Monday, July 26, 2010

ලිඳේ පැන්න නාමලී

ලිඳේ පැන්න ‍කෙනෙක් දැකලා තියෙනවද? මම අහන්නෙ පණපිටින්. නෑ.... නෑ...... ලිඳ ඇතුලෙම ඉද්දි.

පොලිසිය ඉස්සරහා බස් හෝල්ට් එකේ නාමලී ඉන්නවා දැක්කෙ අහම්බෙන් වගේ. මාව දැකපු ගමන් ඉබේ මතු උන අර සුපුරුදු හිනාව නැත්නම් ස්ථිරවම මට අඳුනගන්න බැරිවෙනවා. මම හිතන්නෙ අවුරුදු පහකින් විතර.

"මොකද මෙතන?"
"දන්නැද්ද අයියෙ... අපේ එක්කෙනාගෙ වැඩ........"
"දන්නවා තියා මං දැකලවත් නෑනෙ........."
"ඔව්නෙ නේද..? ගමේ කට්ටියක් එක්ක රණ්ඩුවක් වෙලා..... අද පොලිසියට එන්ඩ කියලා තිබුනා.."
"මහත්තයා චණ්ඩියෙක් වගේ.......?"
"අනේ එයාගෙ චණ්ඩිකං......... බොනවනේ......"

ඇගේ නම රසිකා. ගෙදරට කිව්වෙ නාමලියා. මම කිව්වෙ නාමලී. අන්තිමට දකිද්දි හොඳ හුරුබුහුටි කෙල්ලක්. පබා තරම් ලස්සන නැති උනත් ඕනෑම කෙනෙක් ආකර්ෂණය වෙන හොඳ හිනාවක් තිබුනා. හොඳ ප්‍රියමනාප කතා විලාශයකුත් තිබුනා. එතකොට වයස 22 ක් විතර ඇති. නාහට නාහන කාලෙ.

මම නාමලී අඳුනගත්තේ එයාගෙ ගමේ ක්ෂේත්‍ර රාජකාරි කටයුත්තක නිරත වෙලා උන්නු කාලෙ. සම්පූර්ණ කාලය මාස තුනකට වැඩි නෑ. මගේ දෙවෙනි දවසෙ ආපු පළමු සේවා දායිකාව. මිනිත්තු කිහිපයක් තුල මාත් එක්ක ගොඩාක් කුළුපග උනා.

"බටු ඇටයක් වගේ උන්නට කට තියෙනවා ගමටම ඇතිවෙන්න...."
"හා...... ගෑණු අපිට මේ කට විතරයි කවදහරි පිහිටකට තියෙන්නෙ හරිද....?"
"මහලොකු ගෑනියෙක් වගේනෙ කතාව...."
එයා යන්තම් හිනා උනා.
"කොහොමත් තව අවුරුදු දෙකතුනකින් එහෙමනේ....."
එහි තිබුනේ කවුරුන් විසින් හෝ තෝරා දෙන ලද ඉරණමක් කැමැත්තෙන් බාරගන්න සෙයියාවක්.
"හැබෑට..... මැරිකරලද..?"
"තාම නෑ.... ළඟදි බඳින්ඩ ඉන්නෙ...."
"ගෙදරින් කතා කරලා.....?"
"ගෙදරත් දන්නවා....."
"ආ... එෆෙයාර් එකක්...... ෂෝක්නේ....."
"ඒ උනාට මං එයාට කැමති නෑ........."
"එහෙනං බඳින්ඩ ඉන්නෙ කිව්වෙ....?"
"එයාව තමා බඳින්නෙ......"
".......?........"
"නැත්තං එයා මැරෙනවලුනේ......"

දහසක් වැඩ මැද මටත් නොදැනී මාස දෙකක් විතරම ගෙවුනා. ඒ අතර සතියකට වරක් දෙකක් වත් නාමලීත් ඇවිත් කයියක් ගහලා ගියා. ඒ කතා වැඩිහරියක් වැඩකට ඇති දේවල් නෙමේ. කොහොම උනත් එයා එක්ක කතා කරන්ඩ මමත් කැමැත්තෙන් හිටියා. මොන හේතුවකට හරි මේ කතාබහ අතර අඩුවෙන්ම කතා උනේ එයාගෙ පෙම්වතා ගැන.

