනසුරාදට ඉරිදටනං අර සිරසෙ යන ලමයින්ගෙ එව්ව බලන්ඩ දෙනවා.......
මටත් ඕක දවල්ට බලන්ඩ වෙලාවක් ඇත්තෙම නෑ..... ඔන්න හවස ප්‍රවෘත්ති දානවා..... සුවාදීන එකේනෙ.....
ඊට පස්සෙ කතා ටික බලනවා.... දැං සිරසෙ යනව නේද අයියෙ අලුත් කතාවක්.........?
චිත්‍රපටිද? අනේ ගුණෙයි මායි බලන චිත්‍රපටි.... හැන්දෑවෙ පොඩ්ඩක් කටගාං ආවාම එයාගෙ චිත්‍රපටිය තමයි ඉතිං..... හැබැයි මං බලන කතා වලට නං හොට දාන්ඩ එන්නෑ.... එයා බලන්නැත්තං පැත්තකට වෙලා ඉන්නවා...... අර කෝරලේ මහත්තයා නං දිගටම බැලුවා.... ඒකත් ඉවරයිනෙ...... ක්‍රිකට් මැච් යනදාට තමයි ඉතිං පොඩි වලියක් ගියොත්... හිහ්.......
බිල් මාසෙ ගානෙ ගෙවනවා..... තව වාරික දෙකක් ඉතරත් තියෙනවා අයියෙ....."

හද්දෙයියනේ... අන්තිමට බලද්දි, ඉස්සර මුං නිකං බලපුවා ටිකම දැං සල්ලි දීල බලනවා.
___________________________________

‍3. පොලිස් සියඹලා කතාව

දැං මෙහෙම ගමුකො. මම දන්න ශ්‍රී ලංකා නිදහස පක්ෂ  සාමාජිකයෙක් ඉන්නවා රණවීර කියලා. මූ 2004 ජනාධිපතිවරණෙදි බොහොම කැමැත්තෙන් මහින්ද මහත්තයට වැඩකරල, ඡන්දෙ දීල ඔන්න හොඳ විදිහෙ ආණ්ඩුවක් පත්කර ගත්තා.

ඔන්න මෑතක දවසක් හවස හතට විතර රණවීර ගෙදර එද්දි හන්දියෙ බස් හෝල්ට් එකේ දන්න කියන කොල්ලො හතර පස් දෙනෙක් වලක් බැහැල ඉන්නව දැකල බයිසිකලෙත් නවත්තලා ගිහින් උන් එක්ක හීන් කයියක් ගහගෙන ඉන්නවා. (ඔය ඉතින් කොල්ලො සෙට්වෙන වෙලාව)
එක පාරටම හයියෙන් ඇවිත් ක්‍රාස් ගාල පොලිස් ජීප් එකක් බ්‍රේක් කලා. ඕකෙන් බැහැගත්තු පොලිස් නිලධාරියො රොත්තක් දුවගෙන ඇවිත් හෝල්ට් එක වටකලා.
"එක හු...... පුතෙක් දුවන්නෑ හරිද?.... නැගපියව් ජීප්එකට.... බේබදු ප..."
රණවීර මොනම දෙයක්වත් හිතාගන්ඩ කලින් පොලිස් කාරයො කොල්ලො කුරුට්ටො දෙන්නෙක් ඇදල අරං පොල්ලකින් දේයි ගාල පිටට ඇදබාල ජීප් එකට දාගත්තා. ඊළඟ ඉරණම ඉවෙන් වැටහුණු රණවීර වහාම ක්‍රියාත්මක වුනා.
"සර්... මම...."
ඒ එක්කම රණවීරත් ෂර්ට් කොලර් එකෙන් එලියට ඇදුනා. ඒත් එක්කම පිට මැදට දඩාං ගාල හෙනයකුත් වැදුනා. පිටකොන්ද හිරිවැටීගෙන එද්දිම ජීප් එක ඇතුලට විසිවෙලා ඔලුව මොකද්ද යකඩ බාර් එකකත් වැදුනා.

