Sunday, December 4, 2011

අධිවේගෙට ආල වඩන සියාතුවේ......

සියාතුවේ ඉතිං කොහොමද බං...? පහුගිය ටිකේ උඹලව අමතකම වෙලා තිබුණෙ....... රටේ තියෙන ප්‍රශ්නත් එක්ක... දන්නැද්ද?.... එහෙං අර සුදුකොඩි කේස්එක... අරහෙ ජේවීපී එක කැඩිලා.... යූ.එන්.පී එකෙත් අභ්‍යන්තර අර්බුදනෙ.... හාබර්එකේ ගලේ ප්‍රශ්නෙ නං ඉවරයි..... දුමින්දගෙ කේස්එක..? එපාම වෙනවා බං.... මුං රෙදි ගලෝගෙනනෙ නාගන්නෙ... අපිට තමයි පාරෙ බැහැල යන්ඩ බැරි.... හැබැයි ජනාධිපතිතුමා කෙලින් මිනිහා.... ඒ නොවෙන්ඩ..මේක...... ඇයි බං ආසනික්...?

ඉතිං කොහොමද? අගිදා උන්දෑ සනීපෙන්ද? පොඩි එකී බැන්දයි? ආ... උඹේ පොටෝ එකක් ෆේස්බුකියෙ දාල තිබුණා.... උඹ කහ ඉරකින් පාර මාරුවෙනවා... මම උඹේ පිටෙන් අඳුනගත්තෙ... ඔන්න හොඳඑකා වගේ පාර පනිද්දි ඔය විදිහට කහ ඉරෙන්ම පැනපං රජෝ..... අපිත් පාරෙ යන්නෙ දාහක් ප්‍රශ්න මැදනෙ බං.... අපිටත් කහඉර දැක්කාම තමා මේක පාරක් කියල මතක් වෙන්නෙ... හහ්... උඹලට ඉතිං මේවා ඇඟිල්ලෙන් ඇනල කියල දෙන්ඩ ඕනෙ  නෑ තමා.... ඔය අනුකාරක උගතුන්ට වඩා උඹලා වගේ අව්‍යාජ සිංහල ගැමියො කොහොමත් බුද්ධිමත්...

ඇත්තටම සියාතුවේ උඹල හින්දා තමා අපි අද බයක් නැතුව පාරෙ බැහැල යන්නෙ.... ඉස්සර කොයි වෙලේ කොතන පුපුරනවද..... අම්මෝ එහෙමත් කාලයක්..... අපේ ජන ජීවිතේ එහෙම පිටින්ම කඩා වැටිලනෙ තිබුණෙ බං.... මොනව උනත් 2004 දි උඹල තමයි මේක ගොඩදැම්මෙ.... උඹල පොලිටිකලි කරෙක්ට් සියාතුවේ...... කොළඹ බිස්නස්කාර හැත්ත ඩොලර් වලට මේක පාවල දෙද්දි ඈත හද්ද ඩොටේ ඉන්න ලංකාවෙන් තුන්කාලකට වැඩි උඹල මේක දිනෝල යුද්දෙ කරන්ඩ පුලුවන් නියම නායකය තැනට ගෙනාවනේ..... ආ.... අර චෙන්කලාඩි වලදි අතුරුදහන් වෙච්චි ගුණසිරි කොලුවගේ දීමනාව දිගටම ලැබෙනව නේද? මට ආරංචියකුත් ආව උඹල ඒ සල්ලිවලින් කොලුවට පිං පිණිස පන්සලට ලවුඩ්ස්පීකරයක් පූජා කලා කියල.... අන්න හොඳ වැඩ සියාතුවේ. බොහොම පින්.... ඔයවගේ ඒව තමා කරන්ඩ ඕනෙ... අපේ ශාසනේ අපිම රැකගන්ඩ එපායැ....

ඉතිං කොහොමද පවුලෙ විස්තර...? රංජනි කෙලී තාම රටද? ඒකිගෙ මිනිහා තාම කසිප්පු බිබී ඇවිදිනවද? ඕකුං ගංවල තියාගන්ඩවත් හොඳ නෑ බං...... අර කෙලී අරාබියෙ හැලිවලං හෝදල එවන තුට්ටු දෙක..... මතක ඇතුව උංගෙ කෙලි පැටව් දෙන්නා උඹල ගාවම තියාගෙන ඉස්කෝලෙ ඇරපල්ලා... ඔහොම බේබදු තාත්තල විස්වාස නෑ... අම්මෝ පත්තරවල තියෙන එව්වා.....  ඔය ඉඳහිටලවත් පත්තරයක් අරං බලපල්ලා... රට තොට ගැන දැනගන්ඩ......

ආ... රංජනිය ඇවිත් ආපහු රට යන්ඩ හැදුවොත් ලියාපදිංචි විදේශ රැකියා එකකින්ම යන්ඩ කියපං.... රට යන ගෑනුංව මරල අවයව කපාගන්න එකක් ඔය අරාබි හැත්ත කොරනවයි කියල ඉන්ටර්නෙට් එකෙත් තිබුනා.... බැරි වෙලාවත් එහෙම එකක්වත් උනොත් උඹලට වන්දියක් වත් ගන්ඩ බැරිවෙයි..... හැබැයි ඔය හොර ඒජන්සි වලට අපේ ආන්ඩුව බොහොම තදින් ඉන්නවා....

නිහලා තාම වැලි ගොඩදානවද? ඌට ඉක්මනින් කටයුත්තක් කරල දාපං සියාතුවේ..... ගෙවල් හදාගන්නකං උන්නොත් ඕකා බේබද්දෙක් වෙලා නවතින්නේ..... පොඩි එකී ගාමන්ට් යනවද? අපරාදෙ.. ඒකිට විශ්‍රාම වැටුපක් දෙන්ඩ හදපු එකත් ජේවීපී කාරයො කෑවනෙ.... කමක් නෑ... ඒකි උඹලට බරක් නොවී ඉන්න එකම මදෑ.. අඩුගානෙ ඒකිගෙ රත්තරං බඩු ටිකයි... ඊපීඑෆ් එකෙන් කසාදෙට ගානකුයි වත් එකතුවෙන්නැතෑ....

ආ.... උඹලගෙ ගෙවල් පාර කොන්ක්‍රීට් කලාලු නේද? දැං ඉතිං මඩ ගොඩවල් පාගන්නැතුව සුද්ද වගේ ගෙදර යනව ඇති. ඇත්තටම රටේ කැපී පේන සංවර්ධනයක් තියෙනව බං.... (උඹලගේ චන්ද බලේට පින්සිද්ද වෙන්ඩ තමා). උඹලා ටීවී එකෙන් දකින්ඩ ඇති ඊයෙ පෙරේදා විවෘත කරපු අධිවේග මාර්ගෙ.... පෙරේදා පවුල පිටින්ම අපිත් ඕකෙ ගියා.... පිස්සු හැදෙනවා සියාතුවේ.... අපිත් කවද කාපු ටකරංද? හහ්.... ඇත්තටම අපි ලෝකෙත් එක්ක යන්ඩ මේවා තව හැදෙන්ඩ ඕනෙ..... බලපං.. කොච්චර කාලෙ ඉතුරුද? අධ්‍යාපනය, සෞඛ්‍යය ඔය කොයි දේත් ඒ එක්ක සංවර්ධනය වෙනවා.... එව්වගෙ ප්‍රතිලාභ පෙරිලා පෙරිලා හරි අන්තිමට උඹලටත් එනවනෙ බං..... අනික ආයෝජකයො උනත් ඕව දැක්කාම මෙහෙ එනවනෙ.... ඉතිං උඹගෙ කෙල්ලට උනත් තුට්ටු දෙකට එක ගාමන්ට් එකකම කඹුරන්ඩ ඕනෙ නෑ.... එකක් නැත්තං තව සීයක් තියෙයි. ඕකනෙ බං සංවර්ධනේ.... විදේශ විනිමය....

ආ... පොඩි වැඩක්.... මේ... ඕවට වියදං කරන්ඩ අපේ දුප්පත් රටේ සල්ලි නෑනෙ බං... ඉතිං පොඩි විදේශ ණයක් අරං තමා ඕක ආන්ඩුවෙන් හැදුවේ.... කියන්නෙ අපි වගේම උඹලටත් ඕකෙන් සොච්චමක් ගෙවන්ඩ වෙයි. මහ ගානක් නෙමේ. එකෙකුට දෙදාස් හත්සිය ගානක් වැටෙන්නෙ.... උඹලගේ පවුලෙ හත්දෙනයි නේ? අනේ සියාතුවේ ඒක ගෙවපං..... හදිස්සියක් නෑ. තව සෑහෙන කාලයක් තියෙනවා... තව අවුරුදු පනහකින් හරි උඹලගෙ මුණුබුරෙකුටවත් ඕක ප්‍රයෝජනවත් වෙනවමනෙ....
(අනික උඹලගෙ පැත්තටත් ඔයින් එකක් එයි. තව පහ හයක්ම හදනවයි කියන්නෙ)

ආ... ඉතිං ඔය පිටිසර ගම්මානවලම රිංගගෙන ඉන්නෙ නැතුව ලොරියක් කතාකරගෙන වත් ඇවිල්ල මේක බලහල්ලා... ඈත ඉඳං බලන්ඩ දෙනවා.... මේවා අපේ ජීවිත කාලෙදිම බලාගන්ඩ ලැබෙයි කියල කවුද හිතුවේ...? අපි ඒකට පිං කරලා තියෙනවා බං.......... ටීවී එකෙන් දැක්කා වගේ නෙමේ බං. හැබෑවට මරු....

ආ..... අහන්ඩ බැරිවුනා... කොහෙද උඹ අර දාඩිය දාගෙන කහ ඉර පැනං ගියේ...? මෙහෙමයි සියාතුවේ... ඔය ටවුන්බද යනකොට කමිසයක් සෙරෙප්පු දෙකක්වත් දාගෙන යමං.... (උඹලට සල්ලි නැතිකම නෙමෙයිනෙ.... යකෝ වී වලට සහතික මිලකුත් දීල තියෙද්දි.....) . මොකද මේ පොටෝ ජාත්‍යන්තරේට යනවනෙ බං.... අන්තිමේදි අපිව කන්ඩ බලං ඉන්න පර සුද්දො සිංහල බෞද්ධ ගැමියා කියන්නෙ කැලේ ඉන්න වැද්දෙක් කියල ගත්තොත් අපි කොහොමද ටයි කෝට් ඇඳං ඕකුං ඉස්සරහට යන්නෙ...? උඹ වැරදියට හිතන්ඩ එපා හරිද? මොනා උනත් මේ රටේ රජ කරන්නෙ උඹලගෙ සිංහල බෞද්ධ අව්‍යාජ ගැමි මතවාදෙ...... ඒ වෙනුවෙන්ම නියම නායකයත්වයත් අපිට තියෙනවනෙ.....අපි ඒ වෙනුවෙන් මරාගෙන උනත් මැරෙනවා.... මං ඊයෙත් ෆේස්බුක් එකේ ඉන්න අවජාතිකයෙකුට ඇටෑක් කලා..... මං ඌට දෙන්ඩ ඉන්නෙ.......