"රස්සාවක් නෑ අයියෙ..... ඔය රස්තියාදු ගගහා ඉන්නෙ.........."‍
"හොයලා දෙමුකො හොඳ රස්සාවක්..."
"හහ්.... වැඩිම උනොත් සුමාන දෙකයි......"
"හරි ඉතිං... ඔයාට හදලා ගන්න බැරියැ........"
"මට ගොඩක් ආදරෙයි තමා. ඒත් මං හිතන්නෑ... කොහොමත් මට ලිඳේ පැන්න වගේ ඉන්ඩ වෙයි...!"

එයාගෙ මංගල්ලෙට දින නියම උනා.
"ලබන මාසෙ 22. අනිවාර්යෙන්ම ඔයා එන්ඩ ඕනෙ..."
"නෑවිත් කොහොමද?"

මගුල් ගෙදරට සති දෙකකට විතර කලින් නාමලීගෙ තාත්තා ඇවිත් මටත් බුලත් කොලයක් දුන්නා.
"22 දවල්...... දුව කිව්වා අනිවාර්යෙන්ම එන්ඩ කියන්ඩ කියලා........"
ඊට පස්සෙ සති දෙකේදි නාමලී හම්බඋනේ නෑ.

මගුල් ඇඳුමට නාමලී ලස්සනට ඉඳියි කියලා මට ඇත්තටම හිතුනා. හිතේ පොඩි දුකකුත් නොතිබුනාම නෙමේ. කොහොමත් වැඩ කන්දරාව අතරේ උනත් එයා නොදකින අඩුව තදින්ම දැනුනා.

විසි වෙනිදා විතර උදේ එයාගෙ යාලුවෙක් පාරෙදි හම්බ උනා.
"දන්නවද වැඩක්....? ඔයාගෙ යාලුවා පැනලා ගිහිල්ලනේ......"
"නාමලී...?"
"වෙන කවුද ඉතිං...?"
ඒ කියාපු ස්වරය අනුව දෙපාරක් හිතන්න දෙයක් තිබුනෙ නෑ.
"කාත් එක්කද?"
"ඒකිට ඉතිං වෙන කවුරුවත් උන්නයැ... මනමාලයත් එක්කම තමා..."
"මොකද්ද ඒ හරුපේ.....?"
"අනේ මන්දා අයියෙ...... අපි දන්නෙත් නෑ... ගෙදර මිනිස්සු දන්නෙත් නෑ..."
ඊටත් සති දෙකකට විතර පස්සෙ නාමලීලගේ ගමේ සේවා කටයුතු අවසන් කරලා මට වෙන තැනක සේවයට යන්න සිද්ද උනා.

පොඩිඋන කහපාට බ්ලවුස් එක, අව්වට පිළිස්සුන මූණ, පිරිමියෙකුගේ මෙන් රළු වී ගිය දෑත්, ඇගේ පහුගිය අවුරුදු පහ ගැන ඕනෑවටත් වඩා දේවල් කිව්වා. ඒත් මම ඇහුවේ වෙන ප්‍රශ්ණයක්.

"ඒක නෙමේ..... කවදාහරි ඉස්සෙල්ලාම දැකපු මොහොතේ අහන්ඩ දෙයක් මං ගාව තියෙනවා..."
ඇය යන්තමින් හිනාවෙලා පොලිසිය දිහාට නෙත් මෑනුවා. ඊට පස්සෙ බිමට. ඊටත් පස්සෙ කෙලින්ම මං දිහාට. ඒ ඇස් දෙකම තමා.
"තාත්තා මුළු ගමටම මගුල් ගේ කියලා තිබුනේ...... තුන්සිය පනහකට විතර....... ඒ සේරම කලේ ලක්ෂ දෙකක ණයක් බලාගෙන..... අන්තිමේදි ඒ ණය ලැබුනෙ නෑ......."
ඇය යන්තමින් ඇස් කොනක් පිස දැම්මා.
"තාත්තා එදා හැන්දෑවේ බීගෙන ඇවිත් කෑගැහුවා. හෙට වත් ඒ සල්ලි හම්බඋනේ නැත්තං මැහිතෙල් බොනවා කියලා..........................."