සිද්දිය ඔච්චරයි. දැං රණවීරගෙ  ප්‍රශ්නෙ මේකයි.

" මම පත්කරපු ආන්ඩුව යටතෙ ඉන්න පොලිසිය නිකරුණේ මට ගහනවා..... ඇයි යකෝ.... මට ගහනවටත් මුංට පඩි ගෙවන්නෙ මම්මනෙ ඕයි......"

Saturday, January 28, 2012

අති නවීන යුද(War) උපකරණ එල්.ටී.ටී.ඊ(LTTE) රැඳවියන් අතට ආ හැටි....

මෙම උපකරණයක සංකීර්ණ අභ්‍යන්තර සැලසුම බුද්ධී අංශ විමර්ශනයකට ලක්ව ඇති අයුරු
(ලබන ඉරිදා දිව-ඉන නමැති පුවත්පතක ආරක්ෂක පිටුවේ පලවීමට නියමිත ලිපියක් යම් ක්‍රමයකින් අපේ පූසාට ලැබී ඇති අතර ඌ එය මට ගෙනැවිත් දෙන ලදී. පහත පලවන්නේ එම ලිපියයි.)

අතිශය කුරිරු(Cruel) මිනීමරු පාදඩ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ(LTTE) ත්‍රස්තවාදීන්ගේ මිනීමරු ත්‍රස්ත ක්‍රියාකාරකම් තාමත් නවතා(Stopped) නැති බවට අති ප්‍රබල සාක්ෂි(Evidence) මේ වන විට අනාවරණය වෙමින් පවතී. මේ පිළීබඳව ආරක්ෂක(Security)  බුද්ධි අංශයන්ගේ ඇහැ(Eye) ඇරුණේ පසුගිය දිනෙක දිනමින(Dinamina) පුවත්පතේ ප්‍රවීණ යුද(War) විශ්ලේෂක මාධ්‍යවේදිනියක් විසින් කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක් නිසාය. ඇය(She)  වාර්තා(Report) කරන අන්දමට මොවුන්ගේ කුරිරු වැඩ බන්ධනාගාර තුලද ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට උන් උපායශීලීව සමත් වී ඇත.
 
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සතුව තිබූ 3G තාක්ෂණ යුද ජංගම දුරකථන 2ක් සොයාගැනේ
පසුගිය 24දා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ ප්රකෝපකාරී හැසිරීම් නිසා උද්ගත වූ ගැටුම් අවස්ථාවේදී බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට ගෙන ගිය එල්.ටී.ටී.. සැකකරුවන් සතුව තිබූ 3G  තාක්ෂණයෙන් යුත් යුද ජංගම දුරකතන 02 ක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
මේ එල්.ටී.ටී.. රැඳවියන් රඳවා සිටි කාමරයක සඟවා තිබී එම ජංගම දුරකථන හමුවී ඇති අතර ඇතිවූ කලබලය මධ්යයේ ඔවුනට ඒවා අදාල ස්ථානයෙන් රැගෙන යාමට නොහැකි වී ඇත. ජාත්යන්තරයට පවා ඇමැතුම් ලබාගත හැකි සබඳතා පහසුකම් ඇති මේ ජංගම දුරකථන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට.............
ඒ අනුව ඊයේ(Yesterday) බන්ධනාගාර නිලධාරී රණවිරුවන්  විසින් බන්ධනාගාරගතව සිටින රුදුරු එල්.ටී.ටී.ඊ(LTTE) සැකකරුවන් (ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්) විසින් භාවිත කොට ඇති අති ප්‍රබල සූක්ෂම යුද(War) ජංගම දුරකථන දෙකක්(02) අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මෙම උපකරණයට යොදන අධිබල බැටරියකි. ත්‍රස්තවාදියෙකුට අවශ්‍යනම් වැඩි ඩෝල්ටීයතාවයක් යොදා මෙය ආරෝපණයෙන් පහසුවෙන් පුපුරුවා දැමීමටද හැකි ලෙස නිර්මාණය කොට ඇත.
බුද්ධි අංශ විසින් වාර්තා කරන  අන්දමට මෙම දරුණූ යුද උපකරණයන් නිපදවා(Made) ඇත්තේ බටහිර යුරෝපා ක්‍රිස්තියානි රාජ්‍යයක් වන පින්ලන්තයේ(Finland) පිහිටා ඇති කුප්‍රකට සමාගමක් විසිනි. එම සමාගමේ ශ්‍රී ලංකා(Sri Lanka) නියෝජිතයා වශයෙන් මෙරට කටයුතු  කරන බටහිරගැති විජාතික කූට ඊනියා ව්‍යාපාරික සමාගමක් විසින් මෙම උපකරණ රහසිගතව මෙරටට ආනයනය(Import) කරන්නට ඇතැයි සැක කෙරේ.