ඉතිං සියාතුවේ.... වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්ඩ එන්නං.... මේ දවස්වල හොඳටම බිසි. පොඩි ස්කොල් එකක් හම්බුනානෙ බං... ඒකට රට යන්ඩ කලිං මේවා එකලාසයක් කරල දාගන්ඩ එපායැ....... මම නවතින්නං. උඹට බුදු සරණයි.
________________________________________

ප/ලි-
වැදගත් දෙයක් අමතක උනා සියාතුවේ. උඹ දන්නවද ජනගහන ජිහාඩෙ? ඒක ටිකක් ගැඹුරු සංකල්පයක්. කොටින්ම මුස්ලිම් කාරයෝ උංගෙ ජාතිය බෝ කරලා තව අවුරුදු ගානකිං මේ රට අල්ලගන්ඩ හදන්නෙ. ඉතිං සියාතුවේ අපිටත් කරන්ඩ තියෙන්නෙ පුලුවන් තරං සිංහල ලමයි හදන එක තමා. මෙහෙ ඉන්න අපි සුලු පිරිසට මේක කරන්ඩ බෑ. රටේ තුනෙන් දෙකක් ඉන්න උඹල තමා මේකට බහින්ඩ ඕනෙ. උඹලගෙ කෙල්ලන්ට කොල්ලන්ට මේවා කියල දීපං. පුලුවන්තරං හදන්ඩ කියපං. ඔය ගංකරේ කෙල්ලො ගාමන්ට් නොගියට, රට නොගියට බඩගින්නෙ මැරෙන්නෑනෙ බං...... උඹේ අඳ කුඹුරු අක්කර බාගෙ තියෙනකං උං ලුණු කැඳ බිබී හරි වදන්ඩ කියපං. අපේ උතුම් ජාතියේ ඉරනම තියෙන්නෙ රටේ තුනෙන් දෙකක් වෙන  උඹලගෙ අතේ තමා.
(සියාතුගේ පින්තූරය ගත්තේ  Sudesh Karunathilake ගේ වෝල් එකෙන්)

Saturday, December 3, 2011

වස්සානයට අත වනලා... ඉමු මග බලන්....


උදේ එකොලහයි විස්සයි. දුරකථනයේ අතහැරුනු ඇමතුම් තුනක්. එකක් චාටර් එකක්. අනික දුක්ගැනවිල්ලක් විය යුතුයි. අනික හිතාගන්න බැහැ. හිතාගන්න බැරි එක ඩයල් කලා.......
"ආ..... කොහොමද?"

හිත හිරිවැටුන ඒ හඬ වසර තුනකට පස්සෙ.  ඇය මගෙන් සමු අරන් වසර හතක්.

"ඕ.... ගෝඩ්.... ඔයා..... ඔයා...?...."
"ඇයි...? මම තමයි.... මොකද බයවුනාද?......."
"ම්...... ?!....?"
"ගෙදරද ඉන්නෙ? ...මම තියන්නම්..."
"ඕ.... හෝව්.. හෝව්.... අවුලක් නෑ.... මොකද හදිස්සියෙ...."
"නෑ ඉතිං.... දැං මෙහෙම කතා කරන එකත් හරිනෑනෙ නේද?... නෝනා.....?.....(හැකර හිනාවක්)"
"එ...හෙම්ම කෙහෙම්මලක් නෑ..... අවුරුදු කීයකින්ද මේ......"
"ඇයි? දැන් නෝනා නැද්ද?"
"නැත්තෙ මොකද?... ඉන්නවා... අවුරුදු කීයකින්ද.........."
"ඔව් ඉතිං.... අපිම කතාකරන්ඩ ඕනෙ.........."
"ඉතිං මට කතා කරන්ඩ නම්බර් එකක් තිබුනයැ......"
"හ්ම්... ඔහොම තමයි ඉස්සරත්......"
"කොහොම....?"
"ආ... හරි හරි... එව්ව දැන් වැඩක් නෑනෙ......."
"ඇයි......?"
"එව්ව දැන් වැඩක් නෑනෙ අයියෙ.... අපි අඩුකුලේනෙ......ඒක නෙමේ..........."
"මගුලක් කතා කරනවා......."
(අනිත් පැත්තෙන් අර හැකර හිනාව)

ඉස්සරත් මේකි මට දමල අනින්නෙ ඕකෙන්. එයාගෙ කුලේට කියන නම මම අදටත් දන්නෑ. මම මොන කුලේද කියලත් හොයන්න තාමත් මට ඕනෙ උනේ නෑ. අපේ සම්බන්ධය ඇසුරෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනෙත් නෑ. නමුත් මහත් වේදනාකාරී සමුගැනීමක් අවසානයේ ඇය මට හොඳින්ම රිද්දන්න පුළුවන් විදිහෙ දෙයක් හොයාගෙන තිබුණා.

"මං ඔයාව දැක්කා සති තුනකට විතර උඩදි.... බස් හෝල්ට් එකේ.... මහත්තයයි... බබයි...ගෙදර ආවද?"

ඒකි දැන් ඉස්සරට වඩා ලස්සනයි. ඇත්තටම කැත ඇති. ඒත් ලස්සනයි.

"හ්ම්.... මාව දැකල අහක බලාගෙන ගියෙ...... "
"ඔයානෙ අහක බලාගත්තෙ..... මහත්තයත් හිටපු හින්දා ... මොකක්හරි එකක් කියලා හිතලා මාත් පාඩුවේ ගියා....."
"පිස්සු..... කුමාර තමයි ඔයාව මට පෙන්නුවෙත්.......!

මේකි ඉස්සර වගේම බොරු කියනවා. එයාගෙ මහත්තයා මාව දන්නෙවත් නෑ කියල මට ෂුවර්.

"ඇත්තක්මද....?"
"හරි හරි.... ඕවා දැන් කතා කරලවත් වැඩක් නෑනෙ... ඒක නෙමේ අයියෙ....."

මේ කියන්නෙත් බොරුවක් බව ඇයව දන්න මම දන්නවා. ඒ බොරුවලට වගේම සැහැල්ලු කතා ලතාවටත් මම එදත් ගොඩක් ප්‍රිය කලා.....

"අයියෙ..... ඔයාට අර රසිකා හම්බවෙනවද ?"
"මොකා...?"
"රසිකා....? අර මාත් එක්ක වැඩට ගියෙ....? ගේ නං දන්නැ... ඔයාලගෙ පැත්තෙ......."
"ර...සිකා...... රසිකා... මීටර් වෙන්නෑ.... මොනවගේ...."
"ආ... හරි හරි... දන්නැත්තං වැඩක් නෑ... මං තියන්නද?"
"ඉතිං කාරණේ කිව්වද? .. රසිකා........."
"දන්නෑනෙ...? මාවත් අමතක වෙච්චි එකේ රසිකල කොහෙද...?.. තියන්නද?"
"හරි... මං ටිකක් බලන්නං... මොකද්ද කෙරෙන්ඩ ඕනෙ..?"
"නෑ... ටිකක් කතා කරන්ඩ...."
"හදිස්සියක්ද?"
"අයියෝ නෑ... ඒකිට මොනා වෙලාද දන්නෑ.... අවුරුදු ගානකිං........ නිකමට..... මං තියන්නද?"
"හ්ම්... ඕනෙම නං තියන්න.... ඒක නෙමේ... පහුගිය ජූලි විසි වෙනිදට සුබ උපන්දිනයක් හො‍‍ඳේ...."
"අම්මෝ.... (හැකර හිනාව) .. දැන් මාස කීයක් ගිහිංද?"
"හරි ඉතිං.... කතා කරන්ඩ ලැබුනේ අදනේ....."
"හ්ම්.... ඕව දැං වැඩක් නැනෙ අයියේ..... තියන්නං...."
"හ්ම්....!"
"............"
"මේ අයියේ.......?"
"ඇයි?"
"මේ  නම්බර් එකට ගන්ඩ එපා... මේ කුමාරගේ ෆෝන් එක...."
"හ්ම්"
"බුදු සරණයි......"
"හ්ම්...!"

මිනිස් දඩයමක පශ්චාත්තාපය, සුන්දර පියාසැරියක මතක මාත්‍රයන් එක්ක අද දවස ඇය මට තිළීණ කලා. ඇයට කොහොමද දන්නෑ. එකක් සහතිකවම දන්නවා. මම ඇය හා විවාහ වුනානම් මෙලහකටත් අපි දික්කසාද වෙලා. එක්කෝ එහෙම නොවෙන්නත් තිබුණා. ඕන එකක්.

ඕව දැන් වැඩක් නෑනෙ......  :)

අදින් පසු මේ ගීතයත් ඇයව මට සිහිපත් කරාවි.


(කමෙන්ට්ස් වසා ඇත)

Monday, October 31, 2011

වල් අලින් හා සටන් වැද......

(පරණ පොත් පෙට්ටියක තිබී හමුවූ මෙය ලියන ලද්දේ මා විසින් නොවේ. එමෙන්ම මා විසින් නොවන්නේද නොවේ. වෙහෙසකර අපොස උසස්පෙළ දෙවන වතාවටත් ලියා හමාරකල වහාම මා පැනගත්තේ පුත්තලමටය. මගේ පියා හඳුනන අයෙකුගේ නිවසකටය. මගේ බලවත් පෙරැත්තයටය. අනුරාධපුර පාරේ 7 කණුවෙන් හැරී කිලෝමීටර් කීපයක් කීරියා ගස් සහ මාන කැලෑව මැදින් ගිය විට හමුවන කුඩා කොටු ගම්මානයක තැනූ කටුමැටි පැල්පතක ඔවුහු පදිංචිව සිටියෝය. මාස දෙකක් පමණ දීර්ඝවූ එම කාලවකවාණුව අවසානයේ නිවසට පෙරළා පැමිණි (එකල) මා විසින් තවත් වසර දෙකක පමණ ඇවෑමෙන් මෙම රචනාව කුඩා එක්සයිස් පොතක ලියා තබා ඇත. (එකල) මගේ අවසරයකින් තොරව (අද) මම විසින් උපුටා පලකරන මෙය සංස්කරණයෙන් තොරය.)

දවස පුරා දැඩි හිරු රැසින් තැවී හේබා ගිය මානා පඳුරු මතින් රාත්‍රී අඳුර ගලා ඒ. අතරින් පතර අලසව නැගී හිඳින දැවැන්ත පළුගස් ගොම්මන් අහස පසුබිම්කොට අපූරු අඳුරු සිත්තම් මවයි. නිවෙමින් පවතින මහපොළොව පිසදාලමින් හමායන රළු සුළඟට හසුවූ කේඬෑරි කෙසෙල් පඳුරු කිහිපය සිය අතුපතර ලෙලවන්නේ විලාප තියන්නාක් මෙනි. මම අවට බලමි. සුදුමාමා මල්පැලේ පහන් දල්වා ඇත. ඒ ඉදිරිපිට උක්කුටිකයෙන් වාඩිවී සිටින ඔහු මොනවාදෝ තොල් මතුරයි. පහන්පැළේ සුලං ආවරණයට යොදා ඇති ඉටි කවරයෙන් (අසීරුවෙන්) කාන්දුවෙන ආ‍ලෝකය ඔහුගේ නලල් තලය මත වැතිරී තිබේ.

දුරාතීතයේ පටන් මේ බිම පය ගසාගත් සුදුමාමලා ලක්ෂ ගණනක් ‍මෙලෙස දැවැන්ත පොල්තෙල් කඳක් පුළුස්සමින් ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද?

ජීවත්වීමේ අයිතිය පමණක් යයි සිතමි....!

එම ශුද්ධවූ අයිතියට එරෙහිව දසතින් අවිදරා සිටින්නේ ස්වභාවධර්මයයි. මේ කුවේණියගේ ශාපලත් අඩවියයි.