සමුගන්න විදිහක් හිතාගන්න බැරුව මං උන්නේ.
"දැං බබාල එහෙමත් ඉන්නවද...?"
"දුවයි පුතයි....."
ඇය හිස පහතට නැඹුරු කලා. ඇගේ මෝදු වෙමින් පැවති උදරය මගේ ඇස ගැටුනේ ඒ වෙලාවෙ. කෙල්ලෙක්? කොල්ලෙක්?. කවුරු උනත් ඇගේ කෙසඟ සිරුරේ එල්ලෙන්නට තවත් කටක්!

Wednesday, July 21, 2010

වරත්තු අලියගේ කතා වස්තුව

"එක අතකට නඩුවක් නොතිබ්බනං මං වත් විස්වාස කොරන්නෑ අලියෙක් හැප්පුනා කියලා...."
"?"
"ඇයි යකෝ.... මං දැක්ක අලියෙකුත් නෑ... ලොරියකුත් නෑ....."

බැන්ඩේජ් කරලා බෙල්ලෙ එල්ලගත්තු අත යන්තමට වගේ අනිත් පැත්ත හරවන ගමන් සෝමදාස කිව්වා. ඊයෙ ග්‍රාම සේවක රාලහාමි හම්බවෙලා අයිඩින්ටිය අරං එනගමං ඩිස්කවරි එකක ආපු කොලු ගැටයෙක් සෝමදාසගේ බයිසිකලේ හප්පලා. වම් අතේ ඇටේ පුපුරලා කියලයි ගල්කන්දේ වෙදමහත්තයා කියලා තියෙන්නේ.
"මේ වරත්තු අලියෙක් හින්දා.......රෑ තිස්සෙ මගුලෙ ගිහින්..."

සෝමදාස මීට අවුරුදු පහ හයකට කලින් වැඩකලේ කළුතර පැත්තෙ පොඩි කඩේක අත් උදව් කාරයෙක් හැටියට. දවසක් රෑ 11 ට විතර ගාලු පාරෙන් මහා සද්දයක් ඇහුනා. සෝමදාස කර කර උන්නු වැඩේ පැත්තකට දාල පාරට දිව්වා. පාර පාළුයි. මොකුත්ම හිතාගන්න බැරිව ආපසු හැරෙනකොටම සෝමදාසට ඇහුනේ කෙඳිරි ගාන සද්දයක්. පාර අයිනේ මිනිහෙක් වැටිලා උන්නා. තරමක් තුවාලත් එක්ක. සෝමදාස ඉක්මනටම ලං උනා.
"කෝ.............. අ...ලියා....?"
සේරම පටන් ගත්තෙ එතනින්.

පහුවදා කඩේට ආපු පොලිසිය සෝමදාසව කැඳෙව්වා.
"සිද්දිය වෙන වෙලාවෙ තමුන් එතන හිටියද?"
"ඔව් සර්...."
සෝමදාස 'එතන' කියලා අදහස් කලේ කඩේ පිටිපස්ස.

රෑ 11 ට විතර ගාලු පාරෙ ආපු අලියෙකුව ලොරියක් හප්පගෙන ගිහින්. බය උනු අලියත් පැනලා දුවලා. ඇත් ගොව්වා (අලි ගොව්වා) ට තුවාලයි. කළුතර අධිකරණයට ගොනු කරපු මේ නඩුවේ එකම සාක්ෂිකාරයා බවට සෝමදාස පත්උනේ එහෙම.

නඩුවාර දෙක තුනක් යනකොට උසාවි පොලීසි නොගිහින් තිබුනු සෝමදාසගේ කුලෑටිකම ටිකක් අඩු උනා. ප්‍රශ්ණේ උනේ ඔය අව් අස්සෙ කඩේ වහල දාපු එක. කිලෝමීටර් එකසිය ගණනක් ගෙවාගෙන ආපහු ගමට ආපු සෝමදාස මේසන් අත්වැඩට බැස්සා. අලියගේ පස්ස ගැන වැඩපළේ කොල්ලන්ගේ කුණු කතා මැද ඊළඟ නඩු දිනෙත් ලංවුනා.
"උසාවි යනකොට සුදට ඇඳලා චාමෙට යන්ඩ ඕනෙ....."
සෙල්ලං වැඩක්ද?
"කළුතර... කොළඹටත් එහා.....අඩු ගානෙ රුපියල් දාහක්වත් යනවා..."