සමාන්‍යයෙන් හතරැස්(Square) හැඩැති මෙම විශේෂිත උපකරණ රහසිගතව(Secret) භාවිත කල හැකි පරිදි නිපදවා ඇත. ඕනෑම මොහොතක සාක්කුවක(Pocket) වුව සඟවාගත හැකි මෙය බරින්ද ග්‍රෑම්(g) අසූවකට(80) වැඩි නොවන බව වාර්තා වේ. මෙම උපකරණ අභ්‍යන්තරය ඇසට පවා පෙනෙන නොපෙනෙන ප්‍රමාණයේ(Size) ඉලෙක්ට්‍රොනික කොටස් අධි නූතන තාක්ෂණය(Technology) මගින්
අතිශය සියුම් ලෙස එකලස් කිරීමෙන් නිමවා ඇත.

ජාත්‍යන්තර(International) යුද විශේෂඥයින් පවසන පරිදි මෙම උපකරණ වල ප්‍රධානතම ප්‍රයෝජනය වනනේ කිලෝමීටර්(km) දහස් ගණනක් දුර සිට වුව ත්‍රස්ත නායකයාට තම කේඩරයන්ට සෘජුව අණ දීමට(Order) හැකිවීමයි. එමෙන්ම යුදබිමේ නවතම(Latest) තොරතුරු වාචිකව හෝ ජායාරූප/වීඩියෝ(Video) මගින් හෝ නායකයන්ට දැනුම්දීමේ උපරිම පහසුව ත්‍රස්තවාදීන්ට ඇත. එමෙන්ම මෙහි පවතින 3rd Generation(3G) නමැති අති නවීන තාක්ෂණය හේතුවෙන් ඕනෑම ත්‍රස්තවාදියෙකුට අන්තර්ජාලය(Internet) ඔස්සේ නවතම යුද උපක්‍රම සහ සැලසුම් අධ්‍යයනය කිරීමටද, ඒවා තම කණ්ඩායමේ ත්‍රස්තවාදීන් අතර බෙදාහැරීමටද(Share) හැකිය.

මෙම උපකරණ සඳහා ත්‍රස්තයන්ට සංඥා ලබාදෙන කුළුණක් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රහසේ ඉදිකර ඇති අයුරු
විශේෂයෙන් රාත්‍රීකාලයේ ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීන් යන අවස්ථාවලදී ප්‍රයෝජනය පිණීස ඉතා කුඩා(Small) විදුලි පන්දමක්ද(Torch) මේවායේ අන්තර්ගත කොට ඇත. එමෙන්ම ඉලක්කගත ප්‍රහාර සඳහා රාත්‍රීකාලයේ ස්ථානගතවී සිටින විට හදිසියේ නින්ද ගියහොත් නියමිත වේලාවට අවදිවීම සඳහා විශේෂිත යුද එලාම්(Alarm) පද්ධතියක්ද මේවායේ ඇත. එමෙන්ම සමූලඝාතක බර අවි ප්‍රහාර(Attack) සඳහා යොදවා ඇති ත්‍රස්තවාදීන්ට රොකට් ලෝන්චර් වැනි උපකරණ ඉලක්ක කිරීමේදී අදාල කෝණ නිවැරදිව ගණනය(Calculate) කල හැකි වන සේ කුඩා ගණක යන්ත්‍රයකින්ද මේවා සමන්විතය. ගරිල්ලා ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනයා අතර ගැවසෙද්දී  නායක  උපදෙස් වාචිකව ලබා ගැනීම අනතුරුදායක වන අවස්ථාවන්හිදී, එම උපදෙස් හඬ(Sound) නොනැගෙන සේ කෙටි(Short) පණිවිඩ ලෙසද ලබා ගැනීමට මේව‍ායේ හැකියාව පවතී.
ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙකු මෙම උපකරණයෙන් තම සාමාජිකයන්ට නියෝග නිකුත් කරමින්.....