මෙම ගම්මානය කීරියා කැලය සහ ඉලුක් තලාව අතර පිහිටි අපූරු දූපතක් යයි මට සිතේ. නිවෙස් දහයකට හෝ පහලොවකට වඩා නැත. මෙම සෑම නිවසක්ම කටු මැටි ගසා ඉලුක් හෙවිල්ලා ඇත. නිවස ඉදිරිපිට පහන් පැලකි. ඒ යට දාස්පෙතියා ගස් කීපයකි. නිවස අවට කේඬෑරි කෙසෙල් ගස් කීපයක් සහ කජු සංවර්ධන ව්‍යාපෘතියෙන් බෙදාදී අලින්ගෙන් බේරී ඉතිරිවූ කජු පැල කීපයකි.

නිරන්තරයෙන් හඬාවැටෙන යටි සුළ‍ඟේ අමුතු කැලෑ ගඳක් යන්තමින් තැවරී ඇත.

"පුතේ.... ඔය එන්නෙ.... අර ගොල්ලන්ගෙ ගඳ.... ළඟ ලඟම ඇති..."

වල් අලින්ගේ ගඳ මතක තබා ගැනීමට මම ඕනෑකමින් උත්සාහ කරමි. ගමේ කොනක බල්ලන් බුරා වැටෙන්නට පටන් ගෙන ඇත. සියල්ලෝම කඩිසරය. අලින්ට එරෙහිව සන්නද්ධවීම සඳහා සියලු දේ සූදානම් කෙරේ. බර වැඩිවීම පිණිස පරණ බැටරි කෑලි තබා ගැට ගසන ලද රතිඤ්ඤා කිහිපය, වෙඩි බෙහෙත් කොටන ලද බීරංගය, කිසිදා පත්තු නොකරන විශාල අලිවෙඩි කිහිපය, කෑලි පහේ විදුලි පන්දම, මිදුලේ සශ්‍රීකව ඇවිලෙන ගිනිමැලය........

මට තරමක බියක් දැනේ. මේ අහිංසක ගිනිකෙළි කිහිපයෙන් අලින්ට එරෙහිව කල හැක්කක් නොමැත. බැරි වෙලාවත් මුං කඩාගෙන බිඳගෙන ආවොත්...? කල යුත්තක් සිතාගත නොහැකිය. එහෙත් නිවසේ අනෙක් කිසිවෙකුගේත් සැලකිය යුතු අමුත්තක් නැත. ඔවුහු අලින්ට මුහුණ දීම සඳහා ඒ තරම්ම හොඳ මානසික මට්ටමක සිටිති. සත්තකින්ම අලින් ආපසු හැරී ගියහොත් ඔවුන් දුක්වනු ඇතැයි මට සිතේ. මේ ඔවුන් දවසේ ආහාර ස්වල්පය සහ කසිප්පු වඩිය පමණක් සරිකර ගැනීම සඳහා යන්තම් ප්‍රමාණවත් එදිනෙදා ජීවන සටනේ කෙළින එකම ක්‍රීඩාව වැන්න. මෙම ක්‍රීඩාවේ ප්‍රතිවාදීන් තම ඉඩම් සීමාව ආක්‍රමණය කරන තෙක් ඔවුහු වරින් වර විදුලි පන්දම් එල්ල කරමින් අවට පිරික්සති.

--------------------------------

අලි එලවීමෙන් පසු ඔවුහු අල්ලට හලාගත් සීනි ඇබින්දක් සමග තේ කහට බොන්නට වන්හ. සියල්ලෝම තාප්තිමත් සිතකින් පසුවෙතැයි මට සිතේ. සුදුමාමා සහ තවත් අසල්වැසියන් දෙදෙනෙක් කහට බීමෙන් පසු බීඩි පත්තුකර ගනිති. ඔවුහු උස්හඬින් කරන කතාබහ සුළ‍ඟේ හෝහෝව හා මුසුව ඉලුක් තලාව පුරා විසිර යනු ඇත. පැරද පළායන වල් අලි මේ වීරයන්ගේ කතාබහ කන්කුළු උස්කරවා අසා සිටිනු ඇත.

"ඔය ඔරුගල හරියෙ මමත් අවුරුදු දෙක තුනක්ම හේන් කෙටුවා... මේවා කොටාගන්ඩ ඉස්සෙල්ලා.... මෙහෙට වැඩියෙ බොහොම සැරේට අලි වසංගතේ..... මලය ගිහිං නැතුව ඇති ඔරුගල පැත්තෙ....?" නෝබට් මාමා කියවයි. "කිව්වට මොකද මේ වන්නියට ඇවිත් අවුරුදු හත අටක්ම උනා... තාම බැරිවුනා ඔය හැතැම්ම හත අට ගිහිං ඕක බලාගන්ඩ......"

සුදු මාමා පිළිවදන් දෙයි.

"කරුවලගස්වැවෙන් දාපුවාම හැතැම්ම පහයි....ඔය ඔරුගල උඩ හරි අපූරු පොකුණක් තියෙනවා..... හරියට ඔරුවක් වගේ... ආසාවේ බෑ.... මොන ඉඩෝරෙටවත් හි‍ඳෙන්නෙ නෑ...."

මෙම ශාපලත් අඩවියේ මෙවන් විශ්මයන් තවත් කොපමණ ඇතිද? අනික නෝබට් මාමා මේ කතාවම සුදුමාමා සමග කියන විසිවෙනි වතාව වෙන්නටත් පුළුවන. මේවා නිකම්ම කතන්දර පමණක් නොවේ. මේ අලි එලවීමේ තවත් අංගයකි. රෑ දෙගොඩහරි ජාමය පසුවෙමින් පවතී. නිදිමතක් අහලක නැත. නෝබට් මාමාගේ කටහඬ සුලං පහර විනිවිද ඇසෙයි. "ඔය ඔරුගලේ නිධානෙ ආරක්ෂා කරන්නෙ මහ පත තලගොයෙක්...... හරියට පොඩි කිඹුලෙක් විතර ඇති.... මගේ ඇස් දෙකෙන්ම දැකල තියෙනවා ඕං......."

දැඩි සුළං පහර සිරුරේ වදින විට දැඩි සීතලක් සම විනිවිද ඇට මිදුළු දක්වා කාවදී. මම බෙඩ් ශීට් එක රැගෙන පොරවාගෙන දඬු මැස්සේ ඇලවෙමි. හිතට අපූරු සුවයක් දැනෙමින්ම නෝබට් මාම‍ාගේ කටහඬ වඩ වඩාත් දුරස් වෙමින් යයි.

"හහ්... ඔය හිදෝගලේ නිදානෙ ගන්ඩ ගිය කට්ටඩියො තුන් හතර දෙනෙකුටම යහතිං එන්ඩ වරං දුන්නෙ නෑ..... ඔවගේ බොහොම අනුහස් තියෙනව මලේ....."

සුළ‍ඟේ හෝහෝව නැවතී ඇත්තා සේය. නෝබට් මාමාගේ වචනයක් දෙකක් අතරින් පතර දුර ඈතින් ඇසේ. කුඩා කිඹුලෙක් පිට නැගි කුවේණිය ඔරුගලට නැගී හාත්පස කුවේණි ඇට විසුරුවයි. මා කට්ටඩියෙක්ව පණ බේරා ගැනීමට දුවමින් සිටිමි. නෝබට් මාමා පිටව ගියේ කොයි මොහොතේදැයි නොදනිමි.

Sunday, October 16, 2011

'කැත' දුමින්ද විතරද?

දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කලවුන්ගේ සැබෑ අපේක්ෂාව කුමක්ද?

දුමින්ද හෝ ඔහුගේ සහචරයින් භාරතට වෙඩි තබා ඝාතනය කල බව දැනට පිළිගත් මතයයි. මෙය පොදු ජනයා තුල ඉමහත් කම්පනයක් ඇති කිරීමටත්, ජාත්‍යන්තරව රටට අපකීර්තියක් ගෙන දීමටත් හේතු විය. අවසානයේදී මියගිය භාරත හිතහොඳ චණ්ඩියෙක් විය. බාගෙට මියගියා යයි කියන දුමින්ද ජාවාරම්කාර දුෂ්ටයෙක් විය. බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම ඔහුගේ මරණයද ප්‍රාර්ථනා කරනු ඇසිනි.

මූලිකවම මෙය හදිසි සිදුවීමකි. මෙහි 'හදිසි' යන්නේ අර්ථය මෙම සිදුවීමේ ඉතා සුළු වෙනස්කමකින් මෙයට අතිශය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබූ බවයි. ඇතැම්විට දුමින්ද මියගොස් භාරත ඉතිරිවීමට තිබුණි. (එවිට හිත හොඳ චණ්ඩියා දුමින්දයි). තවත් ආකාරයකින් දෙදෙනාම මියයාමට හෝ දෙදෙනාම ඉතිරිවී ඔවුනගේ ආධාරකරුවන් පිරිසක් මියයාමට තිබුණි. ඇතැම්විට මේ කිසිවක් නොවී රාත්‍රියේදී පක්ෂ කාර්යාල දෙක තුනකට බෝම්බ කිහිපයක් වදින්නටද තිබිණි. ඇතැම්විටෙක සුළු බහින්බස්වීමකින් පසු මේ කිසිවක්ම නොවන්නටද තිබිණි. (මා වඩාත් කැමති ඒ ගැන සිතන්නටයි). සරළව කිවහොත් "කැත" දුමින්ද පමණක් නොවේ.

සාමාන්‍ය ජනයා දුමින්ද මිය යායුතු යයි ප්‍රාර්ථනා කිරීමට තරම් ඔහු කල වරද බරපතළය. මා සිතන ලෙසට නම් ඒ භාරත ඝාතනය කිරීම ම නොවේ. (ජනගහනයේ ලොකුම පංගුව වන ග්‍රාමීය සාමාන්‍ය ජනයාගෙන් බහුතරයක් කිහිපවරක් භාරතගේ නම අසා ඇතිවා හැරෙන්නට ඔහු ජීවත්ව සිටියෙක්දැයි වත් නොදැන සිටියේයැයි සිතමි). දුමින්ද කල ලොකුම වරද ලාංකීය සමාජයේ පොදු අප්‍රකාශිත එකඟතාවයක් මහ දවල් මහපාරේදී උල්ලංඝණය කිරීමයි. එනම්,

"අපි හැමෝම කැතයි තමයි. හැබැයි පෙන්නන්ඩ එපා"

ලංකාව තුල ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකු අතින් මිනිසෙකු මියගිය පළමු වතාව මෙය නොවේ. කුඩු ජාවාරම්කරුවන් පිරිවරාගත් පළමු දේශපාලනඥයාද දුමින්ද නොවේ. පාතාල අපරාධකරුවන් රෙද්ද අස්සේ දමාගත් පළමුවැන්නාද ඔහු නොවේ. මේවා නොදන්න බබ්බුද ලංකාවේ නැත. එහෙත් මෙම සිදුවීමේ වෙනසක් ඇත. මහ දවල් රෙද්ද කඩා "කැත" සියල්ල සාක්ෂි සහිතවම පෙන්වා ඇත. කාල වරෙංකො....