උසාවි අඳින්න අත්දිග කමිසෙකුයි සුදු සරමකුයි හලාවතින් ගත්තු සෝමදාස මූණ බෙරි කරගෙන ගමට ආවා.
"මගේ පර්ස් එකට විදලනේ.... අයිඩින්ටියත් ඒකෙ....."

එදා කළුතර ගිහින් එද්දි පොලීසියෙන් බස් එක චෙක් කරලා තිබුනා.
"අයිඩින්ටිය නැත්තං පොටෝ එකක් වත් සහතික කරගෙන එන්ඩ දන්නැද්ද?"
පොලිස් නිලධාරියෙක් හොඳටම ගොරවලා. සෝමදාස ඊළඟ සතියෙම පොටෝ ගහලා රාලහාමිට කියලා අත්සනුත් කරගත්තා.
"නරකද අයිඩින්ටියම හදාගත්තොත්...?"
"ඕවා මොකටද රාලහාමි මට... මේකත් මේ කළුතර ගිහින් එන්ඩ....."

ඊළඟ නඩු දිනේදිත් නඩුව සුපුරුදු විදිහට කල්ගියා. එදා එනකොට අලුත් ප්‍රශ්ණයක්.
"පොටෝ කොහෙන් සහතික කරගන්ඩ බැරිද?... කොටි එන්නෙත් ඔයවගේ.... මොකද අයිඩින්ටි හදාගන්න බැරි... එතකොට කෝ සිතාසිය?"
චෙක් පොයින්ට් එකේ පැය දෙකක් රස්තියාදු කරලා සෝමදාස ආපහු එවලා තිබුනා. කොහොමහරි අයිඩින්ටිය හදාගන්ඩ තීරණය ගත්තෙ එදා.

රැවුල කාරිය කපලා පොටෝ ගහන්ඩ මාසයක් ගියා. උපන් තැන වැරදිලා කුලියාපිටියෙන් උප්පැන්නයක් ගන්න මාස දෙකක් විතර ගියා. ඒක රාලහාමිට බාරදීලා මාස හයක් බලන් උන්නා. අන්තිමට කොළඹ අයිඩින්ටි කන්තෝරුවට ගියාම කිව්වා එහෙන් එවලා කියලා. අන්තිමට අයිඩින්ටිය අතට අරං එනකොට තමයි අර වසවර්ති කොල්ලා හැප්පුවේ.

"ඔය උසාවි වැඩේටම දැනට රුපියල් විසිදාහකට වඩා වියම් ඇති මගේ හිතේ...... අයිඩින්ටිය ගන්ඩ....? වැඩ පාඩුඋනු දවස් ගාන බැලුවොත් ඉතිං..... යකෝ මටමනේ වෙන්නෙ......."
සෝමදාස කේන්තියෙන්.
"ඇත් ගොව්වට හෙනවත් නෑ.... ඌත් ඔය උසාවි එන්නේ...... අලියා පද්ද පද්දා පෙරහැරේ යනවත් ඇති...... ලොරිය නං උං ඒ දවස්වලම හදාගන්ඩ ඇති......."
මං අහගෙන උන්නා.
"දැං ඉතිං තව සුමාන දෙකකට මට කන්ඩ දෙන්නෙ පොලිසියෙන්ද?"

මාතෘකාව වෙනස් කරන්ඩ මට ඕනෙ උනා.
"දැං කවද්ද ඊළඟ නඩු දිනේ...?"
"ලබන මාසෙ....... වරත්තු අලියා......"
ඒ කිව්වෙ මටද කියලත් හිතුනා.

Saturday, July 17, 2010

බ්ලොග් කියවන හැමෝටම කාර් එකක් බැගින් (නැත්තේ ඇයි?)

කොප්පරා හන්දියේ මහ පාරට රතු එලිය වැටිල. වාහන ගංගාවක් කහ එලිය වැටෙනකං කුරුමානම් අල්ලනවා. පොඩි කොලුපැටියෙකුත් පස්සෙන් එල්ලගෙන ඔහු පේමන්ට් එක දිගේ එනවා මං දැක්කෙ අහම්බෙන් වගේ. දූවිලි වැකුණු රබර් සෙරෙප්පු දෙක, පැත්තකින් පොඩ්ඩක් උස්සගත්තු පිජාමා සරම, අතකින් ගත්තු පොලිතීන් බෑග්එක, අවුල්උනු කොණ්ඩෙ... ඔහු ගැන කිවයුතු දේ කිව්වා. කොට කලිසමක් සහ පොඩිඋනු ටී ෂර්ට් පොඩියක් ඇඳගත්තු පොඩ්ඩට ඕනවෙලා තිබ්බෙ ඔහුත් එක්ක දුවනවට වඩා වටපිට බලාගන්ඩ.