මෙම උපකරණ හරහා හුවමාරු කෙරෙන තොරතුරු වල ආරක්ෂිත බව ඉතා ඉහලය. මේ සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම(Team) විසින් තම සාමාජිකයන්ට එකිනෙකට වෙනස් වූ Subscriber Identity Module (SIM)  නම් කුඩා උපාංගයක් මෙම යන්ත්‍ර වලට ඇතුලත් කරනු ලබන අතර එමගින් එක් එක් සාමාජිකයාට(Member) වෙන වෙනම ඇමතීමට හැකිවේ. එමෙන්ම තොරතුරු ලබාදෙන උපකරණයේ අනන්‍යතාව(Identity) සොයාගත හැකි Caller Line Identification (CLI) නම් විශේෂිත පහසුකමක්ද මේවායේ අන්තර්ගතය.

ත්‍රස්තවාදීන්ගේ සියළු තොරතුරු ඇතුලත් වන Subscriber Identity Module නම් විශේෂිත උපාංග දෙකක්. මෙම උපාංග සවි කිරීමෙන් තොරව මෙම යුද උපකරණ ක්‍රියාත්මක කල නොහැතිය.
මෙවන් නූතන යුද උපකරණ ත්‍රස්තවාදීන් අත පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තම මව්බිම වෙනුවට ඩොලර්(Dollar) ලෝභයෙන් කටයුතු කරන කූට ජාවාරම්කරුවන්ය. මේ වන විට ජන අරගල කණ්ඩායමේ කැරළිකරුවන් අතරද මෙම උපකරණ කිහිපයක් හෝ තිබෙන්නට ඉඩ ඇති බව බුද්ධී අංශ විශ්වාස කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින(Island) පුරා ආරක්ෂක විමර්ශණයක් පවත්වා මෙම යුද උපකරණ භාවිත කරන ත්‍රස්තවාදින් සියළුදෙනා අත්අඩංගුවට(Arrest) නොගතහොත්, මහත් විනාශකාරී ඛේදවාචකයක් නුදුරෙදීම සිදුවීමට ඉඩකඩ ඇති බව අවසන්(Last) වශයෙන් සටහන් කොට තබමු.

- පචකීර්තිනේකවර්ණමාරකුලසූරිය

Monday, January 23, 2012

සන්නස්ගල අංකල් වෙතයි.... :)

අඩුමගානේ මීට වසර දහයකට දොලහකට පෙර වත් ඇස ගැටුනේනම්, කිසිදු ගේමක් නැතිව කෙල්ලන් පහ හයකට වත් ලියා යැවිය හැකි සින්දුවක් අද අහම්බෙන් ඇසුනි.
අපේ කාලයේ ගැටවර විය යනු බයිසිකල් කටු වල නැගී ඉගිල්ලුන සමයයි. එෆ්.එම් රේඩියෝ වලට වහ වැටුන සමයයි. රූපවාහිනියේ රොබින්හුඩ් කටින් බලපු සමයයි. යෞවන සමාජවල ශ්රමදාන කරපු සමයයි. ප්රවෘත්ති දැනගන්නට පත්තර බලපු සමයයි. පණ දාගෙන සිංහල චිත්‍රපටි බැලූ සමයයි. පහේ පත්තර බඩතුරේ හංගාගෙන බැලූ සමයයි.