ආරවුල් වලදී මිනිසුන් මරා දැමීම අප සමාජයේ විරළ නොවේ. දාමරිකයන් සොරුන් සෑම ගමකම ඇත. මත් කුඩු කෙසේ වෙතත් අරක්කු හෝ කසිප්පු ජාවාරම පිළිගත් ස්වයං රැකියාවකි. ලංකාවේ පිරිමින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බේබද්දන් වෙති. (බේබද්දෝ යනු යම් වින්දනාත්මක නිමේෂයක් විකසිත කර ගැනීම උදෙසා නොව, බීම සඳහාම බොන්නන්ය). මළ ගෙවල් යනු ගංජාය. මගුල් ගෙවල්/ට්‍රිප් යනු අරක්කුය. මාධ්‍යවල දිනපතා දකින ලමා අපචාර මෙන් දහ පාලොස් ගුණයක් ග්‍රාමීයව සහ වතු ආශ්‍රිතව සිදුවේ. කවුරුන් සමග හෝ ආරවුලක් නැති මිනිසුන් විරලය. ගෙවල් විශාල ප්‍රමාණයක හූනියම් වලලා ඇතැයි විශ්වාස කෙරේ. පන්සලේ දායක සභාව යනු තමුන්ගේ පංගුව උදෙසා කේවල් කරන තැනකි. දේශපාලනය කරන්නේ ගානක් හම්බකරගන්නටය. අති බහුතරයක් ඡන්දය දෙන්නේද තමාගේ කිසියම් වාසියක් තකාය. සියළු සංවර්ධන ව්‍යාපෘති යනු හොරකම්ය. පවුල් තුලින් එලියට එන බහුතරයකට තම දරුණුම ප්‍රතිවාදියා හමුවන්නේ පවුල තුලිනි.

සමස්තයක් හැටියට ගත්විට මහපොලොව කැතය. දුෂ්ටය. සියල්ලෝම අඩු වැඩි වශයෙන් දුමින්දලා වෙති. සමාජයේ එදිනෙදා හමුවන ලමා අපචාර/සොරකම් නොකරන විශාල පිරිසක් එසේ වන්නේ අවස්ථාව නැති නිසාය. විශාල පිරිසක් කුඩු/කසිප්පු නොවිකුණන්නේ නමට කැලලක් වන නිසා සහ පොලිසියෙන් අල්ලන නිසාය. විශාල පිරිසක් බස්වල ජැක් නොගසන්නේ නෝන්ඩි වීමට ඇති බයටය.

දුමින්ද මෙන්ම චෝදනා තිබූ තවත් විශාල ජනතා නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු ආවේ හොර ඡන්ද වලින් නොවේ. මේ ඡන්ද දුන්නු මිනිසුන්ද මොවුනට ඇති චෝදනා අසාවත් නැති බබ්බු නොවෙති. මර්වින් දකුණේ කොහෙන් ඉල්ලුවත් දිනයි. දුමින්ද නැවත සුවවී කොහෙන් ඡන්දය ඉල්ලුවත් ඉහලින්ම දිනන බව සහතිකය.

"කැත" දුමින්ද විතරද?

ලංකාවේ අපි බහුතරයක් කැත බව අපේ හෘද සාක්ෂිය දනී. පිරිසක් කැත වැඩ කරන නිසාය. තවත් පිරිසක් ඔවුන්ට අනුබල දෙන නිසාය. ඉතිරි පිරිස ඒවා නිහඬව අනුමත කරන නිසාය. හැබැයි කවුරුත් එහෙම නෑ වගේ සිටිති. ඕනෙම කොස්සකදී ඇදලා ගන්නට අවුරුදු දෙදාස් පන්සීයක තෝම්බුවක් ඇත. උපන්තේකට තවම දෑහැටවත් දැක නැති නිර්මල බුද්ධ ශාසනයක්ද ඇත. මර්වින් වගේ තුට්ටු දෙකේ චණ්ඩියෙකුටත් අන්දන්ඩ පුළුවන් ධීර වීර ජාතියක්ද ඇත.

අප සැම කෙනෙක් තුලම අඩු වැඩි වශයෙන් දුමින්ද කෙනෙක් වෙසෙති. (පසුගිය යුද සමයේදී ඌ තොග ගණන් මිනිසුන් මැරුවේය. දිනපතා සිතින් අපචාරයන්හි නිරත වෙයි). ඌ කැතය. ධර්මයට පටහැණිය. ඒ නිසා එහෙම එකෙක් නෑ වගේ හිඳිති. ඒත් මේ දුමින්දයා වැඩේ කෑවේය. ඌ මහදවල් ලෝකෙටම ඌ පමණක් නොව අපද පෙන්නුවේය. දැන් ඉතින් ඌ ජීවත් විය යුතු නැත. දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කිරීම තුළින්, අප තුළ සිටිනා දුමින්දගේ මරණය සංකේතීයව පතමු.


ප/ලි - දුමින්දගේ මරණය... යනුවෙන් මාරයා දිගට දිගේ ලියා තිබුණි. මේ එයට දමන්නට දිගට දිගේ මසිතට ආ කමෙන්ටුවයි. මෙය එතැනට නොගැලපෙන්නක් යයි සිතුනු බැවින් මෙහි දමමි.

Tuesday, September 6, 2011

ඉස්පීකර් නිලමෙ මළා.....!

අගාරෙ ගෙදර නිලමෙ හෙවත් ඉස්පීකර් නිලමෙ මළා. වයස 69 යි. සිරෝසිස්. දයාසිරි ජයසේකර මල ගෙදර ආවා. ජයවික්‍රම පෙරේරත් ආවා. මාත් ගියා. දයාසිරිලා ජයවික්‍රමලා අපි ඔක්කොම මල ගෙදර ගියා.

නිලමෙ උපදිනකොට නිල්ම නිල්පාට ශ්‍රී ලංකා කාරයෙක්. මැරෙනකොට කැපුවත් කොල යූ.ඇන්.පී කාරයෙක්. ඔය ඓතිහාසික පක්ෂ මාරුව සිද්දවුනේ 1999 අවුරුද්දෙ දෙසැම්බර් මුල සතියෙ දවසක රෑ 11 කුත් ගානට දෙණියෙ කිරිකෝන් ගහ යටදි. කට්ට කළුවරේ නම් මදෑ. තට්ට තනියම. හැබැයි මුළු රත්මල්වැවම ඒකට සාක්ෂි.

මිනිහට ඉස්පීකර් නිලමෙ කිව්වෙ කටේ සද්දෙ හින්දම වෙන්න ඇති. හවසට වෙරි වෙන්ඩ වෙන්ඩ සද්දෙ වැඩි වෙනවා. ඒ දවස්වල කවි ශ්ලෝක ගානටම අමු තිත්ත කුණුහරුපත් හැමදාම වගේ ගම මැදින් දෝරෙ යනවා. නමුත් ගමේ කාගෙත් මිනිහට පොඩි ගෞරවයක් නොතිබුණා නෙමේ. ඕන පොදු වැඩක මිනිහා ඉස්සරහෙන්ම හිටියා. ඕන අසාධාරණේකදි කියන්ඩ ඕන තැනටම ගිහිං හොඳ සිංහලෙන් සද්දෙ දාල කියල ආවා.

ඡන්දෙ කාලෙට.....? කොටින්ම මිනිහට පිස්සු.

ඒ 1999 ජනාධීපතිවරණ උණුසුම දැනෙමින් තිබුණ කාලයක්. පවුල් අටක් ඇරුණාම මුළු රත්මල්වැවම පෙරමුණේ තමයි. ගමේ පක්ෂ සංවිධායක අල්ලපු ගමේ හාදයෙක්. එයාගෙ අනුදැනුම මත ගමේ සංවිධාන කටයුතු නිලමෙ ඇතුළු බලවේගෙ.

ඡන්දෙකදි හැමදාමත් කට්ටිය මුලින්ම කලේ ජයසිරි මුදලාලිගෙ වහපු කඩ කෑල්ලෙ පක්ෂ කාර්යාලෙ අරින එක. පස්සෙ එතන ඉඳං ප්‍රචාරක කටයුතු. ඒ කියන්නෙ කසිප්පු බොනවා, කැරම් ගහනවා, කාඩ් බලනවා, ගංජා ගහනවා... ඉඳ හිට ගිහිං පෝස්ටරයක් දෙකක් අලෝනවා. ඔතන වැඩිපුර ගැවසෙන්නෙ ඡන්ද ලැයිස්තුවෙ නමවත් නැති කොලු කුරුට්ටො. උං එක්ක හරි හරියට නිලමෙ. හැන්දෑවට බොහොම තදට මැතිවරණ උණුසුම.

එදත් ඔය වගේ උණුසුම් දවසක්. නිලමෙ කොල්ලොත් එක්ක කාඩ් කුට්ටමේ තුන්සිය හතර බලනවා. රෑ 10 ට විතර ඇති. කොහොමත් කට්ටිය හේරා පොරව පැටලෙන ගානට දාලා. මුලින්ම ඇදුනේ තුරුම්පු කේස් එකක්. නිලමෙ කොක්ක ඇදගත්තෙ අසංකයත් එක්ක. ඌ හමුදාවෙන් පැනල ආපු එකෙක්. ගමේ කොලුකුරුට්ටන්ගෙ නායකයා. මදාවියෙක්. ආසන සංවිධායකගෙත් හොඳ කකුලක්.

"අඩෝ තොපි හොර වැඩ කොරන්ඩ එපා බල්ලො..... සෙල්ලමක් කෙරුවත් හරියට කොරපිය........"

අසංකය නැගිට්ටෙ පුටුවත් පෙරලගෙන.

"මොකද්ද නාකියා කිව්වෙ....?"

"ඇයි තෝ මට ගහන්ඩද?.... බය ගුල්ල... තෝ කොටින්ට බයේ පැනල ආපු එකා බොල....... හොර හු..................."

අසංකයා තවත් පුටු දෙක තුනක් පෙරලගෙන පැන්න පාරට නිලමෙ බිම. කොල්ලො දෙතුන් දෙනෙක් අසංකයව අල්ලගෙන. අනිත් උං ඒ වටේ. "පලයව් යන්ඩ වරත්තු බල්ලො ටික.... තොපි නැති කාලෙත් අපි චන්ද කෙරුවා......."

ඒ පාර ඉස්සරහට ආවෙ සුරේෂයා.

"පල නාකියා පව් නොදී.... එනවා මෙතන චංද කොරන්ඩ.... අඩෝ... සිරිමෙවං මහත්තයා මෙව්වා බාරදුන්නෙ අපිට..... නාකි මැන්ටලේ...."

නිලමෙ පිටිපස්ස බැලුවා. තමුං තනියම. අඩි කීපයක් එහෙම්මම පිටිපස්සට ගිහිං පාර පැත්තට හැරුණා. වැනි වැනී පාර දිගේ යන්ඩ ගත්තා. නිකම්ම නෙමේ. අමු තිත්ත කුණුහරුප වරුසාවකුත් එක්ක.

සුරේෂයට, අසංකයට, අසංකයගෙ අම්මට....

කොහොමත් සතියට දෙතුන් දවසක් ඔය ජාමෙට ඇහෙන ඉස්පීකර් කුණුහරුප විකාශය ගම්මුන්ට අලුත් දෙයක් නෙමේ. ඒත් එදා ඒක‍ට පොඩි ප්ලොට් එකක් එකතුවෙලා තිබුණ නිසා කවුරුත් ඇහුම්කන් දෙන්න ඇති. අර කියපු කිරිකෝන් ගහ ළඟට එනකං ඔය සද්දෙ අඛන්ඩව ආවා. ඒ අවට පදිංචිකාරයො කීප දෙනෙකුට විතරක් ඇහුණු 'දඩස්' සද්දයක් එක්ක සේරම එකපාර නිහඩ උනා. තත්පර තිහක් විතර යන්ඩ ඇති. පොඩි කෙඳිරිලි ගතියක් එක්ක ආපහු සද්දෙ ආවා.

"අඩෝ බලු අසංකයා..... එහෙනං තෝ... මට ගැහුවා..... මේ නිලමෙට ගැහුවා.... තොපි මට ගහලා..... චංදෙ කොරන්ඩ..... තොපි... දිනන්ඩ...."

ආපහු නිහඬතාව. තත්පර දහයකට විතර.