මං ආසන්නයෙදි පොඩ්ඩා කට ඇරියා.

"තාත්තෙ.. අර බලන්ඩකෝ කාර් ගොඩ......"

ඔහුට ඒක ඇහුනේ නෑ. එකත් එකටම ඔහුගේ ඔලුවේ තිබුනේ රංජනියගේ(?) ඔපරේෂන් එක වෙන්ඩ ඕනෙ. පොඩ්ඩා අඩිය ඉක්මන් කරලා ඔහුගේ අතක් අල්ලගත්තා.

"ඇයි තාත්තෙ අපිට කාර් එකක් නැත්තෙ..?"

සමහරවිට එතනින් එහාට කතාබහක් නොවෙන්නත් ඇති. කොහොමත් මට ඇහුනේ එච්චරයි. ඒක හොඳයි. මොකද ඒ සංවාදය මම අහන්න කැමති මේ විදිහට.


"ඇයි තාත්තෙ අපිට කාර් එකක් නැත්තෙ..?"

"කොහෙ තියෙන කාර්ද බං?"

"ඇයි ඔය ඕන තරං තියෙන්නෙ.... ගමුකො.."

"ඕවට කොහෙන්ද සල්ලි...?"

"සල්ලි නැත්තෙ මොකද? ඔය ඕනතරං අය කාර් අරං තියෙන්නෙ...?"

"යකෝ.. උන්ට තිබ්බට අපිට තියෙනවයැ....?"

"ඇයි ඒ...?"

"අපේ කරුමෙ තමා......" (සමාවෙන්න. ඒක නොදානෙ මේ වට රවුමක් යන්නෙ)

"අපිට කවුද ඔච්චර සල්ලි දෙන්නෙ?"

"කවුරුවත් දෙන්නෙ මොකටද? තාත්තට හම්බකරන්ඩ බැරිද?"

"@@@@" (කුණුහරුපයක් බැවින් ඉවත් කරන ලදී)

"අපිට කවුද එහෙම රස්සා දෙන්නෙ..... අයින් වෙලා වරෙන්.."

"කවුද තාත්තෙ රස්සා 'දෙන්නෙ'..?"

"සල්ලි තියෙන උන් තමයි... ඔන්න වලක්...."

"කවුද තාත්තෙ පාරෙ වලවල්...." (සංවාදයට අදාල නොවේ)

"ඒ අයට කොහෙන්ද සල්ලි...?"

"ඔය බිස්නස්..... ඉඩකඩං..... තව තව....."

"එතකොට ඒව පටන් ගන්න සල්ලි?"

"හුඟක් එවුන් උපතින් ගෙනාපුවා බං...."

"උපදිනකොට කවුද දෙන්නෙ....?"

"උන්ගෙ මහඑවුන් මිසක්......."

"එතකොට ඔයත් මට දුන්නද?"

"මට කොහෙන්ද බං සල්ලි....?"

"ඇයි ඒ....?"

(සංවාදය කොහෙන් හෝ පිට පැන ඇති බව පෙනේ. එබැවින් පහත සංශෝධනය එකතු කරමි.)

"අර බලන්ඩකෝ තාප්පෙ............ කවුද තාත්තෙ බැංකිමූණා කියන්නෙ...?"

"ආං.... ඕකා තමා මේ සේරටම මුල..."

Thursday, July 15, 2010

ඉබ්බා The artist

ඉබ්බා ළඟදි හම්බඋනා. දැං සිකියුරිටි කාරයෙක්.
"ජෝතිපාලගේ පීස් මොකුත් නැද්ද?..... මෙහේ පරණ කැසට් එකක් තියෙනවා......"