අපිත් ආදරේ කලෙමු. එය තේරුම් කලේ ස්වභාව දහමෙනි. ( පරිසරයට ආදරේ හින්දා නොවේ. වෙන ඉටිගෙඩියක් නොතිබූ හෙයිනි). කෙල්ලගෙ මූණ හඳය. ඒකිගෙ ඇස් තරුය. සඳ එළිය සළුවකි (රෙද්දකි). හාවෝ සමනලයෝ මුවෝ වැනි ශාක භක්ෂක සත්තු රැසක් ඒකිට උපමා පිණිස යෙදේ. දෙතොල් මත තබන්නට යන්නේ 'අමා මී' . ඒකිගේ සුසුම් (හුස්ම) සීත සුළං රැල්ය. තව කඳු, ගංගා, මල්ජාති, පිණි, (පිණි පලස :P ) දේදුන්න, බෝ කොල, මුහුද, ගස්, වැල්..... ඔය වගේ ස්වභාවදහමේ අයිටම් හැටහුටහමාරක් සිව්පද වල ගලපා තැපැල් දෙපාර්තමේන්තුවේ පිහිටෙන් ලව් හුටපට පවත්වාගෙන ගියෙමු. කොටින්ම අපේ ලව් මහපොලොවේය. කෘෂිකාර්මිකය. මන්දගාමීය. සරුසාරය. තීරණාත්මකය.
හරියටම මේ වගේය.....

රාත්රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා.....

සඳ සළුව ලිහේනම් සුළං රැල් හමා//
හාදුවක් තියන්නම් ආදරෙයි කියා.....

දෙතොල් මත රැඳෙන්නම් අමා මී පොවා//
ආදරේ දොවන්නම් පපුතුරේ හොවා....

රාත්රියේ පිපෙන්නම්.............

ප්රශ්නෙ මේකය. මේ සින්දුව කියන්නේ 2012 හේ කඩවසම් ගැටවර කොලුවෙකි. මේ කියන්නෙත් අයිපොඩ්/ එස්.එම්.එස්/ ෆේස්බුක්/ ඩිස්කවරි බයික්(අඩුමගානෙ)/ ෆේෂල්/ ට්රීම්/ ..... නාම්බන් සහ නෑම්බියන්ගේ ආදර හදවත් වලටය.

කියන්නෙ මුංගේ ඇඟ මොඩ් වුනාට ලව් තාම කෘෂිකාර්මිකද? අන්තිමේ හොයලා බැලින්නම් රහස මේකය. සින්දුව ලියා ඇත්තේ අපිටත් ලව් සින්දු ලියපු නාකි සන්නස්ගලය :).

සන්නස්ගල මහතාණෙනි, ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලො කෙල්ලො ටිකත් කෘෂිකාර්මික සන්නස්ගල පැටවු නොකර, උංගෙ භාෂාවෙන් උන්ට ඕනෙ මගුලක් කියාගන්ඩ දීල දැන්වත් වයසට හරියන වැඩකට අතගහමුද?

මොනව උනත් මේ සින්දුවට මං මාර ලයික් ය.

Saturday, January 14, 2012

'පුංචි පහේ' බෞද්ධයෝ....


පුංචි පහේ කිව්වට දැන් වයස හතකි. දෙක වසරේය. තනියම කතන්දර පොතක් කියවා තේරුම් ගැනීමට හැකියාව ඇත. ඒක කොහොම වුනත් දැන් දැන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමටද පටන් ගෙන ඇත. මම මේ දවස්වල හොයන්නේ මේ ප්‍රතිපත්ති මොකාගේදැයි කියාය.

අද රාත්‍රී ආහාරය ගැනීමේදී ඇයට බෙදාදුන් මාළු කෑලි දෙකක් වෙනත් භාජනයකට දමා ඒවා ආහාරයට නොගෙන සිටියාය. බැලින්නම් ප්‍රතිපත්තිමය තීරණයකි.