"ර..නි..ල්.. වික්‍රම... සිංහට......... ජය..වේ....වා.........!!!"

--------------------------------

පහුවදා උදේ නිල‍මෙගෙ ගේ ඉස්සරහ පොඩිවුන ඉටිරෙද්දකින් කොල කොඩියක් දාල තිබුණා. හවස යූ.ඇන්.පී ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිතසිරි එහෙ ඇවිත් තිබුණා. දවස් කීපෙකින් වත්තෙ පොල්ගස්වල රනිල්ගෙ පෝස්ටර් තිබුනා. සතියකින් යූ.ඇන්.පී කාර්යාලයක් ගෙදරම ඇරුනා. ගමේ යූ.ඇන්.පී බලවේගෙට එකතු වෙන්ඩ තැනක් හැදුනා.

චන්ද්‍රිකා දිනුවා. නිලමෙ දවස් කීපෙකට හැංගුනා. අසංකලත් නිලමෙගෙ ගේ ඉස්සරහ පොඩි සද්දයක් දානවට වඩා දෙයක් කලේ නෑ. ගම ආපහු සුපුරුදු තත්වෙට ආවා. ඒත් පොඩි වෙනස්කම් දෙකකුත් ඇතුව. අසංකව හමුදාවෙන් අල්ලගෙන ගියා. යූ.ඇන්.පී ප්‍රාදේශීය සභා/පළාත් සභා මන්ත්‍රීවරු ඉඳහිට ගම මැදින් ගිහින් නිලමෙගෙ ගෙට ගොඩ වෙලා ගියා.

ඇත්තටම නිලමෙට කලින් තිබුනට වඩා තැනක් ලැබුනා. යූ.ඇන්.පී විමධ්‍යගත අරමුදල් කලෙක්ෂන් එකකින් ගමේ අතුරු පාරකට කණු 10 ක විදුලි දිගුවක් ලැබුනා. එතන පවුල් 16 කින් 10 ක් නිලමෙට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලා. මරණාධාර සමිතියට පුටු හතලිහක් අරන් දුන්නා. කාන්තා සමිතියට සාස්පාන් කට්ටලයක් ලැබුනා. පන්සලට ලවුඩ්ස්පීකරයක් ලැබුනා. පාරවල් තුනකට නිලමෙ මූලික වෙලා බොරළු දැම්මා.

නිලමෙ මැරෙනකොට නිලමෙගෙ නංගිගෙ බාල පුතා ගමෙන් පලමුවෙනි වතාවට ප්‍රාදේශීය සබාවට ඉල්ලුවා. නෑදෑ සනුහරෙත් එක්ක යූ.ඇන්.පී කාරයො සෑහෙන දෙනෙක් ගමේ බිහිවෙලා හිටියා. මොකද පෙරමුණ ඇතුලෙ පුද්ගලික කෝන්තර වලදි උනත් යන්ඩ තැනක් හැදුන නිසා වෙන්න ඇති. චන්දෙ කාලෙට ‍සන්දානෙ පක්ෂ කාර්යාලෙ උනත් බීගෙන විකාර කරනවට වඩා ටිකක් සීරුවෙන් ඉන්ඩ වෙන තැනට වැඩ කටයුතු සැලසෙමින් තිබුනා.

---------------------------------

ජයවික්‍රම පෙරේරත් වචන කීපයක් කතා කලා. මම උන්නෙ ටිකක් ඈතින්. කාලෙකින් හම්බවෙච්ච ප්‍රසන්නත් එක්ක කදයක් දාගෙන. නිලමෙ ගැනම තමා. "මරු පොරක් බං.... මැරෙනකං අමතක නොවෙන චරිතයක්.... "

මම කිව්වෙ ඇත්තටම.

"එක රැයින් පක්ෂෙ මාරු කරපු පොරක් නේ... හහ්.."

"හ්ම්... අර අසංකයල ගහලද මොකද්ද එකක්නෙ...?"

"මොන පිස්සුද බං....?"

මට ඒ අපබ්‍රංසේ තේරුනේ නෑ.

"අසංකයල ගහපු එකක් නෑ... මේක කවුරුවත් දන්නෙත් නෑ.... ඌට ගැහුවේ අපේ නන්දන අයියා........"

නන්දන කියන්නෙ ප්‍රසන්නගෙ නෑ කමට අයියා වෙන කෙනෙක්. පදිංචි අර කිරිකෝන් ගහ කිට්ටුව.

"නන්දන..... ? මිනිහා දේශපාලනේ කලේ නැනෙ....?"

"මොන දේශපාලනද බං?..... මූ හැමදාම රෑට බීගෙන කුණුහරුප කියෝන හින්දා නන්දන අයියට මල පැනලා උන්නෙ ගෙදර දරුවෙක්වත් හදාගන්ඩ බෑ කියලා..... එදා නන්දන අයියා කළුවරේම මූට ගහලා පැනල දුවලා........"

"......."

"උඹ හිතන්නෙ මං බොරු කියනවා කියලද?"

"....... නන්දන...? එතකොට අසංකයල නෙමෙයි....?"

ලංකාවට ලොකුම හිසරදේ වෙලා තිබ්බ ප්‍රභාකරන් මැරිල වැටුනෙත් කාගෙ හරි අහක යන විසිල් පාරක් දුර දිග ගිහින් කියල කවුරුහරි කිව්වොත් මම නං ඒක ගැන දෙපාරක් හිතනවා.

Wednesday, August 31, 2011

අල්ලන්නට ආස ඇති... කඳුළු වලට දෙන්නෙ නැති...


මෙයට වසරකට හමාරකට පෙර මා පදිංචි ප්‍රදේශය ආසන්නයේ අටවා තිබූ වෙසක් තොරණක් බැලීමට ගියා මතකය. ප්‍රාථමික ගණයේ චිත්‍ර කීපයක් වටා වොට් පහේ බල්බ හාර පන්සීයක් දැල්වෙනු නිවෙනු බලා සිටීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවිණි. එහෙත් එවක මගේ දියණියගේ මොන්ටිසෝරි ගජයින් තොරණේ විස්තරය සෙන්ටර්ෆෲට් චුයින්ගමයක් පරිද්දෙන් ඇය අබියස හපමින් සිටි බැවින් මටද විසුමක් නොවීය. අවසානයේ දෙමාපියන්ගේ යුතුකම් පිළිබඳ ඇගේ ආඩපාලියකින්ද පසු තොරණ බැලීමට යාමට මමද හිත හදා ගතිමි.
තොරණේ ජාතකය අද මට මතක නැත. ආලෝක රටා තිබුනේද වත් මතක නැත. එම පන්සල් භූමියේ කුමන පැත්තේ එය අටවා තිබුණේද යන්න ගැන පවා ඇත්තේ සුළු මතකයකි. එහෙත් අදද එක් දෙයක් පමණක් හොඳින්ම මතක ඇත.
වෛයිවාරන්න සෙල්ලම් බඩු පිරි කඩවීදිය.
රාත්‍රී අඳුරු පසුබිමේ දැල්වෙන සිය ගණන් ටංස්ටන් විදුලි බුබුළු. කුඩා අට්ටාල වහල පුරා එල්ලෙන නෙක වර්ණ බැලූන. දුහුවිලි ගඳ. ඝෝෂාකාරී උත්සවශ්‍රීය. විවිධ කැවිලි වලින් නගින සුවඳ. සුදු පොලිතීන් මත පිළිවෙලකට අසුරා ඇති වෛවර්ණ (බාල) චීන සෙල්ලම්බඩු. සෙල්ලම්බඩු වලට පිස්සු වැටුන පොඩි එවුන්.... වෙළෙන්දන් සමඟ හෙට්ටු කරන ගැහැණුන්.....
මෙම කඩවීදිය නැවත කිහිප වරක් සිහිපත්වන්නට තරම් දෙයක් එදින මම කලෙමි. පසුදින ඉතා වැදගත් කටයුත්තකට වෙන්කොට තිබූ සීමිත මුදල් ප්‍රමාණයද අමතක කොට මගේ දියණිය එම කඩ වීදියට මුදා හළෙමි.
"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"
අවසානයේදී බැලූනයක්, කොණ්ඩයට පළඳින යමක් ඇතුළු රුපියල් දෙසිය ගණනක ලට්ට ලොට්ට වගයක් තෝරා ගැනීම මගින්, එම ගණනය නොකල අවදානමෙන් ඇය මා මුදාගත් බව මතකය. එහෙත් විචාර බුද්ධියට පිටුපා එවන් අවදානමක් ඒ මොහොතේ ගැනීම? ප්‍රමාණයෙන් විශාල සහ අඩු වටිනාකමකින් යුත් යමක් රැගෙන දී ඇය පහසුවෙන් තෘප්තිමත් කල හැකිව තිබියදීත්.
පසුකාලීනව බොහෝ වරක් නැවත නැවතද කල්පනා කිරීමෙන් පසු මා එය හඳුනාගත් බව සිතමි.
ඒ මගේ කඩවීදියයි.
මුන්නේෂ්වරම දේවාලය පෙනෙන ඉසව්වේ කොට කලිසමකින් සැරසී පියාගේ ඇඟිල්ලක එල්ලී ගාටන්නේ මමයි. නේක වර්ණ විචිත්‍ර සෙල්ලම්බඩු මාළිගයන් දෙස මහ සෙනඟ අතරින් කෑදරකමින් එබී බලන්නේ මමයි. සෙල්ලම් බඩු වල, නැවුම් මැටි භාණ්ඩ වල තීන්ත සුවඳ මහත් කෑදරකමින් උරා බොන මට, මගේ දෙසවන් වලින් අහගන්නට ඉතාමත් ආශාවූ, එහෙත් කවරදාකවත් අසන්නට නොලැබුණූ එක් වාක්‍යයක් ඇත.
"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"
එකල මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය පැවැත්වෙන අගෝස්තු මාසය ආසන්න වන විට සෙල්ලම් බඩු සඳහා අවශ්‍ය මුදල් එක්රැස් කිරීම සිදු කරන ලද්දේ මා විසින්ම බව මතක ඇත. මගේ පාසල් මිතුරන් සියළු දෙනාද එසේ කලහ. පහසුම ආදායම් මාර්ගය වූයේ ඉරටු මැදීමයි. බොහෝ විට එමගින් රුපියල් හැට හැත්තෑවක් උපයා ගැනීමට අපි සමත් වීමු. ඉලක්කය වූයේ කලින් වසරේදී ප්‍රදර්ශනය වූ හොඳම සෙල්ලම් බඩුව මෙවර මිලදී ගැනීමයි. වරෙක එය කුඩා ඩොල්කියක් විය. නැතිනම් දුර බලන කණ්නාඩියකි. වරෙක තහඩු වලින් සෑදූ තරමක් විශාල බසයකි. එහෙත් මේ කිසිවක් කවරදාකවත් මා සතු නොවීය. හැම වසරකදීම මෙම බඩු එකට එකක් ගණන් ගොස් තිබීම එයට හේතුවයි. කිසිදා මේවා පියාගෙන් ඉල්ලූ බවක්ද මතක නැත. ඉල්ලුවාට ලැබෙන්නේද නැත. පියා සහ මවගේ ඉලක්කය වූයේ කාලි මෑණියන්ට වාර්ෂිකව බාර හාර වූ පූජා වට්ටිය මිලදී ගැනීම, කැවිලි කීපයක් සහ මුළුතැන්ගෙයි යමක් මිලදී ගැනීම පමණකි. ඉන් එහා වත්කමක් ඔවුනට නොවූ බව මම හොඳින් දැන සිටියෙමි. හැමදාමත් ලාබ නළාවක්, පුංචි ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් සහ ගඩුගුඩා මල්ලක්ද රැගෙන මෙම මනස්කාන්ත ලෝකයෙන් මිදී නිවසට පිය නැගීමට මට සිදුවිය. එහෙත් ඒ විචිත්‍ර දසුන ඊළඟ වසර මා ජීවත් කලේය. නැවුම් තීන්ත සුවඳ වසර පුරා වින්දෙමි. කදිම සෙල්ලම් බඩු සමඟ මනසින් සෙල්ලම් කලෙමි. ඊළඟ වසරේදී අර වැකිය කවුරුන් හෝ කියනු ඇතැයි තදින්ම විශ්වාස කළෙමි.
"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"
------------------------------------
අවසානයේදී මගේ දියණියට මා විසින් එම වරය දුනිමි. ඒ අවිඥාණිකව යම් සහනයක් උදෙසා විය හැකිය. එහෙත් මට දැන් වඩාත් වැඩි වේදනාවක් දැනේ. තම ඇඟිල්ලේ එල්ලී මහත් කෑදරකමින් සෙල්ලම්බඩු දෙස බලන තම කොළු ගැටයා පිළිබඳව මගේ පියාගේ හද තුළ කැකෑරුණු වේදනාව මටද දැන් වැටහෙන්නට පටන් ගෙන ඇත. මා ද දැන් පියෙක්මි.
අසන සෑම වරකදීම සැබෑවටම මා නෙත් කෙවෙණි තෙත්වන ගීත තුනක් තිබේ. මේ ඉන් එකකි. 