ඔහුට මහේෂ් කියමු. නික් නේම් එක ඉබ්බා. කොණ්ඩෙ ක්රේල්... පැහැපත්...... තරමක් හැන්ඩි... මිනිහා මාත් එක්ක කාලයක් ඩ්‍රාමා එකක සම්බන්ධ වෙලා උන්නා. මම දැක්ක සිරා ටැලන්ටඩ් පොරක්. වැඩි ඉගෙනීමක් ලබල තිබුනේ නෑ. හොඳටම සින්දු කියන්න පුළුවන්. චිත්‍ර අඳින්නත් පුළුවන්. රඟපාන්නත් පුළුවන්. ඕනෙම දෙයක වෙනස් කියවීමක් එයාට තිබුනා.

කාලයක් ලංකාවේ විශිෂ්ඨතම සංගීතඥයෙකුගේ (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක්) වර්ක්ෂොප් එකකට සම්බන්ධ වෙලා ඉගෙනගත්තා. රූපවාහිනී වැඩසටහන් කීපයකත් දැක්කා. ඒ එකකින්වත් එයාගෙ ස්වරූපය වෙනස් උනේ නෑ. ඒත් ටිකෙන් ටික අපේ ඇසුරින් ඈත් උනා. හුදකලා උනා. අකාරුණික විදිහට එයාව දාල අපේ කෝච්චිය යන්න ගියා. (ඉබාගාතේ තමා)

වසර කීපයකින් එයාගෙ සහෝදරයෙක් හම්බවෙලා විස්තර කිව්වා.
"මහේෂ්ට තිබිලා තියෙන්නේ මානසික රෝගයක්.. Zchizophrenia... බේත් ගත්තා. දැං ටිකක් හොඳයි..."


ඊට පස්සෙ ඔහුව කීපවරක් හම්බ උනා. සුපුරුදු සිනාව සමඟ සුපුරුදු ප්‍රශ්ණ වැල.
"කොහොමද..... දැං මොනවද කරන්නෙ...? අපෝ ලංකාවෙ ආර්ට් නං ගන්ඩම දෙයක් නෑ.. බලන්ඩකෝ එන ෆිල්ම්ස්..? කට ඇරලා සින්දුවක් කියන්න පුළුවන් එකෙක් අලුතින් ආවද? අන්න ජෝතිපාලලා...."

දවසක් හිටිහැටියෙම ඔහු අපේ ගෙදර ආවා. අතේ පොලිතීන් බෑග් එකක් අරගෙන.
"කොහොමද...? බලල යන්ඩ ආවා.."
ආගිය කතා අතරතුර ගොඩක් දේ කිව්වා.
"මට මානසික අසනීපයක් තිබුනනේ... දැං හොඳයි... තාම බේත් බොනවා..."
පස්සෙ ආපු කාරණේ කිව්වා.
"මට උදව්වක් ඕනෙ... කාලෙකට නවතින්න තැනක්..... අදම....."
"හොයල බලමු.... මොනවගේ තැනක්ද?"
"කවුරුවත් නැති නිස්කලංක තැනක්..."
"ඒ මොකටද?"
"මට චිත්‍ර ටිකක් අඳින්න ති‍යෙනවා.... ගෙදර කරන්න බෑ..."
"පේන්ටින් බඩු...?"
"ඒවා මොකුත් තාම නෑ... ගන්ඩ බැරියැ.. සල්ලි ටිකක් හොයාගන්න එකනේ..."
"කොහෙන්ද?"
"ඒවා පුළුවන්... තැනක් හොයලා දියංකෝ....."
කතාබහ මහපොළොවට අඩි කිහිපයක් උඩින් යන හින්දා මං අතුරු යෝජනා කීපයක් දැම්මා.
"නරකද මචං ජොබ් එකක් කරන ගමං....?"
"ජොබ් කියන්නෙ එකක්... ආර්ට් කියන්නෙ තව එකක්... මට ඕනෙ ආර්ට් කරන්න..."
"එහෙනං මචං ඔය ඇඩ්වර්ටයිසිං කරන තැනක... චිත්‍ර අඳින කවුරුහරි ගාව..."
"ඒවා බිස්නස්නේ මචං.... ආර්ට් නෙමේනෙ... අනික මට ඕනෙ මං කැමති ඒවා අඳින්න..."
මටත් පොඩ්ඩක් කේන්ති ආවා.
"එතකොට උඔ ජීවත් වෙන්නෙ කොහොමද? සල්ලි ?"
"ඒවා කොහොම හරි වෙයි... අනික ආර්ටිස්ට් කෙනෙක් නඩත්තු කරන්න ඕනෙ සමාජය විසින්....."
"උඔට පිස්සුද බං...? ඒවා කෙරෙන්නෙ නිෂ්පාදන ආර්ථිකයක් තියෙන, අතිරික්ත ප්‍රාග්ධනයක් තියෙන තැනක.... මේක හිඟන ලංකාව..."
හරිද වැරදිද කියලවත් නොසිතා මමත් දමල ගැහුවා.
"අනේ පලයං බං.."
ඌටත් කේන්ති ගිහින්.
"සුපර් ස්ටාර් කාරයෙක් ෂෝ එකකට කීයක් ගන්නවද? BMICH එකේ නව රඟහලේ තියෙන ෂෝ එකක ටිකට් එකක් කීයද? ....... දවසකට ලංකාවෙ උං මිලියන කීයක බොනවද? මේ සමාජයම හාමුදුරුවරු කීදාහක් නඩත්තු කරනවද? දවස ගානේ පන්සල් වල කොච්චර කොන්ක්‍රීට් ගොඩගහනවද? ඒවට සල්ලි කොහෙන්ද?"
උත්තර හිතාගන්න ඉඩදීලා ඌ කෙඳිරිලි හඪින් චෝදනාව ඉදිරිපත් කලා.
"උඔ කියන්නේ මුන්ට ආර්ටිස්ට්ලා කීපදෙනෙක් නඩත්තු කරන්ඩ බෑ කියලද....?"

