Sunday, July 17, 2011

රත්නවල්ලිය බැසයයි - අනුරපුරයට සාමයේ අරුණළු......

ගිය බදාදා පාන්දර තුනට විතර මම හිටියේ අයි.ටී.එන් නිව්ස් බලබලා. නිව්ස් කියන කෙලිපොඩ්ඩි ඇඳං උන්නෙ බාගෙට නිරිවස්තරෙන් හින්ද මට තේරුණා කොහේ හරි වයර් එකක් පැටලිලා කියලා. පස්සෙ මම තේරුම් ගත්ත විදිහට මේක ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශයක්. මෙන්න මෙහෙම නිව්ස් එකක් ගියේ.

අනුරපුර නගරයේ සංවර්ධනය උදෙසා ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය

අතිගරු දුටුගැමුණු මහ රජතුමා විසින් කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත් අනුරපුර නගරයේ සංවර්ධන කටයුතු සඳහා එහි වෙසෙන ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය පළවී ඇති බව අප වෙත වාර්තා වේ.
මේ අතර ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින එම ප්‍රදේශවල පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අතිගරු රජතුමා විසින් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ඉදිකෙරෙන අඩි 300 ක් උසැති ‍චෛත්‍ය රාජයා ඉදිකෙරෙන භූමියද නිරීක්ෂණය කරන ලදී.
එම භූමියේ මෙම අගනා නිර්මාණය සිදු කිරීම පිළිබඳව ගාඩි වංශික ජනයා වත්මන් රජය වෙත සිය ප්‍රසාදය පළකර සිටී. එමෙන්ම එම භූමියේ පිහිටි තෙළඹු ගසක තාවකාලිකව වැඩසිටි ස්වර්ණමාලි නම් ගාඩි වංශික ප්‍රජාවගේ ඇදහීමට ලක්ව සිටින දේවතාවියද මෙම උතුම් කාර්යයට ආශීර්වාද කොට ගසෙන් බැස ගොස් ඇති අතර, එයට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම සෑය ඇගේ නමින් නම් කිරීමටද අතිගරු රජතුමා විසින් තම නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
මෙම තෙළඹු ගස කපා දැමීමේ මහෝත්සවය මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී අනුරපුරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇති අතර එය නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව සඳහා සියළු පහසුකම් සපයා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. මෙම තෙළඹුව කපා දැමීමේ උත්සවය අප නාලිකාව ඔස්සේද සජීවීව විකාශය කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.
රැඳී සිටින්න අප සමගම....

කතා දෙකක් නෑ. ඒක හීනයක්...!

ස්වර්ණමාලි ආවේ පාන්දර ජාමේ. හොඳටම අඬලා එයාගෙ ඇස් තඩිස්සි වෙලා තිබුණෙ. මහාථූපය හදන්න ඉඩදීල එයාගෙ විමානෙන් බැහැල ආපු නිව්ස් එක ඇත්ත කියලා මට එවෙලේ තේරුණා. ඒත් මං එක්ක කිව්වෙ මෙහෙම කතාවක්.

හා කිව්වා තමයි.
බෑ කිව්වත් වෙනසක් නොවෙන හින්දා....
විමානෙ අපේ උනාට
පොළොව දුටුගැමුණුගෙලු.....

දිග් විජය කොට අනුරපුර....
මහ පිරිවරින් එන සඳ
හෙලූ එක බැල්මෙන්ම මම දැනගත්තා
අපත් අයත් වග
අධි ආරක්ෂිත කලාපෙට.....

කප් සුවහස් කලක්....
වරිගත්තැන්ගේ දුක් කඳුළු උරාබිව්
පණ ගැහෙන තෙළඹුව කපාදමා
තනන්නටලු යන්නේ අජීවී සෑයක්.....
කාගෙදෝ ඇටකටු නිධන්කොට.....

මොනව කරන්නද?
රාජ්‍ය ප්‍රතිපත්ති නෙව...?

ගියොත් කලබල නොකර
සාමයෙන්....
දානවලු මගේ නම ඔය සෑයට.....
අපි ඉතිං ගෑණු වෙච්චි.....

ඉතින් මේ ලෑස්තිය
නික්ම යන්නයි....
සරණාගත ආරණ්‍ය කඳවුරට...

පොරෝ පහරින් පහර
වැදී හද දැදුරුව
මියෙන්නට තිබුණනම්
යටව ඇද වැටෙන තෙළඹුවටම...?

එහෙත් ඇත රකින්නට වරිගයක්.....
කෙදින හෝ උන් වැඩී වනමැදම
සදාවි සත්තයි මහ තෙළඹුවක්....
ගැමුණුගේ දොරකඩම....

හඬනවා නෙමෙයි මේ....
සුළුපටු සතුටක්ද?
සාමයේ අරුණැල්ල පැමිණිකොට
අනුරපුරයටත්...!

කතා දෙකක් නෑ. ඒකත් හීනයක්...!!