Thursday, August 18, 2011

ග්‍රීස් යකෙක් ඇල්ලුවෙමු.....!

ඇත්තටම මේ වගේ ඕපාදූපයක් ලිව්වට කවුරුවත් කියවන්නෙ නැතිවෙයි. ඒත් මේ ග්‍රීස් යකා සීසන් එක ඉවර වෙන්ඩ කලින් මේක ලිව්වෙ නැත්තං මේ කතන්දරේ වැඩක් නැති වෙනවා.

ඇත්තම කියනවනං අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. හැට හැත්තෑවක විතර පිරිසක් ග්‍රීස් යකා හෙව්වත් අපි දෙන්නට තමා අහුවුනේ. අපි කිව්වෙ මමයි ප්‍රේමෙ අයියයි. ප්‍රේමෙ අයියා උගෙ බෙල්ලෙන් ඇල්ලුවා. මම අතින් ඇල්ලුවා. දැනට අවුරුදු තුනකට විතර උඩදී.

මතක විදිහට අයි.ටී.එන්. නිව්ස් වල ක්‍රීඩා පුවත් යන වෙලාව. ගේ ඉස්සරහා බරාස් ගාල බයිසිකලයක් බ්‍රේක් කලා. ඒකෙ ඉඳං කෑ ගැහුවේ ප්‍රේමෙ අයියා.

"මලේ..... ටක් ගාල ටෝච් එකත් අරං වරෙංකො.... අරහෙ ග්‍රීස් යකෙක් ඇවිල්ලලු.... ගුණසීලි නැන්දලයෙ අහ......"

මම පුටුවෙන් පැන්නෙ බයිසිකලේට.

"මට විපුලය දැං කෝල් එක දුන්නේ......"

කටින් හති දාන ගමන් ප්‍රේමෙ අයියා කියනවා. විනාඩි හතරකින් අපි ග්‍රීස් යකාගෙ ඉසව්වෙ.

ගුණසීලි නැන්දා ප්‍රේමෙ අයියගෙ තාත්තගෙ පැත්තෙ ඥාතියෙක්. උන්දැගෙ මනුස්සයා කොහෙද මන්දා කොහුමෝලක වැඩ. හම්බකරන එක එදාම බීල මිනිහා එහෙටම වෙලා ඉන්නවා. ගෙදර උන්නෙ ගුණසීලිගෙ දුවෙක් වන දේවිකායි, රට ගිහින් ඉන්න ලොකු දුවගෙ ඇරිච්ච දීගෙ දරුවො දෙන්නයි. හැමදේටම බලන්න හදන්න හිටියේ ප්‍රේමෙ අයියා තමයි.

අපි යනකොටත් තිහ හතළිහක විතර සේනාවක් ඇවිත්. බයිසිකලෙන් බැස්ස ගමන් මං කලේ එරඬු පොල්ලක් කඩාගන්න එක. කියන්ඩ බෑනෙ මූ කොච්චර දරුණුද කියලා. දේවිකා ලිඳ ලඟ කළුවරේම ඇඟ හෝද හෝද ඉඳල තියෙන්නෙ. කෙල්ල පරක්කු මොකද බලන්ඩ ගුණසීලි නැන්දා ඇහැ දානකොට තමයි කළුපාට හේයාවක් රට දෙහි පඳුරට එහායින් ඉන්නවා දැකලා තියෙන්නෙ. නැන්දගෙ හූවට බයවෙච්චි පාර තමා දේවිකා බෙරිහන් දීල තියෙන්නේ...... ඒත් වැඩිදෙනෙකුට ඇහිලා තිබුනේ දේවිකාගෙ හූව.

නැන්දා කිව්ව විදිහට මූ අමු නිරිවස්තරෙන් ඉඳලා තියෙන්නෙ. දෙල් ගහ යටින් පැනලා පාර පැත්තට දුවලා..... කාගෙත් අදහස උනේ ඌ තාමත් ඒ අක්කර දෙකක විතර ඉඩම ඇතුලේ ඉන්නවා කියන එක. මොකද ඉඩමේ දෙපැත්තකින්ම පාරවල්. කපිලයලගෙ නිදහස් බේබදු සමාජයෙ සෙට් එක ඉඳලා තියෙන්නෙ තුන්මං හන්දියෙ. පාර පැත්තට ආවත් පාරෙන්නං පැන්නෙ නෑ කියලා උං දහ අතේ දිවුරනවා. අපි යනකොටත් මුං පාරවල් දෙකට සාමාජිකයෝ දෙන්නා ගානෙ දාලා. යකා පාරට පනිනවද කියලා බලන්න.

ප්‍රේමෙ අයියත් පොල් පිත්තක් අතට ගත්තා. දැන් ගෑණු පිරිමි බේදයක් නැතිව කට්ටිය තවත් වැඩි වෙනවා. හැමෝම අතේ පොලු. එක කටුපිල පඳුර අස්සෙ දහ පාලොස් දෙනා ටෝච් ගහල බලනවා. තව පිරිසක් ගස් උඩ බලනවා. ග්‍රීස් යක්කු සාමාන්‍යයෙං කරන්නෙ කට්ටිය එද්දි ගහකට නගින එකලු. ඔය අතරෙ තමා කපිලය අපි ළඟට ආවෙ.

"ප්‍රේමෙ අයියා.... ඔය වගේ පාහර බල්ලො තුන්දෙනයි ගමටම ඉන්නෙ.... අපි ගිහිං උං ගෙවල්වල ඉන්නවද බලලා එන්නං...."

හා කියන්ඩත් කලිං උං තුන්දෙනෙක් කැලිබර් බයික් එකක නැගලා රුං ගාල ගියා.

අපිත් ටිකක් හෙව්වා. මොන මල යකෙක්වත් නෑ.

"මලේ වරෙංකො අර පැත්ත ටිකක් බලන්ඩ...... අපේ නැන්දටත් උන්හිටි ගමං උතුර දකුණ මාරුවෙනවනෙ බං..... මෙහාටවත් පැන්නද බලන්ඩ......."

අපි යන කොටත් කීප දෙනෙක් ඒ පැත්තත් විපරම් කොරලා තිබුණා. ඒත් වැඩි දෙනෙක් බැලුවේ ඌ දුවපු පැත්ත. ටික දුරක් සෝදිසියෙන් ගිය ප්‍රේමෙ අයිය ඉද්ද ගැහුවා වගේ නැවතුනා. ඊට පස්සෙ එක පාරටම ටෝච් එක හැරෙව්වෙ ළඟ තිබුණු කැප්පෙටියා ගාලට.

මෙන්න යකා තුන්කුදු ගැහිලා බිම ගුලිවෙලා ඉන්නවා.

මගෙ හිතේ තිබුණු ගැස්ම නං එකපාරම නැති උනා. මූට බය හිතෙන්නෙ කාටද? ඌ ඔලුව පොඩ්ඩක් උස්සලා යාන්තමට ඇස් ඇරලා ටෝච් එක දිහා බැලුවා.

"සමනා........?!?"

ප්‍රේමෙ අයියා ටෝච් එක නිවුවා.

"තෝ මොන හු******........................................"

ඌ ඇඳල හිටියේ කොට කලිසමක් විතරයි. ටී ෂර්ට් එක අතේ ගුලි වෙලා. ඌ හරි. සුදුපාට ඉරි දෙකක් තිබුණ ඒක ඇඳං උන්නනං ඌ මෙලහකටත් ගමකට කාල.

"හ්ම්.... වර එළියට......."

ප්‍රේමෙ අයියා කිව්වෙ රහසින් වගේ. කොහොමත් වත්තෙ තිබුණු ගාලගෝට්ටියට හයියෙන් කිව්වත් කාටවත් ඇහෙන්නෙ නෑ. ඌ එන්නෙ නැති තැන ප්‍රේමෙ අයියා ගොල්ලට රිංගලා ඌව බෙල්ලෙන් අල්ලලා එළියට තල්ලු කලා. කළුවරේ උනත් මූ තෙලියා වගේ ගැහෙනවා කියලා මට තේරුණ හින්දා මම අතකින් අල්ල ගත්තා.

"ඕක ඇඳගනින්........"

ටී ෂර්ට් එකේ පැටළුම් ඇරලා කළුවරේම ඒකෙ අත්දෙක ඌට හොයලා දුන්නෙත් මම මයි.

"හ්ම්හ්...... ගනිං ඔය පොලු කෑල්ලක්......."

අපරාදෙ කියන්ඩ බෑ. ඊළඟ විනාඩි තිහ හතළිහේ සමනා පුදුම කැපවීමකින් ග්‍රීස් යකාව හෙව්වා. ඔය ගස් උඩ විපරම් කරන්ඩ කීප දෙනෙකුටම උදව් කලා. ප්‍රේමෙ අයියනං අපිට හොයාගන්ඩ දීල ගිහිං බුලත් විටක් කන්ඩ ගත්තා. අපි දෙන්නා දිගටම හෙව්වා. අන්තිමේදි යකා නැති තැන නැන්දලගෙ මිදුලෙම තිහ හතළිහක් එකතුවෙලා පශ්චාත් විමර්ශණෙත් තිබ්බා. සමනා දිහා සැරින් සැරේ බලන දේවිකාගෙ මූණෙ තිබ්බ කොම්බු ඇලපිළි කවුරු නැතත් මම නං කියෝ ගත්තා.

හොඳම වැඩේ මේකයි. මම සමනත් එක්ක යකාව හෙව්වෙ ඌව බේරගන්න ඕනෙ හින්දා තමා. ඒත් ටික වෙලාවක් හොයාගෙන හොයාගෙන යනකොට මටම තේරුණා මං සිරාවටම මොකක් හරි හොයනවා කියලා. ඇත්තටම මම සමනා එක්කත් යකාව හෙව්වා.

දැං අහන්ඩ එපා සමනා ග්‍රීස් ගාගෙනද උන්නෙ කියලා. වැලිතලප වල වැලි නෑ වගේම ග්‍රීස් යක්කුන්ගෙත් ග්‍රීස් නෑ.