වෙන කරන්ඩ දෙයක් නැති තැන මං ජෝතිපාලගේ සී.ඩී එකක් දැම්මා. ඌ සේරම අමතක වෙලා වගේ ඒකට සම වැදුනා.

ටික වෙලාවකින් කෝල් එකක් ආවා. මහේෂ්ගෙ අම්මා.
"බලන්ඩකෝ... මේ ළමයා සති කීපෙකින් බේත් බීලා නෑ... දැං අසනීපේ ටිකක් වැඩිවෙලා... අපි බේත් පොවයි කියලා උදේ ගෙදරින් පැනලා ගිහින්..."
හවස ගෙදර අය වෑන් එකක් අරං ඇවිත් මහේෂ්ව දාගෙන ගියා. 'අසනීපෙ' හොඳ කරන්න.

මට තාමත් වරදකාරී හැඟීමක් දැනෙනවා. ජෝතිපාල, කේමදාස, චැප්ලින්, ධර්මසිරි, බ්‍රෙෂ්ට් හිටපු උගේ සුන්දර ලෝකෙන්, මේ කාෂ්ඨක මහ පොළොවට සිකියුරිටි කාරයෙක් විදිහට ඇදල දාන්න මාත් හවුල් උනු එක ගැන.

'නිවහල්' මිනිසෙක් බලෙන් බේත් පොවල අපි වගේ රෝගී වහලෙක් කරපු එක ගැන.

(පින්තූරය - රිහර්සල් එකක් අතරතුරදී ඉබ්බා විසින් ඉරිකෑලි ගොඩක් බවට පත්කල මම.)

Tuesday, July 13, 2010

බේබද්දා

Turtles can fly

ඉස්කෝලෙ පළවෙනි වසරට අළුත් පොඩිඑවුන් ටික ආවා. අළුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉස්කෝල පිට්ටනිය පුරා සෙල්ලම් ගෙවල් හැදුනා. දැං පිට්ටනිය වෙනම ගම්මානයක් වගේ.

පහේ පන්තියට උගන්නන වීරසිංහ සර් නිකමට වගේ මේ ගම්මානෙට ඇදුනා. පොඩිඋන් ගජ රාමෙට වැඩ. වීරසිංහ සර් සෙල්ලම් ගෙවල් වලට ඔලුව දාගෙන වචනයක් දෙකක් කතා කරගෙන යන ගමන් ටිකක් අමුතු ගෙදරකට ගොඩවැදුනා. ගෙදර කතාබහේ හැටියට ඒවෙලාවෙ උන්නේ අම්මයි පුතාල දෙන්නයි විතරයි. කට්ටිය සෙල්ලම් බත් උයනවා.