"මං මස් මාළු කන්නෙ නෑ තාත්තියො......"
(හුටා...!)
"ඇයි ඒ......?"
"හොඳ නෑ... පව් සිද්ද වෙනවා..."
"ඒ කොහොමද?"
"සත්තු...මාළු..... මරලනෙ මස් ගන්නෙ"
"ඉතිං ඔයා මරන්නෑනෙ"
"ඒ වුනාට මටත් පව් සිද්ද වෙනවා"
"එතකොට මොකද වෙන්නෙ ?"
"ලබන ආත්මෙ සත්තු වෙලා උපදිනවා...."
"කොහොමද දන්නෙ?"
"මං දන්නවනෙ..."
"කවුද කිව්වෙ....?"
"මට කිව්වනෙ......"

ඇයව තවමත් දහම්පාසල් යවන්නේ නැත. එය මගේ තනි මතයට සිදුවන්නකි. ඒ ඇය ඉරිදා දිනය පුරා සෙල්ලම් කරනවාට මා කැමති නිසාය.  එසේනම් මේ 'ධර්ම කරුණු' ඇය පාසැලෙන් හෝ නිවසින් ඉගෙන ගත්තක් විය යුතුය.

"ඔයාලගෙ බුද්ධාගම පොත මම බැලුවනේ... ඒකෙ සත්තුන්ට කරුණාව දක්වන්න කියල මිසක් මස් මාළු කන්න එපා කියල නෑනෙ......."
"ඒ පොතේනෙ......"
"එහෙනං......?"
"පියුමි කිව්වෙ...."
"පියුමි කොහොමද දන්නෙ...?"
"පියුමි විතරක් නෙමේ. වගීෂ.... නෙත්මි.... නිෂාරා.... ඔක්කොම ලමයි දන්නවා...."
"ඒ කොහොමද?"
"ඒගොල්ලන්ට දහම්පාසැලෙන් කියල දීල තියෙන්නෙ....."

මා දන්නා තරමින් ඇගේ පන්තියේ ඇයත්, තවත් කිහිප දෙනෙකුත් හැර අන් සියල්ලෝම දහම් පාසල් යති.


"දැං ඒ ලමයි කවුරුවත්ම මස් මාළු කන්නැද්ද....?"
" හුඟ දෙනෙක් කන්නෑ....  බිත්තර විතරයි කන්නෙ...."
"ඇයි බිත්තර....?"
"අයියෝ... ඕක දන්නැද්ද? බිත්තර ගනිද්දි කිකිලි මැරෙන්නෙ නෑනෙ..... ඒත් පියුමියි තව කීපදෙනෙකුයි බිත්තරවත් කන්නෑලු....."
"හැබැයි තාත්තියො කීප දෙනෙක් නං තාම මස් මාළු කනවලු.... ඒ ගොල්ලන්ට නං සත්තු වෙලා තමයි උපදින්ඩ වෙන්නෙ......"
"දැං එහෙනං මාත් සතෙක් වෙලා ඉපදෙයිද?"
"අපි දන්නෑ... ඔයාටත් නවත්තන්ඩ වෙයි.... ඔයා මදුරුවොත් මරනවනෙ....."
"ඒත් මමනං හිතන්නෑ මස් මාළු කෑවට සත්තු වෙලා උපදියි කියලා..."
"ඒ ඔයානෙ.... පියුමිලට හාමුදුරුවො කියල දීල තියෙන්නෙ...."

ඒකත් ඇත්තය. මම වගේද හාමුදුරුවො.

"හාමුදුරුවො අහනවත් එක්කලු කවුද මස් මාලු කෑවෙ කියලා......"
"දැන් එතකොට ඔයාලට පෝෂණය ලැබෙන්නෙ කොහොමද?"
"ඇයි එලවළු... පලතුරු.... පලාජාති...... ඔය හරක් ලොකූඌඌවට හැදෙන්නෙ මස් කාලද?"
"ඒත් දැන් ඔයා මැල්ලුම් කාලත් නෑනෙ?"
"ඒ.... ඉතිං........."

මස් මාළු නොකෑම නරක දෙයක් නොවේ. නමුත් ඒ අවබෝධයෙන් කරන්නේනම්ය. දරුවනට බොරු කියා හෝ බලහත්කාරයෙන් එදෙසට යොමු කිරීම මූලධර්මවාදයක් නොවේනම් වෙන කුමක්ද?