Sunday, July 17, 2011

රත්නවල්ලිය බැසයයි - අනුරපුරයට සාමයේ අරුණළු......

ගිය බදාදා පාන්දර තුනට විතර මම හිටියේ අයි.ටී.එන් නිව්ස් බලබලා. නිව්ස් කියන කෙලිපොඩ්ඩි ඇඳං උන්නෙ බාගෙට නිරිවස්තරෙන් හින්ද මට තේරුණා කොහේ හරි වයර් එකක් පැටලිලා කියලා. පස්සෙ මම තේරුම් ගත්ත විදිහට මේක ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශයක්. මෙන්න මෙහෙම නිව්ස් එකක් ගියේ.

අනුරපුර නගරයේ සංවර්ධනය උදෙසා ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය

අතිගරු දුටුගැමුණු මහ රජතුමා විසින් කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත් අනුරපුර නගරයේ සංවර්ධන කටයුතු සඳහා එහි වෙසෙන ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය පළවී ඇති බව අප වෙත වාර්තා වේ.
මේ අතර ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින එම ප්‍රදේශවල පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අතිගරු රජතුමා විසින් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ඉදිකෙරෙන අඩි 300 ක් උසැති ‍චෛත්‍ය රාජයා ඉදිකෙරෙන භූමියද නිරීක්ෂණය කරන ලදී.
එම භූමියේ මෙම අගනා නිර්මාණය සිදු කිරීම පිළිබඳව ගාඩි වංශික ජනයා වත්මන් රජය වෙත සිය ප්‍රසාදය පළකර සිටී. එමෙන්ම එම භූමියේ පිහිටි තෙළඹු ගසක තාවකාලිකව වැඩසිටි ස්වර්ණමාලි නම් ගාඩි වංශික ප්‍රජාවගේ ඇදහීමට ලක්ව සිටින දේවතාවියද මෙම උතුම් කාර්යයට ආශීර්වාද කොට ගසෙන් බැස ගොස් ඇති අතර, එයට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම සෑය ඇගේ නමින් නම් කිරීමටද අතිගරු රජතුමා විසින් තම නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
මෙම තෙළඹු ගස කපා දැමීමේ මහෝත්සවය මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී අනුරපුරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇති අතර එය නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව සඳහා සියළු පහසුකම් සපයා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. මෙම තෙළඹුව කපා දැමීමේ උත්සවය අප නාලිකාව ඔස්සේද සජීවීව විකාශය කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.
රැඳී සිටින්න අප සමගම....

කතා දෙකක් නෑ. ඒක හීනයක්...!

ස්වර්ණමාලි ආවේ පාන්දර ජාමේ. හොඳටම අඬලා එයාගෙ ඇස් තඩිස්සි වෙලා තිබුණෙ. මහාථූපය හදන්න ඉඩදීල එයාගෙ විමානෙන් බැහැල ආපු නිව්ස් එක ඇත්ත කියලා මට එවෙලේ තේරුණා. ඒත් මං එක්ක කිව්වෙ මෙහෙම කතාවක්.

හා කිව්වා තමයි.
බෑ කිව්වත් වෙනසක් නොවෙන හින්දා....
විමානෙ අපේ උනාට
පොළොව දුටුගැමුණුගෙලු.....

දිග් විජය කොට අනුරපුර....
මහ පිරිවරින් එන සඳ
හෙලූ එක බැල්මෙන්ම මම දැනගත්තා
අපත් අයත් වග
අධි ආරක්ෂිත කලාපෙට.....

කප් සුවහස් කලක්....
වරිගත්තැන්ගේ දුක් කඳුළු උරාබිව්
පණ ගැහෙන තෙළඹුව කපාදමා
තනන්නටලු යන්නේ අජීවී සෑයක්.....
කාගෙදෝ ඇටකටු නිධන්කොට.....

මොනව කරන්නද?
රාජ්‍ය ප්‍රතිපත්ති නෙව...?

ගියොත් කලබල නොකර
සාමයෙන්....
දානවලු මගේ නම ඔය සෑයට.....
අපි ඉතිං ගෑණු වෙච්චි.....

ඉතින් මේ ලෑස්තිය
නික්ම යන්නයි....
සරණාගත ආරණ්‍ය කඳවුරට...

පොරෝ පහරින් පහර
වැදී හද දැදුරුව
මියෙන්නට තිබුණනම්
යටව ඇද වැටෙන තෙළඹුවටම...?

එහෙත් ඇත රකින්නට වරිගයක්.....
කෙදින හෝ උන් වැඩී වනමැදම
සදාවි සත්තයි මහ තෙළඹුවක්....
ගැමුණුගේ දොරකඩම....

හඬනවා නෙමෙයි මේ....
සුළුපටු සතුටක්ද?
සාමයේ අරුණැල්ල පැමිණිකොට
අනුරපුරයටත්...!

කතා දෙකක් නෑ. ඒකත් හීනයක්...!!

Saturday, May 21, 2011

සියළු 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්' ලා වෙතයි....

නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි.

කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක.....

ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..?

කුජීත නිර්මාල් - ඈහ්.....?

ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද?

කුජීත නිර්මාල් - නැත්තං ඉතිං මේ රාජ්‍යය පවත්වගෙන යන්ඩ.....?

ජයග්‍රාහී අනුරුද්ධ - මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

සියළු අනුරුද්ධ ප්‍රදීප්ලා ජයග්‍රහණය කොට අවසන්ය. මේ කාහල නාදය ඒ වෙනුවෙනි. පරාජය කොට ඇත්තේ ගමේ ගොඩේ six-a-side ටෙනිස් බෝල කල්ලියක් නොවේ. අති බිහිසුණු ත්‍රස්තවාදී කල්ලියකි. පරාජය කලේ ටෙනිස් බෝලයකින් වැටමාර කඩුළු බිඳ දැමීමෙන්ද නොවේ. දස දහසකටත් එහා පණ ඇති මිනිසුන්ගේ ඔළු කටු කුඩුවෙන්නට වෙඩිතැබීමෙනි. ජයග්‍රහණය කොට අවසන්වද්දී ඉතිරිවූයේ තණකොල පොඩිවූ, දූවිලි ගහන හිස් පිට්ටනියක් නොවේ. ලෙයින් තෙත්වූ අමු මස් දැවෙන පුළුටු ගඳ වසාගත් සොහොන් පිටියකි. මේ පුළුටු ගඳින් ආනන්දයට පත් අනුරුද්ධ ප්‍රදීප් නමැති පොඩි එකෙක් එම අමු සොහොනෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි වායු සමනය කල කුටියක හිඳ මෙසේ මොර දෙයි.

"(පැරදුනු උන්ට) මොකට රාජ්‍යය පවත්වාගෙන යන්නද? අපි දිනලා ඉවරයි.........!"

ඉදිරිපස සිට කුළුණුබර දෑසින් යුතුව ඔහු දෙස ආඩම්බරයෙන් බලාසිටින්නේ නලින් ද සිල්වා පියාණන්ය. පසෙක සිට නිරාමිස ප්‍රීතියට පත්ව මදහස නගන්නේ අරහත් ධජය දරාගත් භික්ෂුවකි. මේ උදාන වාක්‍යයෙන් හොල්මන් වෙන ඉතුරු එකා නමගිය දේශද්‍රෝහියෙකි.

අපුලක් සිතන්නට දෙයක් නැත. මේ මිනී මරාගන්නා ක්‍රීඩාවේ දේශීය නීති රීති වල ස්වභාවයයි. ක්‍රීඩාවෙන් අනතුරුවද ජීවත්ව සිටින පැරදුනු එවුන්ද, මියගිය උන්ට සමානය. අපේ අනුකම්පාවට දෙන දෙයක් කාල කියන විදිහකට ඉන්න එක උන්ගේ ඉරණමයි.

"උන්ට මොන රාජ්‍යද....?"

සියළු ජයග්‍රාහකයිනි,

'මිනිසෙකු විනාශ කල හැකිය - එහෙත් පරාජය කල නොහැකිය' යනුවෙන් හෙමිංවේ ලොක්කා ලියා ඇති වගක් ඔබට මතකද? කලබල වන්න එපා. වික්‍රමබාහු ද්‍රෝහියා එය පිළිගත්තත් මා එය පිළිගන්නේ නැත. ඔබගේ අති උතුම් මහාවංශයට අනුවම යමින්, මිනිසෙකු විනාශ කොට පරාජයද කල හැකි බැව් මා අදහමි.

මහාවංශයේ විසි පස්වන පරිච්ඡේදයේදී දුටුගැමුණු නමැත්තෙක්, එළාල නමැත්තෙකුව තෝමරයෙන් පහරදී විනාශ කරන්නේය. අනතුරුව එම දේහයට සියළු ගෞරවාචාර පවත්වා, ඔහු මළ තැන සෑයක් කරවා, සියළු රටවැසියන් හට එයට ගෞරව කරන ලෙසට නීතිද පණවා එළාල නමැත්තා සහමුලින්ම පරාජයද කොට දමන්නේය.

නුඹලාට මේවා ඇත්තටම නොතේරෙනවාදැයි නොදනිමි. එහෙත් කජුකිරි වියේ සිට දේශපාලනයෙන් තෙම්පරාදු වූ මහින්ද රාජපක්ෂ, නුඹලාට වඩා පරිණත මිනිසෙක් යයි මා තවමත් විශ්වාස කරමි. (අවම වශයෙන් පවත්නා ජාත්‍යන්තර තත්වයන් මත ඔහුට වඩාත් පරිණත ලෙස ක්‍රියා කිරීමට සිදුවනු ඇත)

තවත් කෙටි කලකින්ම ඇරඹීමට නියමිත නාථ දෙවියන්ද පෙරටු කොට ගත් දැවැන්ත විරෝධතා පෙළපාලි වලට පෙරාතුව, තවත් වටයක් දිය කෙළින්නට එතෙක් ඔබට අවකාශ ඇත.

රා....යිට්....!! නංගිලා.. මල්ලිලා... හැමෝම.. අත් උඩඩඩඩට උස්සලා.... තව පාරක් හයි.....යෙං කියමු බලන්ඩ.............

Sunday, May 1, 2011

මගේ ජිබ්බා - විමල්ගේ මූන්.....

මා කුඩා කල මගේ මව හා පියා සමඟ වසර කීපයක් මිනිස් වාසය ඉතා අඩු පෙදෙසක ජීවත් වූවා මතකය. තරමක් දුර ගෙවා ගිය පාසලේ මිතුරන් කිහිප දෙනෙකු හැරෙන්නට වෙනත් කිසිදු මා වයසේ මිතුරෙකු හෝ සහෝදර සහෝදරියක මා හට නොවී.

එබැවින්දෝ මා එකල මිතුරෙකු තනාගෙන සිටියෙමි. හේ අජීවීය. නම 'ජිබ්බා' ය. එය අඟල් අට දහය පමණ ප්‍රමාණයේ සැහැල්ලු පිටපළු කැබැල්ලකි.

බෝනික්කෙකු හෝ සුරතල් සතෙකු වෙනුවට පිටපළු කැබැල්ලක් මගේ මිතුරා කරගත්තේ ඇයිදැයි අදද මා හට නිශ්චිත අදහසක් නැත. නමුත් එම පිටපළු කැබැල්ලට විවිධ හැඟීම් කැවීමට මා හට හැකියාව තිබිණි. 'ජිබ්බා' ගේ මුහුණ එහි සමතල පැත්තේ මා විසින් පාට කූරකින් අඳින ලද්දකි. එය දිනකට කිහිප වතාවක් වෙනස් වේ. රාත්‍රීයේදී ඇස් පියවීමට මා අමතක නොකළෙමි. පාසලේ ගත කරන කාලය හැරුණු විට අන් සියළු වෙලාවන්හිදීම 'ජිබ්බා' මා අසල විය. මා බාලාංශයේ සිට පළමු ශ්‍රේණියට සමත් වන විට 'ජිබ්බා' ද සමත් විය. ඒ මට තරම්ම දැනුමක් 'ජිබ්බා' ටද තිබූ බැවිනි.