"මාර බඩගින්නක් තියෙන්නේ.... කන්ඩ මුකුත් නැද්ද?" වීරසිංහ සර් කතාවට වැටුනා.
"නෑහ්...."
අම්මාට රඟපාන පොඩිත්ති ගස්සලා කිව්වා.
"අඩුගානේ තේ ටිකක්වත්..."
"තාම වැක්කෙරුවේ නෑ..."
ප්‍රතිචාරයේ වෙනසක් නෑ.
"තේ හදන්ඩ වෙලා යයිද?"
"ඔව්.. තව වෙලා යනවා.."
"හ්ම්හ්.... මං තව ටිකකින් එන්නංකෝ...."
වීරසිංහ සර් නැගිටලා එලියට ආවා. අඩියක් දෙකක් තියනකොට ගේ ඇතුලෙන් අර අම්මන්ඩිගේ කටහඬ ටිකක් හයියෙන් ඇහෙනවා.
"කසිප්පු පැලිල පැලිලා එනවා මෙතන තේ ඉල්ලන්ඩ......"

වීරසිංහ සර් මේ කතාව කිව්වහම අඬනවද හිනාවෙනවද කියලා මට හිතාගන්න බැරිඋනා.

මෙය වසර කීපයකට පෙර වයඔ පළාතේ ගම්බද පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්. මෙම දරුවන් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කල විමල් වීරවංශ මැතිතුමාට මගේ උපහාරය.

Wednesday, July 7, 2010

මූන් ගේ මූණ


මේ ඉන්නේ බැන්-කී-මූන් ය. නොදන්නා අයගේ දැනගැනීම පිණිස කියන්නේ නම්, වසරකට ආසන්න අහේනිසහගත කාලපරිච්ඡේදයකින් පසු අපේ දේශප්‍රේමී දේශපාලන විරුවන්ට යාන්තම් සතුරෙකු සොයාගත හැකිවිය.

සතුරෙක් කීවාට ඌ සතුරු බාගයකි. කුඩා ඇස් සහ සිනාමුසු මුව හේතුවෙන් ඌ දැක්කාම බය හිතෙන්නේ නැත. (තට්ටය ගාල ගත්තානම් පහසුවෙන්ම උඩුවේ ධම්මාලෝක හෝ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි වැනි ජනප්‍රිය භික්ෂුවක් බවට පත්කිරීම ටොයිස් වැඩකි.)


පසුගිය දිනක සිනාමුසු මුහුණින් යුතු බෑන්-කී-මූන් ගේ පඔයෙකු පුළුස්සා දැමූ අතර එය අප සිතේ අපුලක් ඇති කිරීමට හේතු විය. එය දැකීමෙන් අපට මෙන් ගැඔුරු දේශපාලන දැනීමක් නොමැති අප දරුවන්ද විපිළිසර වූ බව පෙනිනි.
එබැවින් අප දේශප්‍රේමී විරුවන් සහ විමල් වැනි දේශපාලන විරුවන්ද විසින් ඉමහත් ආයාසයෙන් සොයාගත් මේ සතුරා, SF මෙන් කෙටි කලකින් දියව යා යුතු නොවන හෙයින්ද, මූන් ගේ ශාන්ත දාන්ත මුහුණ දේශප්‍රේමී බලකායේ මොරාල් එකට කෙලින්ම බලපෑ හැකි බැවින්ද, ඔහුගේ මුහුණ වෙනස් කිරීමට අප තීරණය කලෙමු.
මෙහිදී මූන් ගේ මුහුණට කාටත් බය හිතෙන විශේෂිත රැවුලක් ඇතුලත් කොට ඇති අතර SF ගේ දිගටි මුහුණේ හැඩතල ඉතා සියුම් ලෙස මුසුකොට ඇත.
එබැවින් මින් ඉදිරියටද දිගින් දිගටම මූන් පිළිස්සීමට අවශ්‍ය වන්නේ නම් මෙම මුහුණුවර භාවිතා කල හැකි අතර ඒ සඳහා අපගේ අවසර ලබා ගැනීමක් අවශ්‍ය නොවේ. (මෙම පින්තූරය භාවිතා කරන විට යටින් බැන්-කී-මූන් යනුවෙන් සඳහන් කල යුතු බව කරුණාවෙන් සලකන්න.)

Follow by Email