බොහෝ දිනයන් හිදී, නින්දට ප්‍රථම මගේ කොට්ටය අසල නිදන 'ජිබ්බා' ගේ පොරෝණය සකසා ඌ මතින් අතක් දමා කුප්පි ලාම්පුව අසල මානන හූණන් ගණන් කරමින් නිදිසුව වැළඳගත් ඒ සුන්දර රාත්‍රීන් දැනුදු සිහිපත් කරන්නේ ගැඹුරු සුසුමක් සමඟිනි.

මෙවර 'ජිබ්බා' මතක් වූයේ මෙම ඡායාරූපය දැකීමෙනි. ඇත්ත සතුන් සමඟ ගණුදෙනු කිරීමට වඩා, තමාට අවශ්‍ය පරිදි සතෙක් හදාගෙන ගණුදෙනු කිරීම කෙතරම් පහසුද? කොහොමටත් ඊනියා දේශප්‍රේමයක් ගැන ‍බෙල්ලේ නහරවැල් උලුප්පාගෙන බෙරිහන් දෙන විමල්ට වඩා, මේ පඹයන් සුරතල් කරන විමල්ට මා කැමතිය. ඒ මගේ සුන්දර ළමා විය සිහිපත් කරවන බැවිනි.

ඡායාරූපය උපුටා ගැනීම - Lanka C News

Tuesday, March 29, 2011

නැන්දම්මාගේ ක්‍රිකට් (පශ්චාත් නන්දිකඩාල් ක්‍රිකට්)

පසුගිය දිනෙක මගේ යතුරුපැදිය අළුත් ටයර් ඉල්ලා අඛණ්ඩ උපවාසයක නිරත විය. ඒ සංකේතීයව පසුපස රෝදයේ හුලං ද බස්සවාගෙනය. යතුරුපැදියට රෝද තිබෙන බව මාස ගානකින් මට මතක් වූයේද එදාය. සාමාන්‍යයෙන් ඔය මගුලේ මට මතක ඇත්තේ හැඬල් එකත්, පෙට්‍රල් ටැංකියත්, ඉරුණු සීට් එකත් පමණි.

එම සවස් වරුවේ හදිසි ගමණක් යෙදී තිබුණු බැවින් යතුරු පැදියක් ඉල්ලා ගැනීමට මිතුරෙකුගේ නිවසට ගියෙමි. මිතුරා නැත. මිතුරාගේ නැන්දම්මා සහ බාප්පා කෙනෙක් සාලයට වී මැච් එක බලයි.
"මැච් එක බලනවා වගේ...........?"
"ආ... මේ දවස්වල ඉතිං වෙන මොනවද? මැච් තියෙනදාට අනිවාර්යෙං බලනවා.... "
ඒ නැන්දම්මාය.
"අද හොඳ පයිට් එකක් තියෙන්නෙ....."
ඒ බාප්පාය.
පැවැත්වෙමින් තිබෙන්නේ නවසීලන්ත, දකුණු අප්‍රිකා තරඟයයි. නවසීලන්ත ක්‍රීඩකයෙකුගේ වැරෙන් පහරකි. පන්දුව පිත්තේ වදින්නේ නැත. නැන්දම්මාට හීල්ලෙයි.
"අපරාදෙ.... වැදුනනං කෙලින්ම හයයි.... ආයෙ ඇල්ලිලි බොරු.... "
"හහ්...! හය තමා පොඩ්ඩක් පිත්තෙ කොනක වැදිලා ගියානං... අපරාදෙනෙ විකට් එක..." ඒ බාප්පාය.
"ඒ උනාට ඔහොම නොගහා බෑ...... පෙනේද.. බෝලෙ දාපු එකාගෙ හොර හිනාව....?"
නැන්දම්මා නොමනාපයෙනි.
"මොකද්ද අම්මෙ උනේ.....?"
ඒ හඬ ගේ ඇතුළෙනි. මිතුරාගේ බිරිඳය.
"දැං ඔයගොල්ලො කාටද සපෝට්.....?"
නිකමට වගේ ඇසුවෙමි.
" හා... අපි මේ ගහන කට්ටියට.... අරුංගෙ බෝල සැරයි... මෙහෙමවත් ගහන එක ඇති......."
මම යතුරු පැදිය ඉල්ලාගෙන ආවෙමි.

මා යතුරුපැදිය නැවත දීමට යන විට රාත්‍රීය උදාවී තිබිණි. මිතුරා තවමත් පැමිණ නැත. ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ සුළු වෙනසක් වී තිබිණි. බාප්පා නැත. නැන්දම්මාගේ අක්කා කෙනෙකු එතැන වාඩිවී සිටී. නැන්දම්මා සුපුරුදු පුටුවේය. මිතුරාගේ බිරිඳ නිවස තුල යමක් කරන හඬ ඇසේ. පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාවයි.
"දැං මොකද වෙලා තියෙන්නේ...?"
ස්කෝර් එක බලා ගන්නට මටද අවශ්‍යව තිබිණි.
"මුං ගහනවා නියමෙට.... අරුන්ට කට උත්තර නෑ... හොඳ වැඩේ...."
එවර උඩ පන්දුවකි.
"අන්න හයක්...... අයියෝ කැච් එකක්ද? .... ඒකනං....."
හතරේ සීමාව ආසන්නයේදී උඩ පන්දුව රැක ගැනේ.
"අපරාදේ........ තව ටිකක් හයියෙං ගැහුවනං....."
නැන්දම්මා විස්සෝප වේ.
"මොකද අම්මේ.....? අවුට්ද?"
ඒ ප්‍රශ්නය සුපුරුදු ලෙස නිවස තුළිනි.
"පරාදයි නේන්නං..... අරුං ඇල්ලුවනේ..... අපරාදේ....."
කැච් එක ඇල්ලූ ප්‍රතිරූපණ බලන්නට මිතුරගේ බිරිඳද පැමිණේ.
"අපරාදෙ නේ....? තව ටිකක් එහාට ගියානං කෙලින්ම හයයිනෙ......"
දැන්නම් පරණ ප්‍රශ්නය නැවත නොඅසා බැරිය.
"ඔයගොල්ලො කාටද සපෝට්.....?"
"අපි මෙයාලට....."
මිතුරාගේ බිරිඳ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් පෙන්වා මදහසක් නගාගෙනම ගෙතුලට යයි.
ඌණ පූර්ණය නැන්දම්මාගෙනි.
"ඔය කඩුල්ලක් දෙකක් ගියාට කොදෙව්වො වට්ටන්ඩ බෑ....."
"කොදෙව්වො....????? මේ දකුණු අප්‍රිකාවනේ......."
නැන්දම්මා මගේ මූණ දෙස බලා සිටී.
"මේ කොදෙව්වො නේද....? දකුණු අප්‍රිකන් කාරයෝ මෙහෙම නෙමෙයිනේ......"
නැන්දම්මා අපහසුවෙනි.
"කොදෙව්වො නෙමේද අයියේ.....?"
ඒ ප්‍රශ්නය ගෙතුළිනි.
"යකෝ මුංගේ ටී ෂර්ට් වල ගහල තියෙන එකවත් බැලු‍වේ නැද්ද...."
"මට ඒක ගානක් උනේ නෑ..... මාත් හිතං හිටියේ කොදෙව්වොමයි කියලා......"
මිතුරාගේ බිරිඳ කියයි.
නැන්දම්මා නැවත රූපවාහිනිය දෙසට හැරේ.
"කවුරු උනත් මොකද? හොඳට ගහනවනං එච්චරයිනේ....."
----------------------------------------------
(මෙම ලිපියේ ඉතිරි කොටස මගේ මිතුරාගේ මාමණ්ඩියට කියවීම පිණිස ලියවුනක් බැවින් ඔබ මෙය කියවීම අත්‍යාවශ්‍ය නොවේ.)
ඩියර් ආරියවංශ අංකල් වෙතයි.
දුර බැහැර රැකියාවක නියුතු ඔබේ නිවසේ මේ දිනවල බැලෙන්නේ ක්‍රිකට් යයි ඔබ සිතා සිටිනවා විය හැකිය. එහෙත් මේ ක්‍රිකට් නොවන බව මගේ සිත කියයි. ඔබේ බිරිඳ සහ දියණිය නිතරම බැට් කරන පැත්තට පමණක් සපෝට් කිරීම තේරුම් ගත නොහැකිව සිටි මා හට සම්‍යක් ඥානය පහල වූයේ විමල් වීරවංශ ගරු ඇමති තුමාගේ වෙබ් අඩවියේ පළවූ මෙම පුවත් ශීර්ෂය දැකීමෙනි.
මෙය 'පශ්චාත් නන්දිකඩාල් ක්‍රිකට්' යයි මා නම් කරමි. මෙම ක්‍රීඩාවේ විශේෂතා මේවාය. නිතරම බැට් කරන්නේ එකෙකි. හරියට අපේ අසරණ සිංහල ජාතිය වගේය. ඌව කන්ඩ බලාගෙන විජාතික කුමන්ත්‍රණකාරීන් එකොළොස් දෙනෙක් වටේ බලා සිටිති. ඉතින් අපි කාට සපෝට් කරමුද?

පසුගිය යුද සමයේ ඔබ නිවසේ හැළි වලන් විශාල ප්‍රමාණයක් කරවී ගියේ මානුෂික මෙහෙයුම නමැති රූපවාහිනී රියැලිටි මාලා නාටකය හේතුවෙනි. ලාංකීය රූපවාහිණී ඉතිහාසයේ එතරම්ම ත්‍රාසජනක වින්දනයක් ලබාදුන් වෙනත් වැඩසටහනක් විකාශය නොවූ අතර එය අවසන් වීමෙන් ඇතිවූ රික්තකය මේ වන විට පුරවමින් සිටින්නේ ක්‍රිකට් ලෝක කුසලානයයි. මේ වන විට අවසන් අදියරට පැමිණෙමින් පවතින තරඟාවලියේ උද්වේගකර අවස්ථාවන් විසින් ඔබ නිවසේ තවත් හැළි වලන් කීපයක් දවාහරිනු ඇති අතර එය පාඩුවක් කොට නොසිතන්න. ලංකාව කුසලානය ජයග්‍රහණය කරයි නම් මාද කැමති අතර එය සැබෑ ජයග්‍රහණයක් කොට මාද සලකමි.

අති ගරු ජනාධීපතිතුමාගේ සිනාමුසු සාඩම්බර මුහුණ, විමල් වීරවංශ ගරු ඇමතිතුමාගේ හැඟීම්බර මුහුණ සමඟ මහින්දානන්ද අළුත්ගමගේ ගරු ඇමතිතුමාගේ සොඳුරු මුහුණේ සමීප දසුන් සමග ඡේදනය වන හයේ හතරේ පහරවල් සමඟ ඉදිරි තරඟ නැරඹීමට ඔබටද, මටද, ඔබ පවුලේ සැමටද වාසනාව සහ ශක්තිය ලැබේවායි අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමි.

ප/ලි - කුසලානය දින්නොත් හන්දියේ සෙට් වෙලා කිරිබත් කෑල්ලක් කන්ඩ ගමට එන්ඩ.......